
මේ දිනවල ඔබේ කාලය ගෙවී යන්නේ කොහොමද?
මේ දවස්වල නම් හරිම කාර්යබහුල ජීවිතයක් තමයි ගෙවන්නේ. එක දිගට වැඩ එනවා. ඉතින් ගොඩක් කාර්යබහුල වෙලා තමයි ඉන්නෙ.
ඉරගිනි මද්දහන ටෙලි නාට්‍යයේ “චූටි”ට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ඇත්තටම චූටිගේ චරිතය හරහා මට ගොඩක් ප්‍රේක්ෂකයන් අතරට යන්න පුළුවන් වුණා. ප්‍රේක්ෂකයෝ චූටිගේ චරිතයට හරිම ආදරෙයි. චූටිගේ චරිතය මගේ සැබෑ ජීවිතයටත් ගොඩක් සමාන වන අවස්ථා තිබෙනවා.
චූටිට ලැබෙන ආදරය පෞද්ගලිකව මටත් ලැබෙනවා. දැන් හැමෝම චූටි කියන නමින් තමයි මට කතා කරන්නේ. චූටිගේ චරිතය හරි ආදරණීයව වැලඳගැනීමක් ප්‍රේක්ෂකයෝ අතර දකින්න පුළුවන්.
ඔබ වෘත්තියෙන් ගුරුවරියක් ලෙස මෙවන් රැකියා දෙකක් සමබරව සිදු කරන්නේ කෙසේද?
ඒක ඇත්තටම කරන්න අමාරුයි. මට වැඩ ගොඩක් ලැබුණත් මම හැම වැඩක්ම භාරගන්නේ නැහැ. මට දෙයක් කරන්න පුළුවන් කියලා හිතට දැනෙන හොඳ නිර්මාණ තමයි මම භාරගන්නේ. රංගනය එක්ක ගුරු වෘත්තිය එකට පටලවා ගන්නේ නැතිව පුළුවන් තරම් වෙනම කරගෙන යන්න උත්සාහ කරනවා. ක්ෂේත්‍රය තුළ වුණත් මට නිවාඩු තිබෙන දවස් බලලා සමබර කරලා ෂූටින් දාන්නේ. ඔවුන් සමඟ හරි ආදරණීය ගනුදෙනුවක් තිබෙන්නේ. මොකද ෆීල්ඩ් එකේ අය කියන්නේ ගුරු වෘත්තිය නැතිකර ගන්න එපා කියලා. ඒ වගේම ගුරු වෘත්තියේ අය කියන්නේ රංගන වෘත්තිය නැතිකර ගන්න එපා කියලා. දෙපැත්තෙන්ම මට ලොකු සහයෝගයක් ලැබෙනවා. ඉතින් ඒ අතින් මම හරි වාසනාවන්තයි.
හැමවෙලේම පුළුවන් තරම් සමබර කරගෙන වැඩකටයුතු කරගෙන යන්න තමයි බලන්නේ.
විජේ දේවරකොණ්ඩා සමඟ එකට රංගනයේ යෙදීමේ අත්දැකීම කොහොමද?
මම එහි රංගනයේ යෙදෙන්නේ දිග කොටසක නම් නෙවෙයි පොඩි කොටසක තමයි ඉන්නේ. ඒක තෙළිඟු ෆිල්ම් එකක්. මම ඒ ෆිල්ම් එකේ හිටපු ආර්ටිස්ට්ලා අගය කරනවා. මොකද ඔවුන් අපට ගොඩක් ගරු කරනවා. එහිදී අපට සම අවස්ථා ලබා දුන්නා. ඉතින් වෙනත් රටක අය සමඟ මට ගනුදෙනු කරන්න ලැබුණු එක මගේ වාසනාවක්. දවස් ගණනක් මම ඔවුන් සමඟ හිටියා. එහිදී ඔවුන්ගෙන් මට ලොකු සහයෝගයක් ලැබුණා. ගාල්ලේ සහ කොළඹ තමයි ෂූටින් තිබුණේ. වෙනත් භාෂාවක් කතා කරන වෙනත් රටක පිරිසක් වුණත් ඔවුන් හා මා අතර හොඳ සම්බන්ධතාවක් ගොඩනැඟුණා. ඔවුන් මට හැමවෙලේම කීවේ මගේ මුහුණත් ඔවුන්ගේ ෆීල්ඩ් එකේ ආර්ටිස්ට්ලාගේ වගේ එක හා සමානයි කියලා. මට පුළුවන් තරම් ඒ ගැන අධ්‍යනය කරන්න කීවා.
ඔබ දුෂ්කර පාසල්වල ගුරුවරියක් ලෙස සේවය කිරීමේදී ලැබුණු අත්දැකීම්වල රසමුසු තැන් මතක් කරමු?
මම මුලින්ම වැඩ කළේ කොළඹ පාසල්වල තමයි. ඊට පස්සෙ මට මගේ පත්වීම ලැබෙන්නේ දුෂ්කර පාසලකට. අහසයි පොළොවයි වගේ ලංකාවේ සම්පත් බෙදී යෑමේ විෂමතාව මම හොඳටම අත්විඳින කෙනෙක්. නමුත් නාගරික පාසල්වල ළමුන්ට ගන්නට බැරි හරි සුන්දර සෞන්දර්යාත්මක අත්දැකීම් ගොඩක් ගම්බද පාසල් ළමුන් ගන්නවා. ඒ පාසලේ ළමුන් ඇළට දොළට ගිහින් පවා ප්‍රායෝගික අත්දැකීම් අරගෙන ඉගෙන ගන්නවා. මම හැම පාසලකටම ගරු කරනවා. නමුත් ගම්බද පාසලක් වුණත් මගේ පාසලේ ළමුන් ගොඩක් නිදහසේ ඉගෙන ගන්නවා. ඒ ළමුන් ගොඩක් ප්‍රායෝගික අත්දැකීම් ඇසුරෙන් දේවල් ඉගෙන ගන්නවා. මමත් ඒ දේවල්වලට හරිම කැමැතියි.
ඔබට තිබෙන්නේ ස්වාභාවික සුන්දරත්වයක් යැයි බොහෝ රසිකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර ගැන මොකද හිතෙන්නේ?
මගේ පොඩි කාලයේ තිබුණ රූපයම තමයි මේ තිබෙන්නේ. හමේ වර්ණයවත් වෙනස් කරල නැහැ. මගේ තිබෙන්නේ ස්වාභාවික සුන්දරත්වයක් කියලා හිතනවා. මම කොයිම වෙලාවකවත් ඒ දේවල් වෙනස් කරන්න උත්සාහ කරන්නේ නැහැ. නමුත් ඒ සුන්දරත්වය දිගටම පවත්වාගෙන යනවා. මගේ සමේ වර්ණයට මුහුණේ හැඩයට මම කැමැතියි. ඒ වගේම රසිකයන්ගෙන් ලැබෙන ආදරයට මම හරි කෑදරයි. අද වෙද්දි මම මුදලට වඩා හම්බ කළේ මගේ ආදරණීය ප්‍රේක්ෂකයෝ තමයි. ඔවුන් තමයි මගේ වත්කම විධියට මට දැනෙන්නෙ.
ඔබේ වැඩකටයුතුවලට පවුලෙන් ලැබෙන සහයෝගය ගැනත් මතක් කරමු?
මගේ හත්මුතු පරම්පරාවේවත් රංගන ක්ෂේත්‍රයේ කවුරුත් නැහැ. අපේ පරම්පරාවේ පළමුවැනිම රංගන ශිල්පිනිය මම තමයි. ඉතින් පවුලේ අය හරිම කැමැතියි සහ හැමෝම පුළුවන් විධියට උදව් කරනවා. මගේ අක්කා පියුමි දිල්රුක්ෂි. ඇයත් වෘත්තියන් ගුරුවරියක්. සමහර වැඩවලට යන්න මගේ ඇඳුම් ලස්සනට හදලා මහලා දෙන්නේ මගේ අක්කාගෙ අතින් තමයි. මම එක්ක අදටත් ෂූටින් යන්නේ අම්මා. ඒ වගේම තාත්තත් ලොකු සහයෝගයක් දෙනවා. සචින්ත, සුමේද, තෂිරු, චන්දු, චතුරිකා මල්ශානි, ටිෂානි, දිල්ෂි, මදු, නිමේශලා කියන මගේ ආදරණීය යාළුවන්වත් මතක් කරන්න ඕනෑ. මාව ආරක්ෂා කරන, මාව දරාගෙන ඉන්න වැටෙන තැන්වල හයියට ඉන්න මගේ සහෝදරයෝ ටික තමයි මගේ යාළුවෝ. ඉතින් මගේ හොඳම යාළුවෝ ටිකට මම ගොඩක් ආදරෙයි.
ආදරය හා විවාහය ගැන ඔබේ කියැවීම?
ආදරයේදී දෙපාර්ශ්වයම ගොඩක් අවංක වෙන්න ඕනෑ. අපිට හරියනම කෙනා ජීවිතයේ හොයා ගන්න අමාරු වෙන්න පුළුවන්. ඒ වගේම ආදරයේදී ගැහැනු ළමයි විශ්වාසය, රැකවරණය, ආරක්ෂාව කියන මේ හැමදෙයක්ම බලාපොරොත්තු වෙනවා. ආදරය කරන කාලයේදී ලැබෙන ආදරයම නොවෙනස්ව විවාහයෙන් පසුවත් දෙදෙනාගෙන්ම ලැබෙන්න ඕනෑ. ඒ වගේම දෙන්නාට දෙන්නා විශ්වාසය රකින්න ඕනෑ. එහෙම නැති තැනකදී හොඳම දෙය එතැනින් අපි ඉවත් වෙන එක තමයි. සමහර වෙලාවට අවුරුදු ගණනක් අපි විශ්වාස කරන කෙනා වුණත් විශ්වාසය කඩ කරන්න පුළුවන්. ඇත්තටම ඒ වගේ හිත් රිදීම් නොකර ගෞරවාන්විත විධියට එතැනින් ඉවත් වෙන එක තමයි වටින්නේ.
ඔබේ ඉදිරි වැඩකටයුතු ගැන මතක් කළොත්?
මම මේ වන විට ටෙලි ඩ්‍රාමා හයකට රංගන දායකත්වය ලබා දීලා තිබෙනවා. ඉතින් දැනට තිබෙන වැඩකටයුතු ටික ඉදිරියට හොඳින් කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. චිත්‍රපට කිහිපයකටත් ආරාධනා ලැබිලා තිබෙනවා. ඉදිරියටත් හොඳ නිර්මාණවලට දායක වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා සහ මගේ කාලය කළමනාකරණය කරගෙන වැඩකටයුතු හොඳින් කරගෙන යනවා.
රුවිනි අමරකෝන්
