
විහාරා ටීචර් හදිසියේම විදෙස්ගත වුණා වගේම දමිත්‍රිත් ඉන්දියාවට ගියා කියලා ආරංචි වුණා. ඇයි හදිසියේම ඔබත් විදෙස්ගත වුණේ?
රංගනය සහ නර්තනය පිළිබඳ වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා තමයි මං ඉන්දියාවට ආවේ. මට රටින් එන්න එකම හේතුව වුණේ ඒක. මට හොඳ අවස්ථාවක් ලැබුණා ඉන්දියාවේ ඉගෙන ගන්න. ඒ වටිනා අවස්ථාව මඟහැරගන්න බැරි නිසා මං ආවා.
එතකොට ඔබ ඉස්කෝලේ ටෙලි නිර්මාණයෙන් අයින් වුණා කියන කතාව ඇත්තද?
ඔව්. ඒ කතාව ඇත්ත. අවුරුදු 4ක් පුරාවට මං විහාරාට පණ පෙව්වා. ඒත් දැන් මං ලංකාවෙන් පිට ඉන්න නිසා තවදුරටත් මං විහාරාගේ චරිතයට දායකවෙන්න ගියොත් ෂූටින්වලදී ප්‍රායෝගික ගැටලුවලට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසයි මං අයින් වෙන්න තීරණය කළේ. මං ආදරේ කළ චරිතවලින් වැඩිපුරම ආදරේ කරන චරිතය තමයි විහාරා. ඒ නිසා මටත් ගොඩක් දුකයි.
විහාරා කියන්නේ ඔබ ප්‍රේක්ෂකයින් අතරට ගිය චරිතය කිව්වත් හරි නේද?
හරියටම හරි. මං විශ්වාස කරන විදිහට දමිත්‍රී ඇතුළේ විහාරා ඉන්නවා. ඒ නිසා මට ඒ කැරැක්ටර් එක කරන්න ගොඩක් පහසු වුණා. මං මෙතෙක් කළ චරිතවලින් ආදරේම කරන චරිතයක් වගේම මගේ රංගන ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යයත් විහාරා කිව්වොත් හරි.
විහාරාගේ අයින් වීමත් එක්ක ලැබෙන ප්‍රතිචාර කොහොමද?
මේ ළඟදි තමයි ප්‍රේක්ෂකයින් මේක දැනගත්තේ. ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා. විහාරා ශිෂ්‍යත්වයකට ඉන්දියාවේ යන විදිහට තමයි තිරපිටපතේ තියෙන්නෙත්. ඒ නිසා විහාරා ආයෙ ඒවි කියන බලාපොරොත්තුව ප්‍රේක්ෂකයින්ගේ හිතේ තිබුණා. මමත් අයින් වෙන්න හිතුවේ නැහැ. නමුත් ෂූටින්වලට සම්බන්ධ වීමේ ප්‍රායෝගික ගැටලුත් එක්ක තමයි මං මේ තීරණය ගත්තේ. විහාරා ආයේ එන්නෙ නෑ කියලා පහුගිය දවස්වල ප්‍රේක්ෂකයින් දැනගත්තට පස්සේ ගොඩක් ප්‍රතිචාර ලැබෙන්න ගත්තා. එයාලා කියන දේවල් තදින්ම හදවතට දැනිලා මාත් ගොඩක්ම හැඟුම්බර වුණා.
දිමිත්‍රි ඉන්දියාවේ ගෙවෙන ජීවිතේ ගැන කතා කළොත්?
මට මෙහේ ගොඩක් හුරුබවක් දැනෙනවා. පවුලේ අය ළඟ නැති එක විතරයි අඩුවකට තියෙන්නේ. මට දැන් මෙහේ ගොඩක් යාළුවො ඉන්නවා. ක්ලාස් යනවා. ඩාන්සින්වලට යනවා. ඒ නිසා ලොකුවට පාළුවක් දැනෙන්න කාලයකුත් නැහැ.
දමිත්‍රිගේ විදෙස්ගත වීම ගැන කේසර මොකද කියන්නේ?
කේසරගෙන් විතරක් නෙවෙයි පවුලේ හැමෝගෙන්ම වගේම මගේ වටේ ඉන්න අයගෙනුත් මට ලොකු සහායක් ලැබෙනවා. මං මෙහේ අධ්‍යාපන කටයුතු කරනවා. කේසර එහේ වැඩ ටික බලාගන්නවා. අපි ඒක තේරුම් ගැනීම තමයි ගැටලුවක් ඇති නොවෙන්න එකම හේතුව.
පහුගිය ටිකේ ඔබ කිහිපවතාවක්ම ලංකාවට ඇවිත් ගියා නේද?
ඇත්තටම මං නිතරම ලංකාවට එනවා. වෙළෙඳ දැන්වීම් කිහිපයකට සහ නාට්‍යයේ වැඩකටයුතු වගයකට පහුගිය ටිකෙත් සති දෙකකට ඇවිත් ගියා. ලංකාවේ මොනවහරි වැඩක් යෙදුණොත් අනිවාර්යයෙන්ම මං ඇවිත් සම්බන්ධ වෙලා යනවා. මගේ ක්ලාස්වල වැඩවලටත් එනවා. පහුගිය දවස්වල මගේ ෂූට් වගයකුත් තිබුණා.
දමිත්‍රි දැන් දැන් සිනමාවේත් දකින්න ලැබෙනවා නේද?
මං රංගනයෙන් දායක වුණු ‘පශ්චිම යාමය‘ සහ ‘සාධී‘ සිනමාපට දෙක ඉදිරියේදී තිරගත වීමට නියමිතයි. ඊට අමතරව ලංකාවේ තවත් සිනමාපට දෙකකට ආරාධනා ලැබුණා. ඇත්තම කතාව කිව්වොත් සිනමාව තමයි මගේ සිහිනය. පුංචි තිරයටත් ආදරෙයි. සිනමාවට ඊටත් වඩා ආදරෙයි.
ඔබේ නර්තන කටයුතුවලට දැන් මොකද වෙන්නේ?
නර්තනය කියන්නේ මගේ ඇඟේ කෑල්ලක්නේ. ඒක කවදාවත් නවත්තන්නේ නෑ. ඉන්දියාවට ඇවිල්ලත් මං කථක් නර්තනය පිළිබඳව වැඩිදුර හදාරනවා. ඊට අමතරව ලංකාවේ මගේ නැටුම් පන්තිවල වැඩකටයුතුත් කරගෙන යනවා.
විහාරාගේ ඉවත්වීමත් එක්ක දමිත්‍රිට ලැබෙන ප්‍රේක්ෂක ආදරේ අඩුවක් දැනෙනවද?
නෑ නෑ. මං දන්නවා ප්‍රේක්ෂකයින් ආදරේ කරන්නේ දමිත්‍රිට. මාත් විහාරාගේ කැරැක්ටර් එකට පුදුම විදිහට ආදරේ කළා. හැමවෙලේම මං විහාරාව මේන්ටේන් කළා. ඇත්තම කිව්වොත් විහාරා දමිත්‍රිට ගොඩක් දුරට සමාන නිසා මට ඒක බලෙන් මේන්ටේන් කරන්න අවශ්‍ය වුණෙත් නැහැ. මෙච්චර කල් විහාරා ටීචර් හරහා දමිත්‍රිට දුන්න ආදරේ ඉදිරියටත් ලැබේවි කියලා බලාපොරොත්තු වෙනවා. ඉස්සරහට අලුත් නිර්මාණවලින් ඔයාල අතරට එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මට දුන්න ආදරේට මාත් ඔයාලට ගොඩක් ආදරෙයි.
