ෆොටෝ ෂූට් එකක් කරපු පලියට නිරූපිකාවක් වෙන්න බැහැ-යුධීෂා චතුෂ්කි

gossiplanka image 1
පසුගියදා තුර්කියේදී නිමාව දුටු "Future Fashion Faces World - 2025" තරගය සඳහා සහභාගි වී සුවිශේෂී ජයග්‍රහණ කිහිපයකට හිමිකම් කියන්නට ලාංකික තරුණියක් වන නිරූපණ ශිල්පිනී යුධීෂා චතුෂ්කි සමත් වුණා. ඒ තරගයේදි ඇය ජයග්‍රහණ 04 කට හිමිකම් කී අතර, ඒ ආසියාවේ හොඳම නිරූපණ ශිල්පිනිය (Best Model Asia), හොඳම කැට්වෝක් (Best Catwalk), හොඳම ජාතික ඇඳුම (Best National Costume) සහ පරිපූර්ණත්වය (Best Perfection) යන අංශවල ජයග්‍රහණයි. ජයග්‍රහණයෙන් පසු ඒ ගැන අහන්න අපි යුධීෂා චතුෂ්කිට කතා කළා.




පසුගියදා යුධීෂා ලබාගත් ජයග්‍රහණයෙන් අපි කතාබහ පටන්ගනිමු නේද?




ජාත්‍යන්තර මට්ටමේ ඉතාමත් ජනප්‍රිය නිරූපණ තරගයක් තමයි "Future Fashion Faces World" නිරූපණ තරගය. මේ වසරේ ඒක පැවැත්වුණේ තුර්කියේ. එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සුවිශේෂී ජයග්‍රහණ හතරකට හිමිකම් කියන්න මට පුළුවන් වුණා.




ඔබ ලබාගත් ඒ ජයග්‍රහණ ගැන කෙටියෙන් පැහැදිලි කළොත්?




මට ආසියාවේ හොඳම නිරූපණ ශිල්පිනිය (Best Model Asia), හොඳම කැට්වෝක් (Best Catwalk), හොඳම ජාතික ඇඳුම (Best National Costume) වගේම පරිපූර්ණත්වය (Best Perfection) කියන අංශ හතර ජයග්‍රහණය කරන්න ලැබුණා. මාර්තු මාසේ අවසානේ තමයි තරගය තිබුණේ. රටවල් 20 - 30 ක තරගකාරියන් ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙලා හිටියා.




ඒ ජයග්‍රහණය අතරින් "ආසියාවේ හොඳම නිරූපණ ශිල්පිනිය" කියන ජයග්‍රහණය විශේෂ එකක් නේද?




ඇත්තටම ඔව්. මොකද තරගයට ඉදිරිපත්වෙලා හිටපු රටවල්වලින් වැඩිම ප්‍රමාණයක් තිබුණේ ආසියානු රටවල්. ඒ නිසාම ඒ අංශය වෙනුවෙන් ලොකු තරගයක් තිබුණා. අන්තිමේ ජයග්‍රහණය මට ලැබුණා.




ඔබ "හොඳම ජාතික ඇඳුම" (Best National Costume) වෙනුවෙන් ඉදිරිපත් කළේ මොකක්ද?




අපට එතැනදි තිබුණේ තමන් නියෝජනය කරන රටේ අනන්‍යතාවට ගැළපෙන, රටට ආවේණික ඇඳුමක් ඉදිරිපත් කරන්න. ඒ අනුව මං නාරිලතා කියන සංකල්පය ඉදිරිපත් කළා. ඒකට ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබුණා.




මේ ඔබේ පළමු විදෙස් තරග ජයග්‍රහණය බවයි දැනගන්න ලැබුණේ. ඒක ඇත්තද?




මං කලින් ලංකාවේ තරගවලට සහභාගිවෙලා තිබුණට මේ තමයි විදෙස් රටකට ගිහින් රටවල් ගණනාවක තරගකාරියන් එක්ක ජාත්‍යන්තර මට්ටමේ තරගයක් නියෝජනය කරපු පළමුවෙනි අවස්ථාව. ඉතින් පළමු අවස්ථාවෙම ජයග්‍රහණ කීපයක් ලබාගන්න පුළුවන් වුණු එකට ගොඩාක් සතුටුයි.




යුධීෂාට තරගයේදී තිබුණු අභියෝග එහෙම මොනවද?




ලොකුම අභියෝගය වුණේ එහෙම තරගවලට ගිහින් නොතිබුණු නිසා අත්දැකීම් මදිකම. මට තරග කරන්න සිද්ධ වුණේ නිරූපණ ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල අය එක්ක. උදාහරණක් විදිහට මෙදා පාර "Future Fashion Faces World" තරගය ජයග්‍රහණය කරපු තරගකාරිය අවුරුදු 06 ඉඳන් මොඩ්ලින් කරපු කෙනෙක්. ඒ වගේම කවදාවත් නොගිය රටක, නොදන්න මිනිස්සු එක්ක තරග කරපු එකත් සෑහෙන ලොකු අභියෝගයක් වුණා.




ඔබේ ජයග්‍රහණය පිටුපස ලොකු පිරිසක් ඉන්න ඇති?




මං මොඩ්ල් කෙනෙක් විදිහට වැඩ කරන තැන බ්‍රයන්ව මතක් කරන්න ඕන. ඔහු මට තරගය පුරාවට ලොකු සහයෝගයක් දුන්නා.  




යුධීෂා ඔබට දැන් වයස කීයක් වෙනවද?




අනේ තවම වයස අවුරුදු 24 යි.




එතකොට මීට කලින් නිරූපණ තරගවලින් ජයග්‍රහණ ලබාගෙන තියෙනවද?




"Face of Asia" යටතේ "Face of Sri Lanka" කියන නිරූපණ තරගය නියෝජනය කළා.එහි Top 10 අතරට තේරුණා. ඒ වගේම ගිය අවුරුද්දේ "Miss Universe" රූ රැජින තරගයෙන් Top 08 වෙනකල් ආවා.




 නිරූපණ ශිල්පිනියක් කියන්නේ කැපකිරීම් බොහෝමයක් කරන කෙනෙක්?




ඔව් ඒක ඇත්ත. ඒත් සමහරු හිතනවා ෆොටෝ ෂූට් එකක් දෙකක් කරපු පලියට ඒ අය නිරූපණ ශිල්පිනියෝ වෙනවා කියලා. කවදාවත් එහෙම වෙන්නේ නෑ. මේක හැදෑරීමක්, අධ්‍යයනයක් සහ අත්දැකීම් එක්ක යන්න ඕන ගමනක්. කැපකිරීම් බොහෝමයක් කරන්නත් ඕනේ. එහෙම බැලුවම නිරූපණය කියන්නේ ලේසි වෘත්තියක් නෙවෙයි.




පුංචි කාලේ ඉඳන්ම හීන දැක්කේ නිරූපණ ශිල්පිනියක් වෙන්නද?




මුලින් ක්‍රීඩිකාවක් වෙන්න හීන දැක්කේ. පස්සේ තමයි නිරූපණ ශිල්පිනියක් වෙන්න හිතුවේ. ඒ හිතලා නිරූපණය ගැන ඉගෙන ගත්තා. කාලයක් යද්දි මට ෆොටෝ ෂූට්ස්වලට ආරාධනා ආවා.  




අනාගත බලාපොරොත්තු ගැන කිව්වොත්?




එකම බලාපොරොත්තුව ජාත්‍යන්තර මට්ටමේ ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් වෙන එක තමයි. 

gossiplanka image 2
Previous Post Next Post