දැන් කවුරුවත් මාව කොන් කරන්නේ නෑ හැමෝම මට ආදරෙයි -මනෝජ් සංජය

gossiplanka image 2
ප්‍රසංග වේදිකාවත් පමණක් නොව පදික වේදිකාවත් හරි අපූරුවට තමන්ගෙ කරගෙන අපූරු ගමනක් යන ගායකයෙක් සමඟයි අද අපේ කතා බහ. ඒ රූපෙන් කූඩා, ඒ වුණත් ලස්සන හිනාවක් තිබෙන කවුරුත් ආදරේ කරන ගායන ශිල්පී මනෝජ් සංජය.


“මගේ පවුලේ අම්මයි තාත්තයි සහෝදර සහෝදරියෝ 8 දෙනෙක් ඉන්නවා. මම වේයන්ගොඩ මැදවත්ත ගමේ ඉන්නෙ. මම ඉගෙන ගත්තෙ පහ වසරට පමණයි. ඊට පස්සෙ පාසල් යන එක නතර කරන්න වුණා ළමයි උසිළු විසුළු කරන නිසා. ඉස්සර සමාජය ගොඩක් වෙනස්. ඊට පස්සෙ මම ජිම්නාස්ටික් සර්කස්වලට ගියා. එතැනත් අවුරුදු පහක් හිටියා. එතැනින් පස්සේ Little People Association එක හරහා තමයි කලාවට එකතු වෙන්නෙ.”


රසික රසිකාවියන්ගේ ආදරය නොමදව ලබන මනෝජ්ගේ කලා ජීවිතයේ ආරම්භය ඔහු සිහිපත් කළේ මේ විදිහට.


“දැනට අවුරුදු පහ හයකට කලින් තමයි කලා කටයුතු පටන් ගත්තේ. මුලින්ම මතක් කරන්න ඕනෙ Little People Association එකේ සභාපති දර්ශනී නානායක්කාර. ඒක මං වගේ උසින් අඩු අය එකතු වෙලා ඉන්න සංගමයක්. එම සංගමයේ උත්සවයකදී මම ගීතයක් ගායනා කළා. එතැනදි එයාලා මගෙ දක්ෂතා දැකලා විශේෂ හැකියා තියෙන අයගේ තැන්වලට මාව යොමු කළා. ඊට පස්සෙ මම ඩිලාන් අමරවංශ ගුරුතුමා යටතේ සංගීතය ඉගෙන ගත්තා. සර්ගෙනුත් මට ලොකු සහයක් ලැබුණා. අපේ සංගමයේ ලේකම්තුමා ජනේෂ් චන්දිමාල්. එතුමා රංගන ද සිල්වා සමඟ කතා කරලා ‘හිත ඉල්ලන තරු‘ වැඩසටහනට සම්බන්ධ වෙන්න අපිට අවස්ථාව ලැබුණා. ඒ ආපු ගමනෙන් පස්සේ සිරස Voice වැඩසටහනට සහභාගි වුණා. එහි අවසන් 164 දෙනා අතරට මම තේරුණා”


හැමෝම වශී කරගන්න පුළුවන් කටහඬක් ඇති ඔහුට රියැලිටි වැඩසටහන හරහා රටක් ලෝකයක් හඳුනන අයෙක් බවට පත් වීමට හැකියාව ලැබිණ. සිරස Voice වේදිකාවේදී ඔහු ගායනා කළ ගීතය පැය 24ක් යාමටත් පෙර youtube trending 1 වීම ඔහුගේ ජීවිතයේ විශේෂ සිදුවීමක්. 1 Milion views වලටත් එහා ගිය නැරඹුම් වාර ප්‍රමාණයක් ඒ සඳහා ලැබීණ.


කඩවසම්, ලස්සන හිනාවකට උරුමකම් කියන මනෝජ්ගේ විවාහය කාගේත් අවධානයට ලක් විය. ඔවුන්ගේ හමුවීම අහම්බයකින් සිදු වී අද වන විට ලස්සන පවුල් ජීවිතයක් ගත කරන ඔවුන්ගේ ආදර කතාවයි මේ.


“රංගන අයියගෙ වැඩසටහනට සහභාගී වුණාට පස්සෙ ඇයත් ඒ වැඩසටහන බලලා තිබුණා. ඊට පස්සෙ එයා මගේ නම්බර් එක හොයාගෙන මට කතා කළා. ඒ විදිහට කතා කරද්දි තමයි අපේ ආදර සම්බන්ධය ඇති වුණේ. මේ වෙද්දි බිරිඳගෙන් මගේ වැඩවලට උපරිම සහයෝගයක් ලැබෙනවා. මගේ හැමදේම උනන්දුවෙන් හොයලා බලලා කරලා දෙනවා. එයා මගෙ හැම වැඩකදීම මාත් එක්කම ඉන්නවා”


නොයෙක් බාධක කම්කටොලු මැද ගෙවාගෙන ආ ජීවිතයේ ඔහුගේ අනාගත බලාපොරොත්තු කීපයක් ඇත.


“මම දැනට ජීවත් වෙන්නෙ පුංචි කුලී නිවසක. ලොකුම බලාපොරොත්තුව තමයි අපිටම කියලා නිවසක් හදාගන්න එක.


පිටරට ප්‍රසංග වේදිකාවට සහභාගි වෙන්නත් ලොකුම ආසාවක් තියෙනවා. ඒ වැඩකටයුතු කරන පිටරට මහත්ම මහත්මීන්ගෙන් ඉදිරියේදී ඒ සඳහා අවස්ථාවක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා.”


අතීතයේ සමාජයේ කොන්වීම්වලට උසුළු විසුළුවලට ලක් වූ ඔහු අද වන විට ඔහුට ලැබෙන අති ආදරය මනාව අත්විඳිමින් සිටියි.


“මට පිටරටවලින් කට්ටිය කතා කරලා පුළුවන් විදිහට උදවු කරනවා. ඒ වගේම ලංකාවේ ගොඩක් රසික රසිකාවියෝ මට හදවතින්ම ආදරේ කරනවා. මමත් ඒ හැමෝටම ගොඩක් ආදරෙයි. දැන් මට සමාජයේ ලොකු තැනක් හැදිලා තියෙනවා. මම යන යන තැන හැමෝම මාත් එක්ක කතා කරනවා. දැන් කවුරුවත් මාව කොන් කරන්නේ නෑ.


අපේ රටේ රසික රසිකාවියන් හරිම හොඳයි. අපේ හැමෝටමත් දැන් ඉන්න අය හැමතැනකදීම හොඳින් සලකනවා”


පදික වේදිකාව ඔහුගේ ජීවිතයේ සුවිශේෂී තැනක්. පිටකොටුව, පුංචි බොරැල්ල, ගම්පහ, කිරිඳිවල, කෑගල්ල යනාදී ප්‍රදේශ මනෝජ්ට ඉතා හුරුපුරුදු තැන්ය.


“පදික වේදිකාවෙ සිංදු කියලා තමයි ත්‍රීවීල් එකක් ගත්තේ. ඒක හයර් කරන්නෙ මගෙ මස්සිනා. ඊට අමතරව මම ප්‍රසංග වේදිකාවේ, උපන්දින සාදවල සින්දු කියන්න යනවා. මේ මාසෙ වෙසක් බොදු බැති ගී ප්‍රසංගවලට සහභාගී වෙන්න ආරාධනා ලැබිලා තියෙනවා. ඒ හැමදේකටම සහභාගී වෙනවා.”


ලස්සන ආදර කතාවක් හිමි මනෝජ් ඔවුන් දෙපළගේ ජීවිතයේ තවත් බලාපොරොත්තුවක් හිත දරාගෙන සිටියි.


“ගෙයක් දොරක් හදාගත්තයින් පසුව දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නවා. දෙවියන්ගෙන් ඉල්ලා සිටිනවා නීරෝගිමත් දරුවෙක් ලබා දෙන්න කියලා. මොකද මම විඳපු අත්දැකීම් මගෙ දරුවට ලැබෙනවට කැමති නෑ”


“මගේ අම්මටයි තාත්තටයි පින් දෙනවා මං වගේ දරුවෙක් බිහිකරලා හදාවඩා ගත්තට. බිරිඳගෙ පවුලෙ අයගෙනුත් අපි දෙන්නට ලොකු ආශීර්වාදයක් ලැබෙනවා.


ඒ වගේම දර්ශනී නානායක්කාර මහත්මිය පටන් ගත්තු සංගමය නැත්නම් අද මං මෙතන නෑ. මට උදව් කරපු හැමෝටම ස්තුතිවන්ත වෙනවා.”


මනෝජ් එලෙස පවසන්නේ බොහෝ ආදරයෙනි.


ඉෂානි මාරසිංහ 

gossiplanka image 1
Previous Post Next Post