සුදර්ශියෙන් පටන්ගෙන රිදී තිරය දක්වා පැමිණි ශිරන්ත ප්‍රේමවර්ධන

gossiplanka image 2
අද වනවිට වසර ගණනාවක අත්දැකීම් බහුලව ඇති ඔහු, අපූරු රංගන ශිල්පියෙකි. වේදිකා නාට්‍යයේ, ටෙලි නාට්‍යයේ මෙන්ම සිනමාවේ ද එක සේ තම දක්ෂතා විදහා දැක්වූ ඔහු ආධුනික රංගන ශිල්පීන්ට, ශිල්පිනියන්ට මහඟු ආදර්ශ සපයන අත්දැකීම් බහුල කලාකරුවෙකි. ඕනෑම චරිතයක් ඉතා සූක්ෂ්ම අයුරින්, තමාටම ආවේණික වූ ශෛලියකින් රඟපෑමේ නිරත වන ඔහු නමින් ශිරන්ත ප්‍රේමවර්ධන.


ශිරන්ත ප්‍රේමවර්ධන කියන නළුවා නිර්මාණය වුණේ කොහොමද?


ෆීලික්ස් ප්‍රේමවර්ධන කියන්නේ මගේ ලොකු අප්පච්චි. මං පොඩි කාලේ ලොකු අප්පච්චි චිත්‍රපටවල, වේදිකා නාට්‍යවල රඟපානවා මම දැක්කා. ඔහු දක්ෂ ලෙස රඟපෑම කළ නිසා මටත් රඟපාන්න ආස හිතුණා. මම විශ්වාස කරනවා අද දවසේ මම ඉන්න තැනට එන්න ඔහුගේ ආභාසයත් හේතුවුණා කියලා.


ඔබ මුලින්ම ක්ෂේත්‍රයට පිවිසෙන්නේ කොහොමද?


1979 මම මුලින්ම ක්ෂේත්‍රයට එන්නේ වේදිකා නාට්‍ය හරහා. ඊට පස්සේ සුදර්ශී නාට්‍යවල රඟපාන්න අවස්ථාව හිමි වෙනවා. ඩේෂන් අමරසිංහ, සැම්සන් කුමාරගේ, නීල් ද මොරායස් යන අයගේ වේදිකා නාට්‍යවලත් මම රංගනයෙන් දායක වෙනවා. කොහොම වුණත් රංගනය පිළිබඳ මට හොඳ පරිචයක් ලැබුණේ


පරාක්‍රම නිරිඇල්ලගේ ‘‘ගැලීලියෝ” වේදිකා නාට්‍යයෙන්. එතැනදී බොහෝ ප්‍රවීණයන් සමඟ කටයුතු කරන්න අවස්ථාව හිමි වුණ නිසා මට අත්දැකීම් රැසක් ජීවිතයට එකතු කර ගන්න පුළුවන් වුණා.


ඔබ රංගනයෙන් දායක වන පළමු ටෙලිනාට්‍ය කුමක්ද?


මම මුලින්ම රඟපෑ ටෙලි නාට්‍ය තමයි පරාක්‍රම නිරිඇල්ලගෙ ‘ඉන්ද්‍රඛීලය‘ඉන් අනතුරුව සුදත් මහදිවුල්වැවගේ ‘ධවල රාත්‍රිය‘ ටෙලිනාට්‍යයේ පුවත්පත් කලාවේදියෙක් විදිහටත්, නාලන් මෙන්ඩිස්ගේ ‘දූ දරුවෝ‘ ටෙලි නාට්‍යයේ සම්පත්ගේ යහළුවා ලෙසත්, ‘අපේ ඇත්තෝ‘ ටෙලිනාට්‍යයේ මෙන්ම ‘සිටුවරයෝ‘, ‘වාසනා වේවා‘ ටෙලිනාට්‍යයවල ද මම රංගනයේ යෙදුණා. සුදත් රෝහණයන් විසින් අධ්‍යක්ෂණය කළ ‘කටු ඉඹුල, ගිරිකුල, උතුවන් කන්දේ සරදියල්, මාණික්කාවත, ස්වයංජාත හා කළුවර ගෙදර‘යන ටෙලිනාට්‍ය කිහිපයේම මම රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඊට අමතරව ප්‍රියන්ත ෆර්නෑන්ඩෝගේ ‘සකර්ම‘ හා ‘සංවරය‘ ටෙලිනාට්‍යයන් ද සමන් කුමාර ලියනගේ අධ්‍යක්ෂණය කළ


‘රන්තලිය වලව්ව‘ ද චරිත් අබේසිංහයන්ගේ ‘චණ්ඩි කුමාරිහාමි‘ ද සුදත් සේනාරත්නගේ ‘සක්විති යාගය‘ තුසිත ජයවර්ධනගේ ‘යශෝදරා නම් වූ ඇය‘ යන ටෙලි නාට්‍යවලද මගේ දායකත්වය ලබා දීලා තියනවා. තවද සරත් ධර්මසිරිගේ ටෙලිනාට්‍ය රැසකද, කැලුම් උඩුවාවලගේ ඒකාංගික ටෙලිනාට්‍ය ත්‍රිත්වයක ද, ක්‍රිස්ටි ‍ෙෂල්ටන් ප්‍රනාන්දුගේ ටෙලිනාට්‍ය දෙකකට ද, ආනන්ද අබේනායකගේ ටෙලිනාට්‍යයක ද ඇතුළුව ප්‍රසිද්ධ අධ්‍යක්ෂකවරුන් රැසකගේ නිර්මාණ 100කට අධික සංඛ්‍යාවක මම රංගනයෙන් දායක වෙලා තියනවා.


මේ දවස්වල ඔබව ප්‍රේක්ෂකයාට දැකගන්න ලැබෙන නිර්මාණයන් මොනවද?


සමන් කුමාර ලියනගේ විසින් අධ්‍යක්ෂණය කරන ‘වත්සුණු‘ ටෙලිනාට්‍යයේ තාත්තාගේ චරිතයත්, සම්පත් කුමාරතුංගගේ RAT ටෙලිනාට්‍යයේ මනෝ වෛද්‍යවරයක්ගේ චරිතයත්, ප්‍රියන්ත ෆර්නෑන්ඩෝගේ ‘සංවරය‘ ටෙලිනාට්‍යයේ අංශ භාග රෝගියෙකුගේ චරිතයත් මේ දවස්වල රඟපෑම් සිදු කරනවා.


ඔබ රංගනයෙන් දායක වූ සිනමා නිර්මාණ ගැන සිහිකළොත්?


මගේ පළමු සිනමා අත්දැකීම ඩී. බී. නිහාල් සිංහයන්ගේ ‘‘කෙළි මඩල”, ඊට පස්සේ සුදත් දේවප්‍රියගේ ‘‘එළිවෙන දවස”. ඒ සිනමාපටය තාම තිරගත වූයේ නෑ. පසුව උදයකාන්ත වර්ණසූරියගේ රිදී සීනු, ක්‍රිස් ඇන්ටනීගේ ‘‘අපේ ප්‍රින්සිපල්” යන සිනමා පටවල රංගනයෙන් දායක වෙලා තියෙනවා. නිහාල් බණ්ඩාරගේ “Elephant path” නම් ඉංග්‍රීසි සිනමාපටයටත් රංගනයෙන් දායක වුණා.


ඔබ වේදිකා නාට්‍ය, ටෙලිනාට්‍ය, සිනමා කෘති යන සියල්ලගේම රංගනය කරලා තියනවා. මේ අතරින් ඔබ වඩාත් කැමැති කුමන ක්ෂේත්‍රයට ද?


එහෙම විශේෂයක් නැහැ. ක්ෂේත්‍ර තුනටම කැමැතියි. මට කාලයක් මට වැඩ කරන්න ලැබුණේ නැහැ. අමාත්‍යාංශ කිහිපයක අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් ලෙස අවුරුදු 13කුත්, නැව් රැකියාවේ අවුරුදු 17ක් විධායක තනතුරකුත් දැරූ නිසා මට රංගනයෙන් ඈත් වෙන්න සිදුවුණා. ඒ අවස්ථාවල හැර මම අනෙකුත් සෑම අවස්ථාවකදීම රංගනය තෝරා ගත්තා.


ඔබට රඟපෑමේදී ලැබෙන චරිත පිළිබඳ කතා කළොත්?


ඇත්තෙන්ම මට සෑම චරිතයක්ම වගේ ලැබිලා තියෙනවා. සුදු ආණ්ඩුකාරවරයාගේ චරිතේ සිට ගැමි චරිත දක්වාම රඟපාලා තියෙනවා.


රඟපෑම සම්බන්ධයෙන් ඔබට සම්මාන එහෙම හිමිවෙලා තියෙනවාද


ඔව්. සුරේෂ් අබේසේකරගේ ‘කණ කොක් සුද‘ ටෙලිනාට්‍යය වෙනුවෙන් 2000 වර්ෂයේදී සුමති සම්මානයකුත්, බස්නාහිර පළාත් සංස්කෘතික අමාත්‍යාංශය විසින් පවත්වනු ලැබූ විශ්වාභිනන්දන 2024 සම්මානයන් මට හමුවෙනවා.


ඔබේ රංගන ජීවිතයට පවුලෙන් ලැබෙන සහයෝගය මොනවගේද?


මගේ බිරිද සහ දරුවන් මට මගේ රංගන ක්ෂේත්‍රයේ ඉදිරියටම යන්න ගොඩක් උදව් කරනවා. එදා මෙදාතුර මගේ රංගන ජීවිතයට උදව් කළ හැමටම ස්තුති කරන්න මම මෙය අවස්ථාවක් කර ගන්නවා.

gossiplanka image 1
Previous Post Next Post