රඟපාන්න ආපු දා ඉඳලා කැපිල්ල වැඩියි-සප්නා පාදුක්ක

gossiplanka image 2
මේ දවස්වල විකාශය වන විසේකාරි, ආලවන්ති, ඉරගිනි මද්දහන, ප්‍රාර්ථනා ඇතුළු ටෙලි නාට්‍ය කීපයකින්ම ප්‍රේක්ෂකයන්ගේ ආලින්දයට එන නිළියක් විදිහට සප්නා පාදුක්කව ප්‍රසිද්ධයි. නිතර ප්‍රේක්ෂකයො අතර ඉන්න නිළියක් නිසා ඇයගේ අලුත්ම විස්තර දැනගන්න සප්නා එක්ක කතා කරන්න අපි හිතුවා.






මේ දවස්වල සප්නගේ වැඩකටයුතු මොනවද?




මම රංගනයෙන් සම්බන්ධ වුණ ඉරගිනි මද්දහන සහ ප්‍රාර්ථනා ටෙලි නාට්‍යවල රූගතකිරීම් අවසාන කළා. මේ දවස්වල විසේකාරි සහ ආලවන්ති ටෙලි නාට්‍යවල රූගතකිරීම් කරගෙන යනවා. ඊට අමතරව පළමුවැනි වතාවට මම ප්‍රධාන චරිතය රඟපාන රූපවාහිනී මාලා නාට්‍යයකටත් තවත් ටෙලි නාට්‍යකටත් සම්බන්ධ වෙලා රූගතකිරීම් කරගෙන යනවා. ඒ වගේම යාපනයේ දෙමළ චිත්‍රපට නිෂ්පාදක කණ්ඩායමක් නිර්මාණය කරපු දෙමළ චිත්‍රපටයකටත් පහුගිය කාලයේ සම්බන්ධ වුණා.


ඉරගිනි මද්දහන ටෙලි නාට්‍යයේ ජයංගාගේ චරිතය සප්නගේ වෙනස්ම රංගන පැතිකඩක්. කොහොමද ඒ අත්දැකීම?




පාරදිගේ ටෙලි නාට්‍යයෙන් පස්සෙ මගේ දෙවැනි ටෙලි නාට්‍යය තමයි ඉරගිනි මද්දහන. නමුත් මම රඟපාපු අනිත් ටෙලි නාට්‍ය විකාශය වෙලා වසර කීපයකට පස්සෙ තමයි ඉරගිනි මද්දහන විකාශය වෙන්න පටන් ගත්තෙ. දීර්ඝ ටෙලි නාට්‍යයවලින් ඈත්වුණ 90 දශකයේ කාලයට අයිති කතාවක් ඔස්සෙ දිගහැරෙන ඉරගිනි මද්දහනෙ තරුණ බිරිඳකගේ චරිතයක් මම රඟපාන්නෙ. හරවත් කතාවක් එක්ක ප්‍රවීණ නළු නිළියො ගොඩක් මැද හොඳට රඟපාන්න පුළුවන් ජයංගගේ චරිතය ලැබීම ඇත්තටම අභියෝගකාරී වෙනස් අත්දැකීමක් වුණා මට.




දෙමළ සිනමාවට සම්බන්ධ වුණේ කොහොමද?




ත්‍රිකුණාමලයේ දෙමළ ගායකයකුගේ මියුසික් වීඩියෝවකට රංගනයෙන් මම සම්බන්ධ වුණා. ඒ මියුසික් වීඩියෝවේ මගේ රංගනය දැකලා යාපනයේ ප්‍රසිද්ධ දෙමළ චිත්‍රපට අධ්‍යක්ෂ ඊලවානි 2023 වසරේදි මට ආරාධනා කළා ඔහුගේ දෙමළ චිත්‍රපටයක ගීතයක ප්‍රවර්ධන රංගනයකට. ඒ රංගනයත් සමග දෙමළ චිත්‍රපට නිර්මාණකරුවෝ අතර මාව ප්‍රසිද්ධ වීමත් සමග මෑතකදී රූගත කරපු කාදල් ක්‍රයිම් දෙමළ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් මට රඟපාන්න ලැබුණා. ඒ වගේම තවත් දෙමළ චිත්‍රපට දෙකක රඟපාන්න මට මේ වෙද්දි ආරාධනා ලැබිලා තියනවා.




දෙමළ සිනමා ක්ෂේත්‍රයේ අයත් එක්ක වැඩ කරපු අත්දැකීම කොහොමද?






නළු නිළියන්ව වටින වස්තුවක් විදිහට දෙමළ සිනමාව නිර්මාණකරුවො සලකනවා. විශේෂයෙන් නළු නිළියන්ගේ පහසුකම්, කෑමබීම, සතුට ගැන සැලකිලිමත් වෙනවා. නළු නිළියො අපහසුවෙන් අසතුටින් නම් ඉන්නෙ ඒ මෙහොතෙදි රූගතකිරීම් නවත්තලා නළු නිළියන්ගේ අවශ්‍යතා ගැන හොයලා බලලා නළු නිළියො යථා තත්ත්වයට පත් වුණාට පස්සෙයි ආපහු රූගතකිරීම් පටන් ගන්නෙ.




සප්නට දෙමළ පුළුවන්ද?






ටිකක් විතර දෙමළ පුළුවන්. දෙමළ අය කතා කරන දේවල් ⁣තේරුම් ගන්න පුළුවන්. හැබැයි ඒ දේවල්වල⁣ට දෙමළෙන් උත්තර දෙන්න මම දන්නෙ නැහැ⁣. ලබන අවුරුද්ද වෙන්න කලින් දෙමළ හොඳටම ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා.








රංගන ක්ෂේත්‍රයේ මේ තාක් ආපු ගමන අභියෝග කැපිලි මැදින් ගමනක්ද?






ක්ෂේත්‍රයට ආපු දා ඉඳලා මට කැපිලි තිබුණා. මම රඟපාපු මුල්ම ටෙලි නාට්‍යය පාරදිගේ ටෙලි නාට්‍යයට නිෂ්පාදකවරයා මාව ගන්නකොට ගොඩක් අය කිව්වා මාව ගන්න එපා කියලා. මම රඟපානවා නම් ටෙලි නාට්‍ය ජනප්‍රිය වෙන්නෑ කියලා අධ්‍යක්ෂවරුන්ට කේලම් කියලා චරිත හොරකම් කරපු අයත් හිටියා. ඒ විදිහෙ කැපිලි මැද මම වෘත්තිය ස්ථාවරය හදාගත්තා. මගේ ගමන වළක්වන්න ඉස්සරහටත් කැපිලි එයි. හැබැයි මම ඒවා ගණන් ගන්නෙ නැහැ.




විසේකාරි ටෙලි නාට්‍යයේ සප්නා රඟපාපු දර්ශනයක් සංස්කරණය කරලා පහුගිය දවස්වල සමාජ මාධ්‍යවල ප්‍රසිද්ධ කරලා තිබුණා නේද?






ඔව්. විසේකාරි ටෙලි නාට්‍යයේ දර්ශනයක මම ඇඳගෙන හිටපු ඇඳිමට යටින් ඇඳලා හිටපු ඇඳුම සහ කලවා පේන විදිහට සංස්කරණය කරලා හදපු වීඩියෝවක් පහුගිය දවස්වල සමාජ මාධ්‍යවල ප්‍රසිද්ධ කරලා තිබුණා. ඇත්තටම මම ඒ විදිහෙ මඩ ප්‍රචාර ගැන අවධානය යොමු කරන්නෙ නැහැ.








ඒ විදිහට මඩප්‍රහාර එල්ල කිරීම ගැන සිත් තැවුලක් හෝ අපහසුතාවක් නැද්ද?






ඇත්තටම නැහැ⁣. මඩගහන්නෙ ම⁣ට අකමැති අය හෝ මගේ ප්‍රේක්ෂකයො නොවන අය. ඉතින් මට අකමැති පුද්ගලයෝ එල්ල කරන මඩ ප්‍රහාර ගැන ඇයි මම සිත් තැවුලට පත්වෙන්නෙ?




සමහර ප්‍රේක්ෂකයො ඇඳුමින් නළු නිළියන්ගේ සැබෑ ජීවිතය මනින තත්ත්වය ගැන මොකක්ද හිතන්නෙ?






ඇඳුමින් නළු නිළියන්ගේ චරිතය මනින එක මම අනුමත කරන්නෙ නැහැ. චරිතාංග නිළියක් වුණාම ඕනෑම විදිහෙ ඇඳුමක් ඇඳලා රඟපෑම සාමාන්‍යයි. බොලිවුඩ්වල ශද්ධා කපූර් වුණත් රංගනයේදි කොට ඇඳුම්, බිකිනි අඳිනවා. නමුත් ඇය සැබෑ ජීවිතයේදි ඇඟ වැහුණ සල්වාරි අඳින්නෙ. නළු නිළියො රංගනයේදි අඳින ඇඳුම් පැලඳුම්වලින් කරන කියන දේවල්වලින් සැබෑ ජීවිතයේදිත් ඔවුන් ඒ විදිහෙ පුද්ගලයො කියලා තීරණය කරන්න බැහැ. මම වුණත් රංගනයේදි කොට ඇඳුම් අඳිනවා. නමුත් පෞද්ගලික ජීවිතයේදි ඇඟ පේන විදිහට කොට ඇඳුම් ඇඳගෙන පාරෙ තොටේ යන්නෙ නැහැ. 

gossiplanka image 1
Previous Post Next Post