එදා ලාභ සිනා නැත්නම් අද සුභානිත් නෑ-සුභානි හර්ෂණී

gossiplanka image 1
කලක් හැම මුවකම රැව් දුන් සුභානි හර්ෂණී ගයන මෙම ගීතය අදටත් ජනප්‍රිය ගීතයකි. තුරුණු ශක්ති රියැලිටි වැඩසටහන ඔස්සේ ගායන ක්ෂේත්‍රයට පිවිසි සුභානි සිය කුලුඳුල් ගීතයෙන් අතිශයින්ම ජනප්‍රියත්වයට පත්වීමට තරම් වාසනාවන්තියක් වූවාය. අනතුරුව හම්බන්තොට මුහුදු වෙරළෙ, සපත්තු මල, එකම එක වරක්, මේ කඳුළු තොටුපළයි, සීමා නෑ වැනි අතිශයින් ජනප්‍රියත්වයට පත් ගීත ඔස්සේ ඇය සිය ජනප්‍රියත්වය තවදුරටත් ඔප් නංවා ගත්තාය. දෙරණ සික්ස්ටි ප්ලස් රියැලිටි වැඩසටහනේ විනිසුරුවරියක් ලෙස ද කටයුතු කරන ඇය නවතම ගීතය එළිදැක්වීමට සූදානමින් සිටින්නීය.


සුභානි ගොඩක් කාලෙකින් නේද අලුත් ගීතයක් රිලීස් කරන්න සූදානම් වන්නේ?


ඔව්. මේ වෙද්දි ගීත තුනක් රිලීස් කරන්න සූදානමින් තියෙනවා. ‘මේ රිදුම් නවතී – යනවා ඔබට මං සමුදී’ කියන මගේ අලුත්ම ගීතය ලබන සතියේ රිලීස් වෙනවා. එහි තනු නිර්මාණය සහ පද රචනය ගයාන් මධුශංකගේ. අනිත් ගීත දෙකෙන් එකකට මේ වෙද්දි රූප රචනය කරලත් ඉවරයි. ඒ දෙකත් ඉතාම ඉක්මනින් රිලීස් කරනවා. ඊට අමතරව ප්‍රසංග වේදිකාවට සම්බන්ධ වෙනවා. මේ දවස්වල මගේ අලුත් ක්ලාස් එකේ වැඩක් කරගෙන යනවා. දුවගේ වැඩකටයුතුත් කරන ගමන් දෙරණ සික්ස්ටි ප්ලස් හය වැනි වැඩසටහනේ විනිසුරුවරියක් විදිහටත් කටයුතු කරනවා.


රියැලිටි කලාව කියන්නේ මේ දවස්වල ඉතාම ජනප්‍රිය කලාවක්. සික්ස්ටි ප්ලස් කියන්නේ ඊට ටිකක් වෙනස් අත්දැකීමක් නේද? ඒ ගැන කතා කළොත්?


ඒක මගේ කලා ජීවිතේ මට ලැබුණු ලොකුම අවස්ථාවක්. රියැලිටි වැඩසටහන් කොතරම් තිබුණත් වැඩිහිටියන් වෙනුවෙන් පවත්වනු ලබන සික්ස්ටි ප්ලස් වගේ වැඩසටහන් නැති තරම්. ඒක හරි අපූරු අත්දැකීමක්. ඒ අම්මලා තාත්තලා එක්ක කටයුතු කරද්දී හරිම සතුටක් දැනෙනවා. හරිම දක්ෂ පිරිසක්. කවුද අයින් කරන්නෙ කියලා හිතාගන්න බෑ. වචනෙකින් හරි ඔවුන්ගේ හිත හදන්න ලැබෙන එකත් සතුටක්. ඒක වෙනමම ලෝකයක්. තරුණ අය වගේ නෙවෙයි ඉවත් කරන්න හරිම දුකයි. ඔවුන් එක්ක කතාබහ කරද්දී ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබෙනවා. ඒ වගේම පැරණි ගීත ගැනත් හොඳ අධ්‍යයනයක් කරන්න ලැබෙනවා. ඔවුන් විඳින සතුට දැක්කම අපිටත් ලොකු සතුටක් දැනෙනවා. මමත් ආවේ තුරුණු ශක්ති රියැලිටි වැඩසටහනෙන් නිසා ඒක මටත් විශේෂයි. මමත් ආසයි අනිත් අයට උදවු කරන්න. ඒ අම්මා තාත්තා කෙනෙක් ඉවත් වෙද්දි අපටත් ලොකු වේදනාවක් දැනෙනවා.


ඔබ එන්නේ පළමුවැනි තුරුණු ශක්ති වැඩසටහනෙන්. ඒ මතකය අවදි කළොත්?


මුලින්ම අපිව තෝරගත්තේ දිස්ත්‍රික් මට්ටමෙන්. මම අයදුම් කළේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන්. අයදුම්පත් දහස් ගාණක් අතරින් දිස්ත්‍රික් මට්ටමින් තේරුණාට පස්සේ පළාත් තරග තිබ්බා. ඊට පස්සේ තමයි අවසන් මහා තරගය තිබුණේ. එතැනදි මට පළමුව ගායනා කරන්න ලැබුණු ගීතය තමයි ලාභ සිනා ගීතය. ඒක ඉතාමත් ජනප්‍රිය වුණා. මුල්ම ගීතය ඒ තරම් ජනප්‍රිය වෙනවා කියන්නෙ ලොකු වාසනාවක්. ඒ ජනප්‍රියත්වය අදටත් එහෙමයි. ලාභ සිනා නැත්නම් අද සුභානිත් නෑ. ඒක ඒ තරම්ම ජනප්‍රිය වුණා. අදටත් ප්‍රසංග වේදිකාවේ ලාභ සිනා නොගැයුවොත් ඒක ඉල්ලනවා. මේ වෙද්දි මගේ කලා ජීවිතේට අවුරුදු 25ක් වෙනවා. ගොඩක් අත්දැකීම් ලැබුවා. මට එන්න ඕන තැනට එන්න ලැබීම ගැන මං ගොඩක් සතුටු වෙනවා. මීටත් වඩා හොඳ තැනකට එන්න ඕන. මීට වඩා දෙයක් කළයුතුයි කියන තැන මං ඉන්නවා.


මේ වෙද්දි සුභානිගේ ගීත කීයක් විතර නිර්මාණය වෙලා තියේද?


මගේ මතකයේ හැටියට ගීත දෙසීය හැත්තෑවක් විතර ගයලා තියෙනවා. ලාභ සිනා, නාන තොටේ, ඉකිබිඳින නෙතු, සීමා නෑ, එකම එක වරක්, මේ කඳුළු තොටුපොළ, හැමදාම සිහිනයක, මට දුරින් ඉඳන්, එක ආත්මයක වගේ ගීත ගොඩක් ප්‍රේක්ෂකයින් අතරට ගියා. ලාභ සිනාවලින් පටන් අරන් කැසට්පට පහක් කළා. ඊට පස්සේ තමයි කැසට් කලාව ඉවර වෙලා සීඩී තැටි කලාව ආවේ.


සුභානි ගායන ක්ෂේත්‍රයට එන්නේ ළමා ගායිකාවක් විදිහට නේද?


ඔව්. ළමා ගායිකාවක් විදිහට මං ක්ෂේත්‍රයට එන්නේ සංගීතය ගැන ඉගෙන ගෙන. ළමා වියේදිම සංගීතය ගැන හදාරලා අනාගතේ හොඳ ගායිකාවක් වෙන්න අවශ්‍ය පසුබිම මං හදාගත්තා. ඒ කාලෙ ජාතික සංගීත අවසන් විභාගේ කරනවා කියන්නෙ හරිම වටින දෙයක්. මං ඒකත් කළා. හින්දුස්ථානී සංගීතය විශාරද දක්වා කළා. උසස් පෙළටත් සංගීතය හැදෑරුවා. ඊටත් පස්සේ තමයි තුරුණු ශක්ති වැඩසටහනට සම්බන්ධ වෙන්නේ.


ලස්සන දිග කොණ්ඩය තමයි ඒ දවස්වල සුභානිගෙ අනන්‍යතාව. හදිසියේම කොණ්ඩය කැපුව එක ප්‍රේක්ෂකයින්ටත් ගැටලුවක් වුණා නේද?


ගොඩක් දෙනා ඒ ගැන අහන්න ගත්තා. ඇත්තටම මට තිබුණේ නීරෝගි, ලස්සන දිග කොණ්ඩයක්. ඒ දවස්වල මට එකදිගටම සංගීත ප්‍රසංග තිබුණ නිසා දූවිලි වැදුනම මහ රෑ නාන්න වෙනවා. ඒ නිසා කොණ්ඩය මේන්ටේන් කරන්න ටිකක් අපහසු වුණා. ඒත් එක්කම අසනීප වෙන්න ගත්තා. අසනීප වෙද්දි කටහඬ වෙනස් වෙනවා. ඒක අපහසුතාවට පත්වන තැනක්. ඒ නිසා තමයි කොණ්ඩය කපන්න වුණේ. ලස්සනට තිබුණු කොණ්ඩය ඇයි කැපුවේ කියලා බොහෝ දෙනෙකුට ගැටලුවක් වුණා. ඕක තමයි හේතුව.


 

Previous Post Next Post