
“1986 ඔක්තෝබර් 25 වැනිදා විවාහ වූ දා පටන් නොව ඊට වසර කිහිපයකට පෙර සිටම කුසුම් මගේ සෙවණැල්ල බවට පත්වුණා. ඊට පස්සේ අපි දෙන්නා අතරට ලොකු දුව නිපුණි ප්‍රේක්ෂා පැමිණියා. ඊට වසර හතකට පස්සේ චූටි දුව තාරුකී අමායා අපි ළඟට ආවා. දැන් අපේ මිණිබිරිය ගැබ්‍රියෙලා කැත්ලීන් පෙරේරාත් අපිත් එක්ක ඉන්නවා. සැමියෙක් හැටියටත්, තාත්තා කෙනෙක් හැටියටත් ජීවිතයේ අත්විඳි සුන්දරත්වයන් අබිබවා යමින් එක පැත්තකින් ආදරණීය මිණිබිරියක් වශයෙනුත්, තවත් පැත්තකින් අපූරු මිතුරියක් හැටියටත්, බොහෝ අවස්ථාවල මගේ ගුරුවරියක් වාගේත් මට ඇයව දැනෙනවා. විශේෂයෙන්ම නව පරපුර තාක්ෂණයත් එක්ක උපන් අය නිසා අපට ඒ අතින් එයාලා එක්ක හැරෙන්නවත් බැහැ. කොහොම වුණත් බැලූ බැල්මට ස්ත්‍රීන් ගොඩාක් නිසා ජීවිතය හිරවෙලා වගේ නැද්ද කියලාත් සමහරු මගෙන් අහනවා. නමුත් ගෑනු ගොඩාක් මැද්දේ ගෙවෙන මේ ජීවිතයේ අත්විඳින සුන්දරත්වය වචනවලට පෙරළන්න හරි අමාරුයි.” එහෙම ශ්‍රියන්ත කියද්දී කුසුම් කියන්නේ මෙහෙමයි.
“ඇත්තට ම අපේ දූලා දෙන්නා පුදුම හොඳ දරුවෝ දෙන්නෙක්. අම්මා කෙනෙක් හැටියට මට පුදුමාකාර සතුටක් වගේම ආඩම්බරයක් මේ දෙන්නා ගැන දැනෙනවා. ඒ විතරක් නෙවෙයි මේ දෙන්නා මාව පුදුම කරවූ අවස්ථාත් බොහෝමයක් තියෙනවා. එක්තරා අවස්ථාවක මට මතක් වෙනවා යම්කිසි විපතකට පත්වුණු අපේ හිතවත් පවුලක් බලන්න අපි ගියා. ඒ පවුලේත් දූලා දෙන්නෙක් හිටියා. විපතට පස්සේ ඒ දූලා දෙන්නාගේ කන්වල කරාබු තිබුණේ නැහැ. අපේ දූලා දෙන්නා ඉක්මනින් ඒ දූලා දෙන්නා ළඟට ගිහින් තමන‍්ගේ කන්වල තිබුණු කරාබු ගලවලා ඒ දූලා දෙන්නාගේ කන්වලට දානවා මම දැක්කා. ශ්‍රියන්ත දැඩි කතෝලික භක්තික පවුලකින් පැවත එන කෙනෙක් හැටියටත්, එයාගේ අම්මා ගුරුවරියක්, තාත්තා විධායක නිලධාරියෙක්, ශ්‍රියන්ත ඒ පවුලේ වැඩිමල් දරුවා හැටියට යහපත් ජීවිතයක් ගත කළ කෙනෙක්. ඒ වගේම මගේ මවුපියන් දැඩි බෞද්ධාගමික නැඹුරුවක් ඇති අය හැටියට මමත් පවුලේ අයත් පිනට දහමට යහපත් ජීවන රටාවකට හුරුවුණා. දහම් පාසලෙන් හොඳ ගුණදහම් ඉගෙන ගත්තා. ඕනෑම දෙයක් බලන්න ආසා හිතෙන්නේ වහලා තිබුණාමයි කියලා මගේ ආච්චි අම්මා නිතර අපට කිව්වා. අපේ ගෙදරත් ඇතුළුව ඉස්සර ගෙවල්වල මූණ බලන කණ්ණාඩි තිබුණේ රෙද්දකින් වහලා යි. ඒ ළඟට ගිහින් රෙදි කඩ විවර කරලා තමයි මූණ බලන්නේ. ඊළඟට ගෙදර දොර වැඩ ගැන බැලුවාම ළිප තිබුණේ බිම. බත් මුට්ටිය වහුං ඇරලා ඒක තැම්බිලා ද බලන්න පහත් වුණාම හුමාලය මුහුණට වැදෙනවා. ඊට පස්සේ ළිඳට ගිහින් නාලා පිරිසුදු වෙලා ඇවිත් තමයි කෑම කෑවේ. සැලෝන්වලට ගියේ නැති වුණාට අදට වඩා ප්‍රායෝගික සහ සෞඛ්‍යාරක්ෂිත රූපලාවණ්‍ය ක්‍රමවේදයක් අතීතයේ තිබුණා. මම අනුලා විද්‍යාලයෙන් පාසල් ජීවිතය අවසන් කළේ පාසලේ රූපසුන්දරිය ලෙස කිරුළ දරාගෙනයි. ඒ කිරුළ ගෙදර අරන් ගිහින් මහා උජාරුවෙන් ගෙදර අයට පෙන්නුවාම අම්මා කිවේ ඉස්කෝලෙන් අස් වෙද්දී විනාශයත් අරන් ද ආවේ කියලයි.
අපි එක වහලක් යටට ඇවිත් ඒ සියලු නොගැළපීම් ආදරය නමැති කේන්ද්‍රය තුළ ඒකාත්මික කරලා, වසර තිස් අටක් තිස්සේ ශ්‍රියන්තත් මමත් එකම ක්ෂේත්‍රයේ ලස්සනට ජීවත් වෙනවා. අපි දෙන්නා දර්ශනතලවලට ගියාම එක ළඟින්ම වාඩිවෙලා ඉන්නේ නැහැ. මම මගේ මිතුරියන් එක්ක ඉන්නවා. ශ්‍රියන්ත එයාගේ යාළුවෝ එක්ක ඉන්නවා. කෑම ගනිද්දි දෙන්නාට දෙන්නා හොයලා බලනවා. සමහර වෙලාවට එකට වාඩි වෙලා කෑම ගන්නවා.“
කුසුම් එහෙම අතීතය සිහි කරද්දි ශ්‍රියන්ත කියන්නේ මෙහෙම කතාවක්.
“කුසුම් ළඟ පුදුමාකාර ඉවසීමක්, පරිත්‍යාගශීලී බවක්, මා කෙරෙහි ආදරය වාගේ ම ගරුත්වයක් තියෙනවා. මට ඒ දේවල් ලැබෙද්දී මගෙනුත් නිරායාසයෙන් ම කුසුම්ට ඒ ගුණයන් ලැබෙනවා. අනිත් කාරණාව තමයි අපි දෙන්නාගේ ඉතා හොඳ ලේඛනමය බැඳීමක් තිබුණා. ඒ කියන්නේ අපි දෙන්නාට දෙන්නා හොඳට ලියුම් ලිව්වා. දැනටත් ගෙදර ලියුම් 195ක් තියෙනවා. අපේ ළමයි ඒවා දන්නේ නැහැ. මේ ලියුම් සංස්කෘතිය ඇතුළේ කාලයක් තිස්සේ අපි දෙන්නාට දෙන්නා හොඳින් හඳුනා ගත්තා. ඒ වගේම කියන වචනවලට වඩා ලියන වචන හරිම සොඳුරුයි. අද පරපුරට මේ මිහිර විඳින්න විදිහක් නැහැ. කෙටි පණිවුඩයකින් ක්ෂණිකව කියන්න තියෙන දේවල් එහාට මෙහාට කොටනවා හැරෙන්න කෝ මිහිරක්. ”
අදටත් වඩා අතීත දිවිය සොඳුරු යැයි කියන කුසුම් ඒ අතීතය සිහිකරන්නේ සතුටෙනි
“මට මතකයි මම පුංචි කාලේ ලොකු ඥාති පරපුරක් හිටියා. අපි එයාලා එක්ක එකට සතුටින් ජීවත් වුණා. එයාලා හැමෝම කිසි වෙනස්කමක් නැතුව පුංචි අපිව ආදරයෙන් රැකබලා ගත්තා. මටයි, ශ්‍රියන්තටයි තවමත් තනියම ජීවත් වෙන්න බැහැ. අපි කලා කටයුත්තකට ගියත් හැමෝම එක්ක පුදුම සහයෝගයකින්, සතුටින් ඉන්නවා. ප්‍රශ්න ඇති වෙනවා. නමුත් ඒවා කතාබහ කරලා අවබෝධයෙන් යුතුව සමථයට පත්වෙනවා. හැමදාම හිතේ නෝක්කාඩු තියාගෙන ඉන්නේ නැහැ. එහෙම ඉන්නත් බැහැ.”
චරිතාංග නළුවකු ලෙස කවදත් ඉදිරියෙන් සිටි ශ්‍රියන්ත ඒ අතීතය අද ද සිහිකරන්නේ බොහෝ ආඩම්බබරයෙනි.
“පරාක්‍රම නිරිඇල්ලයන්ගේ ‘මහත් හොරා’ කෙටි ටෙලි නාට්‍යයේ මම මුලින් ම රඟපෑවා. ධම්ම ජාගොඩයන්ගේ ‘පළිඟු මැණිකේ’ ටෙලි නාට්‍යයේ ‘සූරසේන’ චරිතය නිසා මම අතිශයින් ජනප්‍රිය වුණා. එදා මෙදාතුර ටෙලි නාට්‍ය 300කට වැඩි ප්‍රමාණයක, වේදිකා නාට්‍ය 60කට වැඩිය, චිත්‍රපටත් 40ක පමණ මම රඟපාලා තියෙනවා. කොච්චර රඟපෑවත් මේක එපා වෙන්නේ නැහැනේ. රූගත කිරීම්වලට ගියාම පුදුම වෙහෙසයි. නමුත් අලුත් නිර්මාණයකට කතා කළාම හා කියලා යනවානේ. කුසුම් වුණත් එහෙම තමයි. අපට ජීවත් වෙන්න ජීවත් වෙනවා කියලා දැනෙන්න මහා පිරිසක් අවශ්‍යයි. තනියම ඉපදිලා, තනිවම මැරුණාට තනිවම ජීවත් වෙන්න බැහැ. අද තනිව ජීවත් වන තරුණ ජීවිතවල හුදෙකලා බව, ආත්මාර්ථකාමීත්වය, අනවබෝධය නිසා සමාජ ව්‍යසන ඇති වී තිබෙනවා. අප තුළ තිබුණු සංස්කෘතික බැඳීම් සුනු විසුනු වන තැනක අප කාටත් ජීවිත ඉතුරු වෙන්නේ නැහැ. කුසුම් සහ මම අදටත් අලුත් නිර්මාණ එක්ක වැඩ කරනවා. මම රඟපාන්න කෑදරයි. ඒකට හේතුව මට ජීවත් වෙන්න ගමක සෙනඟ ඕනේ. මේ මිත්‍ර සේවනය නිසා අපි හැමතිස්සේම අලුත් වෙනවා. මේ දවස්වල ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කළ ‘දේවි කුසුමාසන’ චිත්‍රපටය තිරගත වෙනවා. මම සහ කුසුම් මේ චිත්‍රපටයේ රඟපානවා. ඒ වගේ ම බොහෝ කාලෙකට පස්සේ මමම නාට්‍යයක් අධ්‍යක්ෂණය කරනවා. කපිල කුමාර කාලිංගගේ අනුවර්තනයක් වන ‘දොළොස් වැනි කාමරය’ ඒ නාට්‍යයේ නම. ඔස්ට්‍රේලියාවේ මෙල්බන්වල වෙසෙන අපේ කලාකරුවකු වන අජිත් ද සිල්වා මේ නාට්‍යයට නිෂ්පාදන දායකත්වය ලබා දෙනවා. ඒකේ මමත්, කුසුම් රේණු, අංජුලා රාජපක්ෂ, ජනක කුඹුකගේ, අජිත් ලොකුගේ, තරංග බණ්ඩාර, ප්‍රදීප් ඇරූගම සමඟ අපේ චූටි දුව තාරුකී අමායාත් රඟපානවා. ‘දොළොස් වැනි කාමරය’ නාට්‍යයේ සංගීතය නිර්මාණය කරන්නේ රවීන් කනිෂ්ක යි. ජූලි 10 වෙනිදා එල්ෆින්ස්ටන් රඟහලේදී අපි මේ නාට්‍යය වේදිකාගත කරනවා. ටෙලි නාට්‍යත් හරියට සංසාරේ වගේනේ. එකක් ඉවර වෙන්න එකක් පස්සෙන් එනවා. ඒවායින් දැන් ගැලවෙන්න බැහැ. අලුත්ම ටෙලි නාට්‍ය අතර ‘මාව මතකද, එන්න ඇවිත් යන්න ටෙලිනාට්‍යවලත්, ‘සංගීතේ’ නාට්‍යයේත් මම රඟපානවා. තව අලුත් ම ටෙලි නාට්‍ය කිහිපයක් ඉදිරියේදී විකාශය වීමට නියමිතයි.”
එහෙම කියන්නේ ශ්‍රියන්ත
“මම අපේ දූලා දෙන්නාට කවදාවත් අපි වගේම වෙන්න කියලා කිව්වේ නැහැ. නමුත් එයාලා කලාව තුළ ඉන්න ඕනේ කියන සිතුවිල්ල මට තිබුණා. කලාව, සෞන්දර්ය දරුවන්ට තියෙන්න ඕනේ. ඔවුන්ගේ ජීවිත හැඩගැහෙන්න එය අවශ්‍ය යි. දූලා දෙන්නාටම රඟපාන්න, ගීත ගයන්න හැකියාව තියෙනවා. ලොකු දුව මෝස්තර නිර්මාණ ශිල්පියෙක් හැටියට තමන්ගේම ව්‍යාපාරයක් කරනවා. චූටි දුව ඉතාම දක්ෂ හඬහැවීම් ශිල්පිනියක් වාගේම වේදිකාවටත් දැන් සම්බන්ධයි. මගේත් නිර්මාණ කිහිපයක් එන්න තියෙනවා. ධර්ම යුද්ධය දෙක චිත්‍රපටයට සම්බන්ධ වුණා. ආරියරත්න කළුආරච්චිගේ ‘සක්කර සොබ්බ’, තරංග බණ්ඩාරගේ ‘දෙවඟනක් කරුවලේ, සුබ සහ යස’,රාස්ස පරාස්ස’ වේදිකා නාට්‍යවල වැඩ කරනවා. තව ටෙලි නාට්‍ය හා චිත්‍රපට කිහිපයකත් වැඩ කරනවා. මේ සියල්ල අතර මම මේ දිනවල මිත්තණියගේ භූමිකාවටත් ඉතා හොඳින් පණදෙනවා. මගේ මිණිබිරිය දවසක් මගෙන් අහනවා ‘අම්මා අම්මා කොහොමද තව කෙනෙක් සතුටු කරලා ඔයා සතුටු වෙන්න පුරුදු වුණේ.. කියලා. ඒ වාක්‍ය ඇතුළේ ඇය මාව කියවා ඇති තරම මම හඳුනා ගත්තා. ඇයත් දියණියක්ම වීමෙන් මට දැනෙන සතුට දෙගුණ තෙගුණ වෙලා තියෙනවා. ශ්‍රියන්තත් ඇය නිසා පුදුමාකාර විදිහට මේ කාලයේ ජීවිතයේ සුන්දරත්වය අත්විඳිනවා. අපි හරි වාසනාවන්තයි. අපි දෙන්නා භෞතිකවත්, ජීව විද්‍යාත්මකවත්, දෘෂ්‍යමය වශයෙනුත්, ආගම් වශයෙනුත් එකිනෙකාට වෙනස් වුණාට අපි දෙන්නාගේම සිතුවිලි තියෙන්නේ එක තැනක.”
එදා මෙදා තුර නොබිඳි ආදරයකින් බැඳි සිටින ශ්‍රියන්ත, කුසුම් ගේ ආදර කතාව ද ආදරණීයයි. ඒ ආදර බැඳීම නොබිදී තියෙන්න දෙදෙනා අතර ඇති එකඟතාව මෙන්ම විශ්වාසය, අන්‍යොන්‍ය අවබෝධය සාර්ථකත්වයට හේතුවී තිබේ.
“අනෙක් කාරණාව තමයි අපට කෙනෙක් දෙයක් කිව්වොත් අපි ඒ ගැන දෙවරක් කල්පනා කළා. කුසුම් මට යමක් කිව්වත් මම ඒවා කියපු ගමන් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. පසුව හෝ කල්පනා කරනවා. කලාකරුවෙක් හැටියට මගේ ගමන සාර්ථක වුණා නම් ඒ ප්‍රවීණයින් මගේ අනාගතය වෙනුවෙන් කී දේ මම කල්පනාවට ගත් නිසා. මගේ සිනමා ගමන ආරම්භ වන්නේ ගාමිණී ෆොන්සේකා මහතාගේ ‘සාගරයක් මැද’ චිත්‍රපටයෙන්. ඒකේ විනාඩි තුනක පොඩි චරිතයක් මම රඟපෑවා. සති තුනක් නුවරඑළියේ රූගතකිරීම් කළා. රූගතකිරීම් අවසන් කරලා එද්දි ගාමිණී ෆොන්සේකා මහතා මට කතා කරලා ‘හොඳ මූණක් තියෙන්නේ, හොඳට හිටියොත් දුර ගමනක් යන්න පුළුවන්…’ කියලා කිව්වා. ඒක මගේ හිතට තදින් කාවැදුණා. මේ ක්ෂේත්‍රය ඇතුළේ යහපත් ලෙස කටයුතු කරන්න එතුමාගේ ඒ වදන් මට මානසික උත්තේජනයක් වුණා. ඒ ආව ගමනේ තවත් කඩඉමක් සඳහා ජූලි 10 වැනිදා ‘දොළොස්වැනි කාමරයට’ එන්න.” ශ්‍රියන්ත කිව්වා.”
