මමත් ආදරයක් හොයනවා – දිනිති අරෝෂ්කා

gossiplanka image 2
ඇය ක්‍ෂේත්‍රයට එන්නෙ දිව්‍යාදරී ටෙලි නිර්මාණයෙන්. මේ වන විට පාට කුරුල්ලෝ සහ මායාවී ටෙලි නිර්මාණ ද්විත්වයේත් ඇයගේ රංගන හැකියාවන් ප්‍රේක්‍ෂක ඔබට දැකබලාගන්න පුළුවන්. මීවිත මේ කතාබහ දිනිති අරෝෂ්කා සමග.

මමත් ආදරයක් හොයනවා - දිනිති අරෝෂ්කා

මුලින්ම දිනිතිගෙ විස්තර ටිකක් කියමු?


මගේ ගම බණ්ඩාරවෙල. පාසල් ගියේ බණ්ඩාරවෙල විශාඛා විද්‍යාලයට. මගේ පවුලෙ ඉන්නෙ අම්මයි, තාත්තයි, නංගිල දෙන්නයි. රඟපෑමට අමතරව මම පෞද්ගලික ආයතනයක රැකියාවක් කරනව.


කොහොමද පාට කුරුල්ලෝ සහ මායාවී ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්නෙ?


මම මුලින්ම සම්බන්ධ වෙන්නෙ අයි.ටී.එන්. නාළිකාවේ විකාශය වුණ දිව්‍යාදරී ටෙලි නාට්‍යයට. ඒක අවසන්වනවාත් එක්කම තමයි පාට කුරුල්ලෝ ටෙලි නාට්‍යයට ආරාධනයක් ලැබෙන්නෙ.


මමත් ආදරයක් හොයනවා - දිනිති අරෝෂ්කා

ධනංජිට ලැබෙන ප්‍රතිචාර මොන වගේද?


ධනංජිට දැන් හැමෝම හොඳටම බණිනව, කේළාම් කියනව සහ අහනව කියල. ඒ අතර හොඳ කියන අයත් ඉන්නව.


‘මායාවී’ නයෝමි ගැන මොන වගේ කතාවක්ද තියෙන්නෙ?


මායාවී නාට්‍යයේ මගේ කොටස පටන්ගත්තෙ ළඟකදි ඉඳයි. දැනට නම් හොඳ ප්‍රතිචාර ලැබෙනව. ඒ වගේම මට හිතෙනව පාට කුරුල්ලෝ නිර්මාණයේ ධනංජිට වඩා දෙයක් ‘මායාවී’ හි නයෝමිට කරන්න පුළුවන් කියල.


දිනිති කොහොමද රඟපෑමට යොමු වෙන්නෙ?


මම උසස් පෙළ කරන කාලෙ තමයි චාමර අයිය මට කතා කළේ. ඒ කාලෙ මම හිටියෙ බණ්ඩාරවෙල නිසා එන්න පුළුවන්කමක් තිබුණෙ නැහැ. රැකියාවක් වෙනුවෙන් කොළඹ ආවට පස්සෙ දිව්‍යාදරී ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න කියල ආරාධනා කළා.


මේ ඔබේ සිහිනයක් සැබෑවීමක්?


ඔව්, පොඩිකාලෙ ඉඳන් මම රඟපාන්න ආසාවෙන් හිටියෙ. නමුත් මට ඒ දේ කරගන්න පුළුවන් වෙයි කියල හිතුවෙ නැහැ. රැකියාවට කොළඹ ආපු ගමනත් එක්ක ඒ හීනයත් සැබෑ වුණා.


හැදෑරීමක් නැතිව ක්‍ෂේත්‍රයට එන්න බයක් හිතුනෙ නැද්ද?


ඔව්, ඇත්තටම මුලදි මම බයෙන් හිටියෙ. කොහොමද, මොකක්ද කරන්න ඕන කියල මම කිසිම දෙයක් දැනගෙන හිටියෙ නැහැ. රඟපෑම කියන්නෙ ගොඩක් දේවල් ඉගෙනගන්න ඕන විෂයයක්. අද වන විට ඉගෙනගනිමින් රඟපානවා.


මේ වැඩකටයුතුවලට ගෙදරින් ලැබෙන සහාය?


මුලින්ම ගෙදර අය දැනගෙන හිටියෙ නැහැ මම රඟපානව කියල. පළමුවැනි එපිසෝඩ් එක විකාශය වෙන දවසෙ මම ගෙදර හිටියෙ. ඒ වෙලාවෙ නම් ගෙදරින් බැණුම් අහන්න වුණා. දැන් හැමෝම මාර සතුටින් උදව් කරනව.


බණ්ඩාරවෙල ඉඳන් කොළඹ ආපු ගමනේ අත්දැකීම ගැන කතා කළොත්?


මම බණ්ඩාරවෙල ඉන්න කාලෙ හැදුන පරිසරය සහ කොළඹ පරිසරය අතර මාර වෙනසක් තියෙනව. එහෙදි මම හිටියෙ ගෙදරටම වෙලා. කොහේ ගියත් යන්නෙ අම්මයි තාත්තයි එක්ක. කොළඹ ආවට පස්සෙ ඒ හැමදේම තනියම කරගන්න පුරුදු වුණා.


ඔබ රංගන ක්‍ෂේත්‍රය දකින්නෙ කොහොමද?


මම මේ ක්‍ෂේත්‍රයට ආවෙ රැකියාවක් කරනගමන්. ඒ ක්‍ෂේත්‍ර දෙක අතර ලොකු වෙනසක් තියෙනව. රංගන ක්‍ෂේත්‍රයේ අපි හැමෝම එකමුතුව බොහොම විනෝදයෙන් ඒ කටයුතු කරනව. ඒ වගේම යමක් වැරදුනත් ප්‍රවීණයන් පවා ඒක හදාගන්න කියල දෙනව.


පාට කුරුල්ලෝ අධ්‍යක්‍ෂ සිවගුරුනාදන් මොනවද දිනිති ගැන කිව්වෙ?


පාට කුරුල්ලෝ කියන්නෙ මම සිවා සර් එක්ක කරන පළවෙනි නිර්මාණය. මුලදි නම් ටිකක් බයත් හිතුණා. අපිට දෙබස් වැරදුනත් බොහොම කරුණාවෙන් මෙහෙම කරන්න පුතා කියල කියල දෙනව. මාරම හොඳ ඩිරෙක්ටර් කෙනෙක් තමයි සිවා සර් කියන්නෙ.


පාට කුරුල්ලෝ ජනප්‍රියම ටෙලි නාට්‍ය ලෙස සම්මාන ලබනව?


ඔව්, ඒ ගැන හරිම සතුටුයි. මේ සම්මාන ලැබෙන කාලයේ මම රංගනයෙන් දායක වුණ මුල්ම ටෙලි නාට්‍යයත් විකාශය වෙමින් තිබුණෙ. මෙවැනි නිර්මාණයකට සම්බන්ධ වෙන්න ලැබීම මගේ වාසනාව වෙන්න ඇති.


කැපිලි කෙටිලි තිබුණද?


එකවරම චරිතය ලැබිල ක්‍ෂේත්‍රයට ආපු නිසා වෙන්න ඇති තවම නම් ඒ වගේ අත්දැකීම්වලට මුහුණ දෙන්න සිදු වුණේ නැහැ. මේ නිර්මාණ තුනේදිම මං එක්ක වැඩකළ අය ඉතාමත් සහයෝගයෙන් කටයුතු කළා.


මේ වන විට අධ්‍යාපන කටයුතු අවසන් වෙලාද?


ඔව්, මම උසස් පෙළින් පස්සෙ රැකියාවට යොමු වෙනව. ඉන් පස්සෙ වැඩිදුර අධ්‍යාපනයකට යොමු වුණේ නැහැ. පොඩි බිස්නස් එකක් කරන්න අදහසකින් තමයි ඉන්නෙ.


සිනමාවටත් සම්බන්ධ වෙන්න ලැබුණා?


ඔව්, සිනමා නිර්මාණයක පොඩි චරිතයකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒ අධ්‍යක්‍ෂවරයාගේම අලුත් නිර්මාණයකටත් මේ වන විට ආරාධනා ලැබිල තියෙනව. වැඩි විස්තර ඉදිරියේදී කියන්නම්.


කටකතා ගැන හිතනවද?


කටකතා නම් ඕනෑම ක්‍ෂේත්‍රයක තියෙනවනෙ. නමුත් කලා ක්‍ෂේත්‍රයේ ඒවා ඉක්මනින් ප්‍රසිද්ධ වෙනවා. ඒ දේවල් ඔළුවට ගන්නෙ නැතිව තමන්ගෙ වැඩ කරගෙන ඉන්න එක තමයි හොඳම දේ.


ඔබේ අදහස වෘත්තීයමය රංගන ශිල්පිනියක් වෙන්නද?


ඔව්, මම මාර කැමතියි මේ ක්‍ෂේත්‍රයට. මොකද අපිට ගොඩක් දේවල් ලැබෙනව. ඉගෙනගන්න ගමන් මම කැමතියි ඉදිරියට යන්න.


දිනිති අරෝෂ්කා කියන්නෙ මොන වගේ චරිතයක්ද?


ඕනෑවට වඩා හිත හොඳ වැඩි කෙනෙක් වගේම මිනිස්සුන්ව මාර විදිහට විශ්වාස කරනව. මං මට ම ගොඩක් ආදරෙයි.


දිනිති ආදරය දකින්නෙ කොහොමද?


හොඳ ආදරයක් ලැබෙනව නම් හැමෝටම සතුටින් ඉන්න පුළුවන්. මමත් තවම ආදරයක් හොයනගමන් ඉන්නෙ.


ක්‍ෂේත්‍රයේම කෙනකුගෙන් යෝජනාවක් ආවොත්?


ක්‍ෂේත්‍රයේද ඉන් පිටතද කියල නැහැ. හොඳයි නම් ආශ්‍රය කරල බලල තීරණයක් ගන්නව.


මහේෂ් එදිරිසිංහ

gossiplanka image 1
Previous Post Next Post