
රෙබෙකා, කොහොමද නදීශාට ලැබෙන ප්‍රතිචාර?
‘පැබ්ලෝ’ කියන්නෙ අලුත් වැඩක්. මේ වනවිට ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනව. මට මුණගැහෙන ගොඩක් දෙනෙක් පැබ්ලෝ, සසංකාරා, රාග යන නාට්‍ය තුනම බලන අය. ඇත්තටම ප්‍රේක්‍ෂකයන් අපිත් එක්ක ඉන්න එක ගැන ගොඩක් සතුටුයි.
නදීශා ඉදිරියේදී මොනව කරයිද?
නදීශා මොකද කරන්නෙ කියන එක අපි කුතුහලයක් විදිහට තියාගමු නේද.
ඔබ මෙවැනි චරිතයක් කරන්නෙ පළමුවැනි වතාවට?
ඔව්, මීට කලින් මට නදීශා වැනි චරිතයක් ලැබිල නැහැ. ඒ වෙනුවෙන් සම්පත් ජයවීරට විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙන්න ඕන. මොකද ඔහු තමයි මේ චරිතය වෙනුවෙන් මුලින්ම මට කතාකරන්නෙ. මෙහි අධ්‍යක්‍ෂවරයා වෙන්නෙ ජයප්‍රකාශ් සිවගු-රුනාදන්. පිටපත රචනා කරන්නෙ නලින් ලුසේනා. මෙහි විශේෂත්වය වෙන්නෙ මම විශ්ව විද්‍යාලයේ ඉන්න කාලෙ මගේ ගුරුවරයා වෙන්නෙ නලින් ලුසේනා.
‘රාග’ ගැන රසිකයො මොකද කියන්නෙ?
මේ ටෙලි නාට්‍යයත් ලංකාවේ වගේම විදෙස් රටවල ඉන්න ශ්‍රී ලාංකිකයොත් බොහොම උනන්දුවෙන් නරඹන බව ඔවුන්ගෙන් ලැබෙන ප්‍රතිචාරවලින් පැහැදිලිව දකින්න පුළුවන්.
‘සසංකාරා’ ගැන කතා කළොත්?
සසංකාරා කියන්නෙ මිනිස්සු ගැන කතාකරන, මිනිස්සුන්ගෙ හැඟීම් එක්ක වැඩකරන නාට්‍යයක්.
මේ අතර වේදිකා නාට්‍යයකටත් සම්බන්ධ වුණා?
ඔව්, චාලක ජයසිංහ අධ්‍යක්‍ෂණය කරන අතුල ජයසිංහ පිටපත් රචනය කරන ‘අමුතු නාට්‍යයක්’ කියන වේදිකා නාට්‍ය අරගෙන අපි ඔස්ටේ්‍රලියාවේ සංචාරය කළා. එහි දර්ශනවාර කිහිපයක්ම පැවැත් වුණා. ලංකාවට වඩා පිටරටවල ඉන්න ලාංකිකයො බොහොම උනන්දුවෙන් වේදිකා නාට්‍ය බලනව. ඇත්තටම ඉතාමත් හොඳ ප්‍රතිචාර අපිට ඔවුන්ගෙන් ලැබුණා. ඒ වගේම ඉදිරියේදී ‘අමුතු නාට්‍යයක්’ අරගෙන යුරෝපා රටවල සංචාරය කරන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නව.
කලාවේ වෙනත් වැඩ මොනවද?
පසුගිය දිනවල සජීව සංකල්ප අධ්‍යක්‍ෂණය කළ චිත්‍රපටයකට සම්බන්ධ වුණා. මේ වන විට එහි රූගතකිරීම් අවසන් වෙලා තියෙනව. ඒ වගේම අනුෂ්ක රසාංජනගෙ ‘පට්ටි ගෙදර’ ටෙලි නාට්‍යයේ රූගතකිරීම් කටයුතු මේ දිනවල සිදුවෙනවා.
‘පට්ටි ගෙදර’ ප්‍රේක්‍ෂකයන්ට මොන වගේ අත්දැකීමක් වෙයිද?
මම නම් හිතන්නෙ ප්‍රේක්‍ෂකයාට හිතාගන්නවත් බැරි අත්දැකීමක් වේවි කියලයි. මෙහි පිටපත ලියන්නෙත් අධ්‍යක්‍ෂවරයාමයි. ඒ වගේම මේ නිර්මාණයේ නළු නිළි වරණයේත් ලොකු වෙනසක් තියෙනව.
‘ටේක් කෙයාර්’ අධ්‍යක්‍ෂවරයා සමග නැවතත් ඔබට වැඩකරන්න ලැබෙනව?
ඔව්, ඇත්තටම අනුෂ්ක නිසා තමයි මාව මේ තරමට ජනප්‍රිය වුණේ. මෙච්චරකල් වැඩකළත් මාව මිනිස්සු හඳුනාගත්තෙ නැහැ. මට වඩා දක්‍ෂ අය හිටියත් ඒ චරිතය මට ලබාදුන්න නිසා තමයි අද මම මේ විදිහට මීඩියාවලට කතාකරන්නෙ. ඒ ගෞරවය අනිවාර්යයෙන්ම ඔහුට හිමිවිය යුතුයි.
ලැබෙන ආරාධනා ගැන අදහස මොන වගේද?
දැන් මට ලැබෙන්නෙ විශේෂම චරිත. මමත් කැමතියි ඒකට. ඇත්තම කිව්වොත් පෙම්වතියගේ චරිත, ප්‍රේම ජවනිකා නම් මට ලැබෙන්නේම නැහැ. නමුත් මගේ හිතේ තියෙන හැම චරිතයක්ම වගේ දැන් දැන් මට ලැබෙනව වගේම ඒ වෙනුවෙන් මම ගොඩක් මහන්සි වෙනව.
වර්තමානයේ බිහිවන ටෙලි නාට්‍ය ගැන ඔබේ අදහස කොහොමද?
ඉන්දියාව ගත්තොත් චිත්‍රපටයකට වුණත් ගේන්නෙ සරල කතාවක්. ඒ සරල කතාව බාල නැහැ. නමුත් අපේ රටේ එක කාලෙකදි බාල කතා වගේ ඒව ටිකක් ගේන්න ගත්තා. නමුත් දැන් අලුත් අය ටිකක් වැඩ කරනව. ඉස්සර අපේ ගොඩක් තිබුණෙ මිනි සීරිස් නාට්‍ය. ඒ කතාව තුළ හැමදේම කෙටියෙන් වගේම රසවත්ව තිබුණා. දැන් ආයෙත් ඒ ක්‍රමය දකින්න ලැබෙනව. ඒක හොඳ දෙයක් වගේම ඒක තමයි වෙන්න ඕන. දැන් ගොඩක් මිනිස්සු ටීවී බලන්නෙ නැහැ. ඒ හොඳ නාට්‍යය නැති නිසා. කොරෝනා වලින් පස්සෙ දැන් ඒ තත්ත්වෙ ටිකක් වෙනස් වෙලා තියෙනව.
මෙතෙක් පැමිණි ගමන ගැන තෘප්තිමත්ද?
මේ ගමනේදී මගේ ආත්ම තෘප්තිය ගැන විතරක්ම නෙමෙයි, කලාව ගොඩගැනීම උදෙසා යම් කිසි දෙයක් කරන්න ඕන කියන අදහසත් තියෙනව. ඒ වෙනුවෙන් තමයි මේ පාර කපාගෙන යන්නෙ. කලාවෙන් තමයි මිනිස්සු හිතන පතන විදිහ වෙනස් කරන්න පුළුවන් වෙන්නෙ. අද මට සතුටුයි මම ඉන්න තැන ගැන. එතැනින් එහා මගෙ වටා ඉන්න අය ගැන වගේම සමාජය ගැන හිතද්දි තව අපි වැඩකරන්න ඕන මිනිස්සුන්ගෙ පරිකල්පන ශක්තිය වැඩිකරන්න.
රෙබෙකාට සෝෂල් මීඩියා එපාද?
ඇත්තටම මට ඕන මගෙ වටේ ඇත්තටම මට ආදරේ කරන පිරිසක් තියාගන්න. අපි අද, හෙට, අනිද්ද සෝෂල් මීඩියා කැම්පේන් කරල ඒක නැවැත්තුවොත් අපිට ඉන්න ප්‍රේක්‍ෂකයොත් නැති වෙනව. ඉතිං එහෙම නොවී ඇත්තටම ආදරේ කරන අය එක්ක ඉන්නයි මට ඕන. ඒ නිසයි ගොඩක් දුරට මාව සෝෂල් මීඩියාවල දකින්න නොලැබෙන්නෙ.
රෙබෙකා චරිත තෝරාගෙනද භාරගන්නෙ?
චරිතයක් තෝරාගනිද්දි මම චරිතෙට අවංක නම්, අවංකව, සතුටින් කරන්න පුළුවන්නම් විතරයි මම භාරගන්නෙ.
පවුලේ එකම දරුවා රංගන ශිල්පිනියක් වීම ගැන දෙමවුපියන්ගේ අදහස මොන වගේද?
ඔව්, මම පවුලේ එකම ළමය. මම ගෙදර හැදුන විදිහක් තියෙනව. ඒවත් එක්ක ඇත්තටම මම රංගන ශිල්පිනියක් වෙයි කියල මගේ දෙමවුපියො හිතුවෙ නැහැ. නමුත් අද ඔවුන් මම ඉන්න තැන ගැන බොහොම සතුටු වෙනව.
මහේෂ් එදිරිසිංහ
