හොඳ අධ්‍යක්ෂවරයෙක් වීම තමයි එකම බලාපොරොත්තුව -මලිඳු කවීෂ ජයශ්‍රී

gossiplanka image 1
මීනූ, දියණි, අකුරු මැකී නෑ, සැන්ඩි ඇතුළු ටෙලි නාට්‍ය ගණනාවක් හරහා ප්‍රේක්ෂකයා හඳුනාගත් තවත් අංකුර ළමා රංගන ශිල්පියෙක් මෙවර රසඳුනට මුණ ගැසිණ. මලිඳු කවීෂ ජයශ්‍රී රුවෙන් සේම හැකියාවෙන්ද පිරුණු දක්ෂ ළමා රංගන ශිල්පියෙකි. ඔහු සමඟ සොඳුරු කතාබහ මෙසේ අරඹමු.


 මලිඳු මොකද මේ දවස්වල කරන්නේ ?


පාසල් වැඩවලට අමතරව ටීවී දෙරණේ අලුත් ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලට සම්බන්ධ වෙනවා.


ක්ෂේත්‍රයට ආපු ගමන් මඟ ගැන අපි මුලින්ම කතා කරමු?


මම කලාවට සම්බන්ධ වෙන්නේ වයස අවුරුදු පහේදී. මගේ පිංතූරයක් ෆේස් බුක් එකෙන් දැකලා ලංකා බැංකුවේ රූපවාහිනී වෙ‍ෙළඳ දැන්වීමකට මට කතා කළා. ඒක තමයි මම මුලින්ම සම්බන්ධ වුණු නිර්මාණය. ඊට පස්සේ මට තව වෙළඳ දැන්වීම් දෙකකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. 2021 වසරේ ස්වර්ණවාහිනී සිඟිති අවුරුදු කුමරා තරඟයෙන් මට තුන් වෙනි ස්ථානය ලැබුණා. ඒක මගේ කලා ජීවිතේ ලොකු හැරවුම් ලක්ෂයක්.


මේ වෙනකොට මලිඳු කලා නිර්මාණ කොපමණ ප්‍රමාණයකට දායක වෙලා තියෙනවද?


දැනට ටෙලි නාට්‍ය 15ක් විතර කරලා තියෙනවා. ටෙලි ෆිල්ම් සහ වේදිකා නාට්‍ය රංගනයටත් මම දායක වෙලා තියෙනවා. වෙ‍ෙළඳ දැන්වීම්වල හඬ කැවීම්වලටත් මම සම්බන්ධ වෙනවා. දෙරණ නාළිකාවේ පෝය ටෙලි නාට්‍යයේ මේ මාස කිහිපයේම මාව දකින්න පුළුවන්.


පාසල් අධ්‍යාපනය ගැනත් දැන ගන්න කැමතියි.


මම ඉගෙන ගන්නේ බප/කැල දරණාගම ජාතික පාසලේ අට ශ්‍රේණියේ. මගේ ගම කිරිබත්ගොඩ මාවරමණ්ඩිය. කලා වැඩ කටයුතු වලට පාසලෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. විශේෂයෙන්ම කියන්න ඕන මගේ පාසලේ නාට්‍ය හා රංග කලා විෂයය භාර සර් මට ගොඩක් උදව් කරනවා. ඒ වගේම විදුහල්පතිතුමිය වන සුලනි කුලරත්න, පංති භාර ආචාර්ය සෂිකා ගුරුතුමිය මට විශාල ශක්තියක් ලබා දෙනවා.


ඔයාට තව මොනවද තියෙන දක්ෂතා ?


මට හොඳට සින්දු කියන්න පුළුවන්. ඒ වගේම නටන්නත් පුළුවන්. ක්‍රීඩා විදියට මම චෙස් ක්‍රීඩා කරනවා, ෆුට් බෝල් සෙල්ලම් කරනවා. බයිසිකල් පදින්නත් මම ආසයි.


ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ගැනත් අමතක කරලා බෑ නේද මලිඳු ?


ඔව් ඇත්තටම. මම තාම මේ ක්ෂේත්‍රයට ආධුනික ළමා රංගන ශිල්පියෙක්. ප්‍රවීණ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරුන්ගෙන් මට සෑහෙන ගුරුහරුකම් ලැබෙනවා. ඒ වගේම ප්‍රවීණ රංගන ශිල්පී මාමලා නැන්දලා, අයියලා අක්කලා මට ලොකු සහයෝගයක් දෙනවා. ඉරේෂ් ලොකුබණ්ඩාර, ධනුෂ්ක රෙහෙමන්, හර්ෂ උඩකන්ද, මයුර කාරියවසම් වගේ අධ්‍යක්ෂක මාමලා මගෙ අඩුපාඩු පෙන්නලා දීලා ඉදිරි ගමනට ලොකු ශක්තියක් දෙනවා.


ඔයා රංගනය හදාරනවද ?


ඔව්, මම තනුජාවී විජේවික්‍රම මිස්ගෙන්, ප්‍රභාත් දුෂ්‍යන්ත සර්ගෙන් සහ සුමිත් ගල්හේන සර්ගෙන් රංගනය ඉගෙන ගත්තා. රවිඳු විජේරත්න සර් යටතේ මම දැන් රංගනය හදාරනවා.


රූගත කිරීම්වලදි මලිඳු මුහුණ දුන්න අමතක නොවෙන සොඳුරු සිදුවීම් එහෙමත් ඇති.


‘කෝඩුකාරයෝ‘ ටෙලි නාට්‍යයේ මම හිටියේ දුප්පත් වීදී දරුවෙක්ගේ චරිතයකට. මගේ චරිතයේ නම ‘ටටා‘. පාරේ ජීවත් වෙන එක මොනවගේ අත්දැකීමක්ද කියලා මට දැනුණේ ඒ චරිතයෙන්. මීට කලින් එහෙම අත්දැකීමක් මම විඳලා නෑ. තව අත්දැකීමක් කියන්නම්. ‘මීනු‘ ටෙලි නාට්‍යයේ මිනුකිව එයාගේ ගෙදරින් බේර ගන්න ජනේලෙන් පැන්න වෙලාවේ මගෙ කකුල උලුක් වුණා. ඒකත් මට අමතක වෙන්නේ නෑ.


ඔයා වැඩිපුරම ප්‍රේක්ෂකයා අතරට ගියේ මොන වගේ චරිතෙවලින්ද ?


‘මීනු‘ ටෙලි නාට්‍යයේ නිතෙස්ගේ චරිතය සහ ‘දියණි‘ ටෙලි නාට්‍යයේ චන්දු කියන චරිතය ප්‍රේක්ෂයා වැඩිපුරම වැළඳ ගත් චරිත කියලා කියන්න පුළුවන්.


ඉදිරියට විකාශය වෙන්න නියමිත නිර්මාණ ගැනත් කියමු?


ධනුෂ්ක රෙහෙමන් මාමා අධ්‍යක්ෂණය කරන “කෝඩුකාරයෝ” ටෙලි නාට්‍ය සහ මයුර කාරියවසම් මාමා අධ්‍යක්ෂණය කරන අලුත් ටෙලි නාට්‍යයක් විකාශය වෙන්න තියෙනවා.


මලිඳුගේ අනාගත බලාපොරොත්තුව මොකක්ද ?


මම කැමතියි ටෙලි නාට්‍ය, චිත්‍රපට අංශයෙන් හොඳ අධ්‍යක්ෂවරයෙක් වෙන්න. ඒක තමයි මගේ බලාපොරොත්තුව.


මේ ආව ගමනෙදි ස්තූති කරන්න කවුද ඉන්නේ ?


මගේ අම්මා තමයි මාව මේ තැනට අරන් එන්න ගොඩක්ම මහන්සි වුණේ. ඒ වගේම තාත්තා, අක්කලා දෙන්නා මට ලොකු සහයෝගයක් දෙනවා. පාසලේ සියළු දෙනාමත්, කලා ක්ෂේත්‍රයේ මට සහය ලබා දෙන හැමෝමත් මේ වෙලාවේ ආදරෙන් මතක් කරනවා.

gossiplanka image 2
Previous Post Next Post