රජය කලාකරුවන් වෙනුවෙන් නොකරන දෙයක් තමයි මම කරන්නේ -සනෝජා බිබිලේ

gossiplanka image 1
රජය කලාකරුවන් වෙනුවෙන් නොකරන දෙයක් තමයි මම කරන්නේ... - Sanoja Bibile


සිනමා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ඇගයීමට ලක් කරන Silver Screen සම්මාන උළෙලේ සංවිධායිකාව ඇයයි. Silver Screen සම්මාන උළෙලේ ආරම්භක ප්‍රවීණ රංගන ශිල්පිනී සනෝජා බිබිලේ සමඟ සිදුකළ සුහද කතාබහයි මේ.


දවස් ගෙවී යන්නේ කොහොමද?


මේ දවස්වල මම කරන Silver Screen සම්මාන උළෙලේ සංවිධායක වැඩත් එක්ක ඉතාමත් කාර්යබහුල වෙලා ඉන්නවා.


Silver Screen සම්මාන උළෙල ගැන සඳහනක් කරමු?


මේ වසරේ Silver Screen සම්මාන උළෙල අපි පවත්වන්නේ හතරවැනි වතාවටයි. මැයි මාසයේ 30 වැනි සිකුරාදා සවස 6.00 ට BMICH පරිශ්‍රයේ ලෝටස් ශාලාවේදි පැවැත්වෙනවා. මෙහි තේමාව තමයි “කෘතගුණවේදීත්වය සහ මානුෂිකත්වය”. මේ සම්මාන උළෙල පවත්වන්නේ අපේ කලාවට සේවය කරපු ජ්‍යෙෂ්ඨ කලාකරුවන් අගය කිරීමට සහ ඔවුන්ට උපහාර දැක්වීමට. ඇත්තටම මේක ඉතාම අමාරු කාර්යයක්. මේ දවස්වල ආර්ථික ගැටලු‍‍ වගේම සිනමාවේ පැන නැගිලා තියෙන සුළු සුළු ප්‍රශ්න වගේ දේවල් හමුවේ තමයි මෙය පවත්වන්නෙ. සෑහෙන නළු නිළි පිරිසක් ඉන්නවා. ඒ අයට ආරාධනා කරන්න බැරි වුණාම එයාලා අමනාප වෙනවා. සමහර අවස්ථාවලදී ආරාධනා කරපු අය එන්නේ නැහැ. මේ වගේ දේවල් කළමනාකරණය කර ගනිමින් Silver Screen සම්මාන උළෙල පවත්වාගෙන යනවා.


Silver Screen සම්මාන උළෙලේ ආරම්භය සිදු වුණේ කොහොමද?


චිත්‍රපට නළුවෙක් වුණු සුමිත් බිබිලේ, මගේ පියා තමයි මුලින්ම මේ අදහස මගේ ඔළුවට දැම්මේ. ඇත්තටම ඔහුට ඕනෑ වුණා, සිනමාව පැත්තෙන් මම ඉදිරියට යනකොට ඒකෙන් මාව ඉවත් කර ගන්න. අපේ අම්මි අකමැති වුණා, අප්පච්චි චිත්‍රපටවල රඟපානවට. ඊට පස්සේ එයාව අයින් කර ගත්තා. මමත් රජයේ උසස් රැකියාවක් කරපු කෙනෙක්. මව්පියන්ට ඕනෑ වුණා, මාව රැකියාවකට යොමු කරන්න සහ වැඩිදුර අධ්‍යාපනයට යොමු කිරීම වෙනුවෙන් මාව සිනමාවෙන් ඉවත් කර ගන්න. නමුත් මම ඉවත් වුණේ නැහැ, දිගටම රංගන කටයුතු කරගෙන ගියා. ඒ අතරතුර මගේ පියා මට අදහසක් දුන්නා, ඔයා සිනමාවේ රඟපානවා වගේම සිනමාවට සේවයක් කරන්න ඕනෑ කියලා. තමන් හිටපු තැනට සේවයක් කරලා අයින් වෙන්න ඕනෑ කියලා මගේ ඔළුවට දැම්මා. ඉතින් ඒ අතරතුරේදී හැමදාම මම එක එක උත්තර දෙමින් හිටියා. එහෙම ඉඳලා 2021 දී තමයි සම්මාන උළෙල පටන් ගත්තෙ. ඒ කාලෙදි මාව දිරිමත් කළේ නිශාන්ත ජයකොඩි මහත්මයා. එදා ඉඳන් අද වෙනකම් බොහොම අසීරුතා මැද මේ සම්මාන උළෙල කරගෙන එනවා.


Silver Screen සම්මාන උළෙලේ අරමුණු ගැන කතා කළොත්?


මේ ඉතිහාසයේ කවුරුවත් නොකරපු විදිහේ වැඩක්. මේ දේ ඒ ඒ රජයන් විසින් කළ යුතු දෙයක්. Silver Screen සම්මාන උළෙලේදී 70/75 දක්වා සිංහල සිනමාවට සේවය කරපු කලාකරුවන්ට සම්මාන ලබාදීම සහ ඇගයීමට ලක් කිරීම සිදු කරනවා. අපේ විනිශ්චය මණ්ඩලයේ ප්‍රධාන තුන්දෙනෙක් ඉන්නවා. මම ඒ තුන්දෙනාගේ නම් කියන්නේ නෑ. ඒ තුන්දෙනා තමයි නිර්ණායක අටක් යටතේ සම්මාන ලැබිය යුතු කලාකරුවන්ව තෝරලා දෙන්නෙ. මෙවර විශේෂිත වූ සම්මානයක් ලබා දෙනවා. ඒ සම්මානය ප්‍රදානය කරන්නේ රඟපෑමට පමණක් නෙවෙයි, කලාව වෙනුවෙන් සේවයක් කරපු අපේ ප්‍රවීණ කලාකරුවකුට සම්මානයක් පිරිනමනවා. ඒ වගේම රන් සම්මානයක් දෙනවා. අපේ සංවිධායක මණ්ඩලයවත් දන්නේ නැහැ එයට තේරීපත් වෙන්නේ කවුද කියලා. තේරීම් කටයුතු සඳහා වෙනම ජූරියක් ඉන්නවා. 30 වැනිදා තමයි අපිටත් ඒක දැනගන්න වෙන්නෙ.

 අපේ වයෝවෘද්ධ කලාකරුවන්ට අපිට දෙන්න පුළුවන් තරමින් අපි මුදල් ලබා දෙනවා. තෑගි ලබා දෙනවා. ඒ වගේම ඒගොල්ලන්ට කඩයකට ගිහිල්ලා ‘ඩිස්කවුන්ට්’ ලබාගෙන බඩු ගන්න පුළුවන් විදිහට කාඩ්පත් හදලා ලබා දෙනවා. විශේෂයෙන්ම අපි රෝහල් කාඩ් පතක් නිකුත් කරනවා ඩිස්කවුන්ට් සහිතව. ඔවුන් රෝහලක සැත්කමකට භාජනය වෙනවා නම්, අපි ලබාදෙන කාඩ්පත මාර්ගයෙන් යම්කිසි ‘ඩිස්කවුන්ට්’ එකක් ලබාගන්න පුළුවන්.

ඒ වගේම මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා අපේ රටේ ත්‍රිවිධ හමුදාවට. මොකද, ඔවුන් තමයි සංගීත සහ නර්තන අංග ඉදිරිපත් කරන්නෙ. තමන්ගේ ජීවිත කැප කරලා රට වෙනුවෙන් සටන් කරපු රණවිරුවන් සිහිපත් කරන්නත් අපි මේක අවස්ථාවක් කර ගන්නවා.


මෙවැනි දැවැන්ත සම්මාන උළෙලක් සංවිධානය කිරීම සහ සාර්ථකව පැවැත්වීම ඇත්තටම ලොකු අභියෝගයක්. මේ කාර්යයේදී ඔබ මුහුණ දුන් අභියෝග මොන වගේද?


ඇත්තටම මට මේ ගැන හැඟීමක් තියෙන, මෙයටම කැපවුණු පිරිසක් තවමත් හොයාගන්න ලැබුණේ නැහැ. හේතුව, මේ ස්වේච්ඡාවෙන් වැඩ කරන්න සිද්ධවෙන සම්මාන උළෙලක්. මුදල් ගැටලු‍‍ව ගොඩක් දුරට බලපානවා. අනාගතයේදී යම්කිසි මුදලක් දීලා මේ සඳහා පිරිසක් යොදාගන්න මම බලාපොරොත්තු වෙනවා. තවත් ප්‍රධාන ගැටලුවක් තමයි සම්මාන උළෙලේදී ආරාධනා කිරීම් සම්බන්ධයෙන් චෝදනාවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. හොඳ දෙයක් කරන්න ගිහිල්ලා අවසානයේදී මමමයි බැණුම් අහන්නෙ. මට දැන් ඒක ටිකක් හුරුයි. ඇත්තම කිව්වොත් මට වැඩක් හරියට කෙරුණේ නැත්නම් තරහ යනවා. ඊට පස්සේ මට ඒක අමතකයි. ඒ වගේම කකුලෙන් අදින ක්‍රියාවන්, මේ දේවල් කඩාකප්පල් කරන උත්සාහයන් ඕනෑ තරම් තියෙනවා. මේ හැමදේටම මුහුණ දෙමින් තමයි අපි ඉදිරියට යන්නෙ.


Silver Screen සම්මාන උළෙලට සහභාගි වූ වැඩිහිටි කලාකරුවන්ගෙන් ඇතැමෙක් මේ වන විට දැයෙන් වෙන්වෙලා ගිහින්. ඒ ගැන වගේම මෙයට ලැබෙන ප්‍රතිචාර ගැනත් කතා කරමු?


2021 වසරේ පළමුවරට අපි පැවැත්වූ සම්මාන උළෙලට සහභාගි වුණේ 1950 වසරේදී සිනමාවට දායක වුණු කලාකරුවන්. ඒ වෙනකොට ඔවුන් අතරින් ජීවත්වෙලා හිටියේ 24 ක් හෝ 23 දෙනෙක් වගේ කිහිප දෙනෙක්. නමුත් අද 2025 වන විට එදා සිටි අය අතරින් ජීවත්වෙලා ඉන්නේ දාහතර දෙනයි. ඒ දාහතර දෙනාම වයෝවෘද්ධ කලාකරුවන්. ඒ වගේම 60 දශකය සහ 70 දශකය ගත්තත් ඒ වැඩිහිටි කලාකරුවන්ව බලන්න කවුරුත් යන්නෙ නැහැ. ඔවුන්ට ඒ ආදරය ලබා දෙන පිරිස බොහොම අඩුයි. එක්තරා වයෝවෘද්ධ කැමරා අධ්‍යක්ෂවරයෙක් හිටියා. මම ඔහුගේ නම කියන්න කැමති නැහැ. ඔහු අවසාන කාලයේදී තමන්ගේ බිරිඳට කියල තිබුණා, මම මැරුණම Silver Screen සම්මානය මගේ අත් දෙක උඩ තියලා මාව වළලන්න කියලා. ඔහුගේ අවමංගල්‍ය උත්සවයට මම සහභාගි වුණා. මම යන විට ඔහු කියපු විදිහටම ඒ දෙය කරලා තිබුණා. ඉතින් ඇත්තටම ඒක මට දරාගන්න බැරි සංවේදී අවස්ථාවක් වුණා. සම්මාන උළෙල ගැන හැමෝම කතා කරන්නේ ඉතාම හොඳ මට්ටමේ තියෙනවා කියලා. ඒ වගේම අපේ වැඩිහිටි කලාකරුවන් මෙයට සහභාගිවෙලා ලොකු සතුටක් ලබනවා. ඇත්තටම මේ වගේ දේවල් ජාතික මට්ටමෙන් සංවිධානය විය යුතුයි කියලා මම හිතනවා.


කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් වශයෙන් වර්තමාන සිනමා ක්ෂේත්‍රය ගැන ඔබේ අදහස මොන වගේද?


වර්තමානයේ සිනමාව තියෙන තත්ත්වය ගැන නම් මට සෑහීමකට පත්වෙන්න බැහැ. හේතුව, අපේ පරණ අධ්‍යක්ෂකවරු දැන් ටිකෙන් ටික සිනමාවෙන් ඈත් වෙනවා. අලු‍‍ත් අධ්‍යක්ෂවරු, අලු‍‍ත් රංගන ශිල්පීන් යොදාගෙන සිනමා නිර්මාණ බිහි කරනවා. ඇත්තටම අලු‍‍ත් රංගන ශිල්පීන් ඉන්න ඕනෑ. මම කියන්නේ පරණ රංගන ශිල්පීන් සහ අලු‍‍ත් රංගන ශිල්පීන්ගේ එකතුවක් විදිහට සිනමා නිර්මාණ එළි දැක්වෙනවා නම් ඒක වඩාත් සාර්ථකයි. වර්තමානයේ ඉතාමත් අඩු මුදලකට නවක රංගන ශිල්පීන් යොදාගෙන චිත්‍රපට කරනකොට ඒවා ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙනවා. ඒ වගේම චිත්‍රපටවල ටිකට් පතට විශාල මුදලක් අය කිරීම නිසා පවුල් වශයෙන් ප්‍රේක්ෂකයන් චිත්‍රපට නැරඹීමට යාම අඩුවෙලා තියෙනවා. අනිත් කරුණාව තමයි 70 දශකයේ තිබුණු චිත්‍රපටිවල තේමාවේ පවා හරයක් තිබුණා. අද වෙනකොට හරසුන් චිත්‍රපටත් සිනමා ශාලාවලට ඇවිත් තියෙනවා. මම හිතන්නේ මේ තත්ත්වය අනිවාර්යෙන් වෙනස් විය යුතුයි.


• මංගලා පවිත්‍රානි

gossiplanka image 2
Previous Post Next Post