නිලන්ත හපන්වීරගේ ‘තේජා’ සිනමා නිර්මාණයත් සමග කාලෙකට පස්සෙ අනුරුද්ධිකා පාදුක්කගේ රිදී තිරයෙන් දකින්න ලැබෙනවා. ඔය අතර ඇය රංගනයෙන් දායක වුණ අකුරට යන වෙලාවේ ටෙලි නාට්‍යය හරහාත් පුංචි තිරයෙන් මුණගැසෙනවා. මේ නිසා අපි අනුරුද්ධිකා සමග පුංචි සංවාදයක නිරත වුණා.
ඔබ රංගනයෙන් දායක වුණ ‘තේජා’, මේ දිනවල තිරගත වෙනවා?
ඔව්, පසුගිය කාන්තා දිනය දවසේ තේජා චිත්‍රපටය තිරගතවීම ආරම්භ කළා. මේ නිර්මාණය අධ්‍යක්‍ෂණය කළේ නිලන්ත හපන්වීර මහත්මයා. මෙහි කමලා කියන චරිතය තමයි මම නිරූපණය කරන්නෙ. ඇත්තටම මේ පිටපත ලියැවෙන්නෙ 1982-1985 අතර කාලයේ සිදු වුණ සත්‍ය කතාවක් පාදක කරගෙන. මේකෙන් කියැවෙන්නෙ ඇඟලුම් කර්මාන්තයට සම්බන්ධ සේවිකාවන්ගෙ කතාවක්. කමලා කියන්නෙ බොහොම සංවේදී චරිතයක්. මේ වන විට ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.
නිතර දෙවේලේ දකින කෙනෙක් වෙන්න මට ඕන නැහැ - අනුරුද්ධිකා පාදුක්කගේ
කමලා වෙනුවෙන් මොන වගේ කැපකිරීමක්ද කළේ?
කමලා කියන්නෙ දරුවෙක් ලැබෙන්න ඉන්න කාන්තාවක්. නමුත් මම මේ චරිතය කරද්දි විවාහවෙලාවත් හිටියෙ නැහැ. එතැනදි මට ගැබිනි මවකගේ ක්‍රියාකලාපය මොන වගේද කියල අධ්‍යයනය කරන්න සිදු වුණා. චිත්‍රපටයක් නිසා සියුම්ව චරිතය නිරූපණය කරන්න ඕනනෙ.
අනුරුද්ධිකා කොහොමද ඇඟලුම් කම්හල් සේවිකාවන් ගැන දකින්නෙ?
අපේ රටට විදේශ විනිමය ගෙන එන ප්‍රධාන දෙයක් තමයි ඇඟලුම් කර්මාන්තය කියන්නෙ. එතැනදි ඇඟළුම් සේවිකාවන් කොහොමවත් අමතක කරන්න බැහැ. කාලයත් එක්ක ඔවුන් තම වෘත්තීය අයිතිවාසිකම් යම් ප්‍රමාණයකට දිනාගෙන තිබුණත් ඔවුන් අදටත් යම් පීඩාවකට ලක්වෙලා ඉන්නව කියලයි මට හිතෙන්නෙ. ඒ වගේම සමාජයේ ඔවුන් ගැන තියෙන ආකල්පයත් ඒ තරම් හොඳ නැහැ. නමුත් ඔවුනුත් අපේ අක්කල නංගිල වගේම සමාජයේ කොටසක්.
නිතර දෙවේලේ දකින කෙනෙක් වෙන්න මට ඕන නැහැ - අනුරුද්ධිකා පාදුක්කගේ
මෙවැනි නිර්මාණයකට සම්බන්ධ වීමට ලැබීම ඔබ දකින්නෙ කොහොමද?
මේ චරිතයට මාව තෝරාගැනීම ගැන නිලන්ත හපන්වීර මහත්මයාට මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕන. මට මෙහෙම කියන්න අයිතියක් නැහැ, නමුත් නැවත මම චිත්‍රපටය නරඹද්දි මට හිතුණා මේ චරිතයට උපරිම සාධාරණය කරන්න මම උත්සාහ කරල තියෙනව කියල. ඒ වෙලාවට ඇත්තටම ලොකු සතුටක් දැනෙනව. විශේෂයෙන්ම කියන්න ඕන, මගේ චරිතය සාර්ථක කරගන්න ලැබෙන්නෙ අනෙකුත් ශිල්පීන්ගෙන් ලැබුණ සහයෝගය නිසා. ඔවුන්ටත් මම ස්තූතිවන්ත වෙන්න ඕන.
‘තේජා’ තිරගත වෙන්න ප්‍රමාද වුණා?
ඔව්, යම් යම් හේතු මත තේජා තිරගත කරන්න ප්‍රමාද වුණත් මම මේ චිත්‍රපටයට පස්සෙ කළ හිතුමතේ ජීවිතේ, ගාමණී, හොරා අංකල් වගේ නිර්මාණත් තිරගත වුණා.
කොහොමද රංගන වැඩකටයුතු?
මේ දවස්වල ‘අකුරට යන වෙලාවේ’ ටෙලි නාට්‍යයට සම්බන්ධවෙලා ඉන්නව. ඊට අමතරව චිත්‍රපටයකටත් ආරාධනා ලැබිල තියෙනව. ඒ වගේම ඒකාංගික ටෙලි නාට්‍ය සහ පෝය නාට්‍යවලට වගේ නම් නිතරම සම්බන්ධ වෙනව. නමුත් නිතරම රූපවාහිනියෙ පෙනී ඉන්න ඕන කියල ලැබෙන හැම නිර්මාණයක්ම භාරගන්නෙ නැහැ. බබාල දෙන්නගෙ වැඩත් එක්ක මම ටිකක් අවිවේකයි. ඒ නිසා දීර්ඝ ටෙලි නාට්‍යවලටත් සම්බන්ධ වෙන්න කාලයක් නැහැ.
මේ තාක් ලැබුණ චරිත ගැන සෑහීමකට පත්වෙනවද?
මම ක්‍ෂේත්‍රයට ඇවිත් දැනට අවුරුදු විස්සක් විතර වෙනව. මුල් කාලයේ මීට වඩා වෙනස් වෙනස් චරිත මම රඟපාල තියෙනව. ඒ අතර දමිළ චරිත ගොඩක් තියෙනව. මොන විදිහෙ එකක් වුණත් මට හැම වෙලාවෙම හැම චරිතයක්ම සුවිශේෂියි. විශේෂයෙන්ම මතක් කරන්න ඕන, ධර්මසේන පතිරාජ මහත්මයාගේ අවසන් ටෙලි නාට්‍යයේ මම චරිත තුනක් රඟපෑවා. දෙකක් දමිළ චරිත, එකක් සිංහල. ඒක මගේ ජීවිතයේ සුවිශේෂී සංධිස්ථානයක්. මේ දේවල් එක්ක බලනකොට මේ දක්වා මට ලැබුණ චරිත ගැන ඇත්තටම සෑහීමකට පත්වෙන්න පුළුවන්.
ඇයි මේ වැඩිපුරම දමිළ චරිත ලැබෙන්නෙ?
මම රංගනයෙන් දායක වුණ ‘සුදු කපුරු පෙති’ ටෙලි නාට්‍යය ජාතික රූපවාහිනියේ විකාශය වුණා. ඊට කලින් ස්වර්ණවාහිනියෙ ‘සින්දූර්’ ටෙලි නාට්‍යය විකාශය වුණාට ඒ කාලෙ ඉරිදා 8.30 බෙල්ට් එක හරි ප්‍රසිද්ධයි. මිනිස්සු බලන ප්‍රමාණය වැඩියි. එහිදී ඔවුන් මාව දකිනව මොට්ටුවක් තියාගෙන ඉන්න දමිළ ගැහැනු ළමයෙක් විදිහට. ඊට කලින් ඔවුන් මාව ඒ තරම් දන්නෙ නැහැ. ඉතිං ඔවුන්ට චරිතය ගැන තියෙන විශ්වාසය වැඩියි. එයින් පස්සෙ නිරංජනී ෂන්මුගරාජා ක්‍ෂේත්‍රයට එනතුරු ගොඩක් අධ්‍යක්‍ෂවරු මටම තමයි දමිළ චරිතවලට කතා කළේ.
අනුරුද්ධිකාට දමිළ භාෂාව පුළුවන්ද?
චරිතයට අදාළ දෙබස් ටික දුන්නාම මම ඒක හරියට කරනව. දර්ෂන් ධර්මරාජ් මේ වෙලාවෙ මත්ක කරන්නම ඕන. ඔහු මට ගොඩක් උදව්කරල තියෙනව දමිළ වචන උච්චාරණය කරන්න.
‘අකුරට යන වෙලාවේ’ චරිතය ගැන රසිකයො මොකද කියන්නෙ?
ඒක පහ වසර ශිෂ්‍යත්වය ලියන දරුවන්ගෙ වයසෙ කතාවක්. මම දැකල තියෙන විදිහට ගොඩක් පොඩි දරුවන්ගෙ කතාවලත් කතාවෙන්නෙ ලොකු අය ගැන. එහෙම වෙන්න හොඳ නැහැ. සුදත් අයිය ඒක හොඳට ලියනව. මමත් ආසාවෙන් වැඩකරනව. මෑත කාලයේ ගොඩක් පොඩි ළමයි මට කතාකරන්නෙ සඳුන්ගෙ අම්මා කියල. ඔවුන් මගෙ කලින් චරිත වැඩිය දැකලත් නැහැනෙ.
ඉදිරියේදී අනුරුද්ධිකා දකින්න ලැබෙන නිර්මාණ ගැන කතා කළොත්?
ඉදිරියේදී තව එක චිත්‍රපටයක් තිරගත වීමට නියමිතව තියෙනව. නම දැන්ම කියන්න බැහැ, වෙනස් වෙන්න පුළුවන් නිසා. ඊට අමතරව අප්‍රේල් මාසයේදී ටෙලි නාට්‍යයක රූගත කිරීම් කරනව. විකාශය වන කාලය නම් දැන්ම කියන්න බැහැ.
තිරයේ නිතර පෙනී ඉන්න කැමැත්තක් ඔබට නැහැ?
අවුරුද්ද පුරාවටම දකින්න නොලැබුණත් ලැබෙන එක හොඳ නිර්මාණයකින් මිනිස්සු අතරට ගිහින් සමාජයට යහපත් පණිවිඩයක් දෙන්න හැම වෙලාවෙම මම උත්සාහ කරනව. එහෙම නැතිව නිතර දෙවේලේ දකින්න ලැබෙන කෙනෙක් වෙන්න මට ඕන නැහැ.
මහේෂ් එදිරිසිංහ