
ටාෂියා මල්ලව බොහෝදෙනෙක් හඳුනන්නේ නිරූපණ ක්ෂේත්‍රය හරහා කිව්වත් හරි. රංගනය පැත්තෙන් මේ දිනවල මොකද වෙන්නේ?
මේ දවස්වල මං සම්බන්ධ වෙලා ඉන්නෙ සෝනු මන්දාරා ටෙලි නිර්මාණයට. පළමු ෂෙඩියුල් එක මේ වෙද්දි ඉවරයි. එහි ශානුකී කියන්නේ ධනවත් ව්‍යාපාරික කාන්තාවක්. ඊට අමතරව කලින් කරපු චිත්‍රපටයක් තිරගත වෙන්න තියෙනවා. තව චිත්‍රපටයකට ආරාධනා ලැබිලත් තියෙනවා. ඒත් එක්කම මියුසික් වීඩියෝ එකකටත් ආරාධනා ලැබිල තියෙනවා.
දිගු කාලයක් ක්ෂේත්‍රයේ නිරත වුණාට ඔබ දායක වෙලා තියෙන ටෙලි නිර්මාණ ගණන සීමිතයි නේද?
ඔව්. ගොඩක් දෙනෙක් මගෙන් අහන ප්‍රශ්නයක් ඕක. මං නිරූපණයට සම්බන්ධ වෙන්නෙම හැදෑරීමත් එක්කමයි. දැනට අවුරුදු 11ක් විතර වෙනවා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා. නිරූපණය කියන්නෙ මගේ ප්‍රධාන විෂය. සැලෝන් ෂූට්, බ්‍රයිඩ්ල් ෂූට්, පැෂන් ෂූට් වගේ හැම එකකටම සම්බන්ධ වෙනවා. ටෙලි නිර්මාණ රැසකට ආරාධනා ලැබුණත් සම්බන්ධ වෙන්න ලැබුණේ සීමිත සංඛ්‍යාවකට විතරයි. මං ලොජ් වෙලා ඉඳන් ෂූටින්වලට සම්බන්ධ වෙන්නෙ නැති නිසා ටෙලි නිර්මාණ රැසක් මගෙන් ගිලිහුණා. මං කවදාවත් එහෙම ඉඳලා නැති නිසා මට ලොකුවට දුවන චරිතවලට සම්බන්ධ වීමේ අවස්ථා ගිලිහෙනවා. අනිත් එක තමයි මං මගේ හෙයාර් කලර් එක වෙනස් කරන්න කැමැති නැහැ. ඒ නිසා ගොඩක් ටෙලි නිර්මාණ වගේම වෙළෙඳ දැන්වීම් මගෙන් ගිලිහුණා. සමහර වෙලාවට ක්ෂණිකව කතා කරන නිර්මාණවලට සම්බන්ධ වෙන්නත් බැරි වෙනවා. ගොඩක් නිර්මාණ අතහැරෙන්න ඒවා හේතු වුණා.
එහෙම රංගනයට සීමා යොදා ගැනීම ඔබට අවාසියක් කියලා හිතුණෙ නැද්ද?
ඔව්. ඒක මට ලොකු අවාසියක් තමයි. ඒත් මං මගේ ජීවිතේ පළමු තැන දෙන්නේ මගේ පවුලට. මගේ සැමියා මංජුල ක්‍රීඩාවට සම්බන්ධ තනතුරක් දරන කෙනෙක්. කලාවට සම්බන්ධයක් නැති වුණත් මට ඕනෑම පැෂන් එකක් කරන්න, ඕනම නිර්මාණයකට දායක වෙන්න ඔහුගෙන් කිසිම තහනමක් නැහැ. කොටට අඳිද්දි, ටැටූ ගහල තියෙද්දි සමහරු හිතනවා ඇති ඇයි එහෙනම් මේ රඟපාන්න විතරක් සීමා දාගන්නෙ කියලා. ඒත් මමමයි මට මේ සීමා දාගෙන ඉන්නේ. මොකද මට වැදගත් මගේ පවුල. මංජුල ගොඩක් කැමැතියි මගේ මේ හෙයාර් කලර් එකට. ඒ නිසා මට වෙනස් කරන්න හිතෙන්නෙම නැහැ. නමුත් එයාගෙන් බාධාවක් නම් නෑ. පහුගිය දවස්වල පරණ කතාවක් ඇසුරින් කරන අපූරු නිර්මාණයකට ආරාධනා ලැබුණා. අනිවාර්යයෙන්ම ඒක මගේ රංගන ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යයක් වේවි කියලා හිතනවා. තාවකාලිකව හරි හෙයාර් කලර් එක වෙනස් කරගෙන ඒකට සම්බන්ධ වෙන්න ඕන කියලා හිතුවා.
ටාෂියාගේ ක්ෂේත්‍රයට පිවිසීම ගැන කතා කළොත්?
ඒක අහම්බයක්. නාරාහේන්පිට චමත්කාර කියන ලොකේෂන් එකේ කරපු පොටෝ ෂූට් එකක් නිසා තමයි මට නිරූපණයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ. ඒ වෙද්දිත් මං උපාධිධාරිනියක්. හැදෑරීමත් එක්කමයි මං ක්ෂේත්‍රයට එන්නේ. සැලෝන්, බ්‍රයිඩ්ල්, මැගසින්, පත්තරවලට පොටෝ ෂූට් කළා. ඊට පස්සේ තමයි ගගන පියවර ටෙලි නිර්මාණයේ සිල්වියා කියන චරිතයට ආරාධනා ලැබෙන්නේ. ඒත් එක්කම තවත් ටෙලි නිර්මාණවලට ආරාධනා ලැබුණා. මං ටෙලි නිර්මාණවලට සම්බන්ධ වෙන්නේ විවාහයෙන් පස්සේ. මං ජොබ් එකක් කරනවට මංජුල කැමැති වුණේ නැති වුණත් ‘කමක් නෑ ඔයා ඒක කරන්න නැත්නම් මං ඒක ඔයාට කරන අසාධාරණයක්‘ කියල එයා කිව්වා. ඒත් මට මේ හැමදේම ලැබුණෙ එයා නිසානේ කියන සිතුවිල්ල නිතරම මගේ හිතේ තිබුණා. ඒ නිසා මං කපල් ෂූට් එකකටවත් යන්නෙ නෑ. වෙන කෙනෙක් අල්ලගෙන, බදාගෙන ඉන්න දර්ශන කරන්නෙත් නෑ. ඒත් මංජුල නම් කියනවා ඔන්න ඔහේ ඔයා ඒක කරන්න ඒක ෂූට් එකක්නේ කියලා. ඇත්තටම මට තාම ඒකට මනස හදාගන්න බැහැ. මං කොටට අඳිනවා. ඕනෙම පැෂන් එකක් කරනවා. ඒත් අදටත් මට නරක කමෙන්ට් එකක් ලැබිල නෑ. ක්ෂේත්‍රයේ ඉන්න හැමෝම දන්නවා මං කවුද කියන එක.
ඒ ආදරණීය හමුවීම ගැනත් කියමු?
මං කැම්පස් යද්දි ට්‍රේන් එකේදි තමයි එයාව හමුවුණේ. ඒක දවස් හතේ ප්‍රේමයක්. එයා මංජුල විතාරණ. ටිකක් මහත වුණාට කඩවසම්. හැමදාම උදේට මං ගුඩ්මෝනින් කියනවා විතරයි. ඒත් මං දැනන් හිටියා එයා මට කැමැතියි කියලා. ඔය විදිහට අවුරුදු දෙකක් විතරම පස්සෙන් ආවත් මං ගණන් ගත්තෙම නෑ. හදිසියේම එක දවසක් එයා ආවෙ නෑ. එදා මට වෙනසක් දැනුණා. මං එයාගෙ යාළුවගෙන් ඇහුවා එයා කෝ කියලා. පහුවෙනිදම එයා ඇවිත් “ආ නංගි මාව හොයලා තිබුණා නේද” කියලා කතාවට ආවා. ආ ඔව් මේ අක්කගෙ පුතාට ජිම් එකක් හොයාගන්න කියලා මං බොරුවක් කිව්වා. එදත් මං වැඩිය ගණන් ගත්තෙ නෑ. පස්සෙ පස්සෙ තමයි කතා කරන්න පටන් අරන් මගෙන් කැමැත්ත ඇහුවේ. එදාම මං කිව්වා ඇවිත් ගෙදරින් අහන්න කියලා. මුල්ම දවසේ එයා මට කිව්වේ ඔයා මොනවා කළත් ජොබ් එකක් කරනවට නම් මං කැමැති නෑ කියලා. දවස් හතයි ආදරේ කළේ අපි විවාහ වුණා. එදා එයා ලංකාවේ හිටපු දක්ෂ කරාතේ ශූරයෙක්. නැෂනල් ටීම් එකෙත් හිටියා. අද එයා ලංකාවේ නම්බර් වන් කෝච් කෙනෙක්. ඒ වගේම දකුණු ආසියානු කරාතේ පුහුණුකරුවෙක්.
ක්‍රීඩාවයි කලාවයි කියන්නෙ හාත්පසින්ම වෙනස් ක්ෂේත්‍ර දෙකක්. කොහොමද මේ දෙක බැලන්ස් කරගත්තේ?
මගේ හැම වැඩකටම මංජුල එනවා. පුංචි කාලෙ ඉඳන්ම මං පුරුදු වෙලා හිටියේ අම්මා හරි තාත්තා හරි එක්ක යන්න. විවාහ වුණාට පස්සේ අම්මා තාත්තා දෙන්නගෙම ඩියුටිය කළේ මංජුල. ඕනෙම වැඩකට ගිහින් මං වැඩේ ඉවර කරල එනකල් ඔහු බලන් ඉන්නවා. මමත් ඔහුගේ වැඩවලට ඒවගේම සහාය දෙනවා.
වසර ගණනාවක් පුරා කරාතේ ජාතික ක්‍රීඩා උලෙළේ දක්ෂතම ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව බිහි කිරීම, පොදු රාජ්‍ය මණ්ඩලීය සහ ලෝක කරාතේ ශූරතාවලියේ ජයග්‍රහණ, දකුණු ආසියානු කරාතේ ශූරතාවලිය රන්, රිදී, ලෝකඩ පදක්කම්, ආසියානු කරාතේ ශූරතාවලියේ රිදී, ලෝකඩ පදක්කම් ඇතුළුව ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ කරාතේ තරග ජයග්‍රහණ රැසක් හිමිකර දෙමින් ලංකාවට විශාල ගෞරවයක් හිමිකර දුන් ජාතික මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ කරාතේ පුහුණුකරුවකු වන මංජුල විතාරණ අප හා කතාබහට එක්වූවේ මෙලෙසිනි.
මංජුල කියන්නේ කරාතේ ශූරයෙක්. ටාෂියා දැක්ක මුල් දවසෙම එයාව බිරිය කරගන්න ඕන කියලා හිතුවේ ඇයි?
ඒක මටත් හිතාගන්න බෑ. දැක්ක පළමුවැනි දවසෙම එයා මගේ වගේ දැනුණා. මං හිතන්නෙ මොකක්හරි ආත්ම ගාණක බැඳීමක් තියෙන්න ඇති. එදා දැනුණ ඒ හැඟීම අදටත් ඒ විදිහටම තියෙනවා.
ටාෂියා යන යන තැන ඔබත් යනවා. ඇයි ඇය නැති වෙයි කියල බයයිද?
අනේ නෑ. එහෙම කිසිම බයක් නෑ. යාළු වුණු දවසෙ ඉඳන්ම මං එයත් එක්ක හැමතැනම යනවා. හැමදේම හොයලා බලනවා. හැම වැඩේටම උදවු කරනවා. ඒ එයාට තියෙන ආදරේ නිසා මිසක් වෙන බයකට නම් නෙවෙයි.
ඇය රංගන ශිල්පිනියක්. ඒත් ඔබ නිසා ඇය ඇයටම බාධා දාගෙන තියෙන එක ගැන මොකද හිතෙන්නේ?
ඔයා මෙන්න මේ සීමාවේ ඉන්න ඕන කියලා මං කවදාවත් කිසිම දේකට එයාට බාධා දාලා නෑ. එයා එයාටම එහෙම බාධා දාගෙන තියෙනවා නම් එයා ඒක අපේ පවුල වෙනුවෙන් කරපු දෙයක් කියලයි මට හිතෙන්නේ.
මේ වෙද්දි ඔබ ජාතික මෙන්ම ජාත්‍යන්තර තලයේ කරාතේ පුහුණුකරුවෙක්. මෙතෙක් ආ ගමන්මඟ ගැන කියනවානම්?
මං පුංචි කාලෙ ඉඳන්මයි කරාතේ ක්‍රීඩාවට යොමුවුණේ. කරාතේ කියන්නේ මගේ පළමුවැනි කසාදේ වගේ තමයි. හැමදාමත් මං ඒකත් එක්කමයි ඉන්නේ. ඉස්සර ඉඳන්ම පුහුණුකරුවෙක් විදිහටත් වැඩකළා. ගොඩක් කැපවීමෙන් වැඩ කළ නිසා තමයි ආසියානු, දකුණු ආසියානු, පොදු රාජ්‍ය මණ්ඩලීය ශූරයින් වගේම ජාතික ශූරතාව එක දිගටම වසර 9ක් ජයග්‍රහණය කරන්න පුළුවන් වුණේ. කරාතේ කියන්නේ මගේ ජීවිත
ක්‍රීඩාවයි, කලාවයි කොහොමද මේතරම් ලස්සනට ගළපගත්තේ?
අපි දෙන්නට දෙන්න උදවු කරගැනීම තමයි එතැන තියෙන්නේ. සමහර වෙලාවට මට වැඩිය කරාතේ ගැන එයා දන්නවා. මමත් සමහර වෙලාවට එයාට වැඩිය කලාව ගැන දන්නවා කියලා හිතාගෙන එයාගෙ දේවල්වලට උදවු කරනවා. ඒ නිසා මේ විෂයන් දෙකක් කියලා අපට දැනෙන්නෙත් නැති තරම්.
ඇයත් කාර්යබහුල රංගන ශිල්පිනියක්. ඒත් ඔබේ වැඩකටයුතුවලට ඇගෙන් ලොකු සහායක් ලැබෙනවා නේද?
ඔව්. මගේ හැම දේකටම එයා තමයි උදවු කරන්නේ. මං ශූරතාවලියකට ගියත්, ප්‍රැක්ටිස් ගියත් රෑ නිදි වරාගෙන කන්නෙත් නැතුව මං එනකල් බලන් ඉන්නවා. මට ඇගෙන් ලැබෙන තරම් සහායක් මේ ක්ෂේත්‍රයේ වෙන කිසිම කෙනෙකුට ලැබෙනව ඇති කියලා මං හිතන්නෙ නෑ.
