මේ දිනවල විකාශය වෙන ‘මායාවි’ ටෙලිනාට්‍යයේ ‘හිතෛෂී’ට මොකද වුණේ. ඇත්තටම හිතෛෂී චරිතය රඟපෑ නිළිය ඒ චරිතය අතහැර යෑමත් සමග සමාජ මාධ්‍යය තුළ ලොකු කතාබහක් ඇතිවුණා. දැන් මේ චරිතය රඟපාන්නේ එමාෂා සෙනවිරත්න. මේ, මීවිත ඇය සමග කළ කතාබහක්.
මායාවි ටෙලි නාට්‍යයේ හිතෛෂීට ආරාධනාව ලැබුණේ කොහොමද?
ඇත්තටම ඉතා හදිසියේ ලැබුණ ආරාධනාවක්. මම එක වැඩක් අවසන් කරලා තවත් වැඩකට යන අතරේ තමයි මහේෂ් රත්සර මද්දුමආරච්චි අයියගෙන් දුරකථන ඇමතුමක් එන්නේ. මම මීට කලින් මහේෂ් අයියාගේ ටෙලිනාට්‍ය දෙකක ප්‍රධාන චරිත රඟපාලා තිබෙනවා. ඒ ‘හිතුවක්කාරී’ වගේම ‘හිත ළඟ හිනැහුණා’ කියන ටෙලිනාට්‍ය දෙකේ. ඒ චරිත දෙකටම ඉතා හොඳ ප්‍රතිචාර ලැබුණා වගේම අදටත් ලැබෙමින් පවතිනවා. ඉතිං එහෙම රචකයෙක් තමයි මට මේ ආරාධනාව කරන්නේ.
ඒ වෙලාවෙ මොකද හිතුණෙ?
මම ඇත්තටම හිතුවේ අලුත් නාට්‍යයකටයි මේ කතා කරන්නේ කියලා. ඊට පස්සේ තමයි විස්තර කරලා කිව්වේ මේක දැනට විකාශය වෙන ටෙලිනාට්‍යයක් කියලා. එහි ප්‍රධාන චරිතය කරන නිළිය නාට්‍යයෙන් ඉවත් වෙනවා, ඒ හේතුවත් එක්ක අපිට මේක ඉදිරියට කරගෙන යන්න අවශ්‍යයි. ඔයා මේ ආරාධනාවට කැමැති වෙනවා නම් ඒක අපිට කරන ලොකු උදව්වක් කියලත් කිව්වා. මේක විකාශය වෙන්නේ සිරස නාළිකාවේ. අධ්‍යක්ෂවරයා සඳුන් රාජකරුණා. නිෂ්පාදකවරයා වගේම හැමෝගෙම කතාබහ අතරේ මේ චරිතයට රංගන ශිල්පිනියන් හතර දෙනෙක් විතර තෝරාගෙන තිබුණා. ඒ බව ඔවුන් මාව දැනුවත් කළා. අන්තිමේ ඔවුන් තීරණය කරලා තිබෙනවා මම හොඳයි කියලා. ඔහොම තමයි හිතෛෂීට ආරාධනාව ලැබෙන්නේ.
හිතෛෂීට උපරිම සාධාරණයක් ඉෂ්ට කරනවා - එමාෂා සෙනෙවිරත්න
ඔබ ආරාධනාව භාර ගත්තා?
මම නියෝජනය කරන්නේ ‘හිතුවක්කාරි’ ටෙලිනාට්‍යයේ නියෝජනය කරපු චරිතයක්ම තමයි. ඒ වගේ චරිතයක් කරපු නිසයි මට කතා කරන්නේ කියලත් මහේෂ් අයියා මාව දැනුවත් කළා. ඇත්තම කියනවා නම් ඒ අය මේකට සම්බන්ධ වෙන්න කියලා ඉල්ලීමක් කළා. නාට්‍ය මෙතැනින් එහාට විකාශය කරගන්න බැරි තත්ත්වයක ඉන්නේ කියලත් කිව්වා. ටෙලිනාට්‍යයේ අවසානයක් නැතිව නතර වෙන තැනකයි තිබුණේ. ඊට පස්සේ තමයි මම මේ ආරාධනාව භාර ගත්තේ.
මේ දවස්වල වැඩකටයුතු කොහොමද?
මේ දවස්වල ප්‍රාර්ථනා ටෙලිනාට්‍ය විකාශය වෙමින් පවතිනවා. මම එහි ප්‍රධාන චරිතය නිරූපණය කරනවා.
පසුගිය දවස්වල ඔබ විවාහ ගිවිස ගත්තා?
ඔව්, පසුගිය දවස්වල විවාහ ගිවිස ගැනීම සිදුකළා. හරි ආසාවෙන් හිටියේ සරල චාම් උත්සවයක් ගන්න. ඒ වගේම හරිම ලස්සන, චාම් විවාහ ගිවිස ගැනීමේ උත්සවයක් කරගන්න පුළුවන් වුණා. ඒ අවස්ථාව වෙනුවෙන් ගීතයකුත් එළි දැක්වූවා. එය නම් කළේ ‘දෙනුවන් හසඟනා’ කියල. ඒකට මමත් ගායනයෙන් සම්බන්ධ වුණා.
ගායනයට එන්න අදහසක් තිබෙනවාද?
අපෝ එහෙම අදහසක් නම් නැහැ. සින්දුවක් කියන එක මම සාමාන්‍ය විදියට කරගෙන යනවා. මම සංගීතය හදාරලා නැහැ. හැබැයි හදාරන්න ආසයි. සංගීතය කියන්නෙත් මම ආසා දෙයක්.
එමාෂා – රුමේෂ් ආදර කතාවට කොච්චර කාලයක් වෙනවාද?
අපි දෙන්නා එකම ක්ෂේත්‍රයේ. මුලින්ම මුණගැසෙන්නෙත් ටෙලිනාට්‍යයකින්ම තමයි. අපි දැනහඳුනාගෙන අවුරුදු ගණනාවක් වෙනවා. මුලදි හොඳ යාළුවෝ. පසුව තමයි ආදර කතාවකට පෙරළුණේ. කාලයක් ගතවෙලා තමයි ඒ සියල්ල සිද්ධ වුණේ.
සැමියාගෙන් රඟපෑම් වැඩකටයුතුවලට ලැබෙන සහයෝගය මොන වගේද?
අම්මෝ මෙච්චරයි කියලා කියන්න බැහැ. ඔහු මාව නිතරම දිරිමත් කරනවා. මට ඒ වචන හරි වටිනවා. ඇත්තටම තමන්ගේ සහකරුගෙන් තමන්ගේ ජීවිතයේ කරන වටිනා දේවල්වලට ලොකු සහයෝගයක් ලැබෙනවා කියන්නේ ගොඩක් වටිනා දෙයක්. ඒ වගේම ඔහුට ක්ෂේත්‍රය පිළිබඳව හොඳ අවබෝධයක් තිබෙනවා. ඔහු කවදාවත්ම මගේ රංගනයට බාධා කරලාත් නැහැ, කරන්නෙත් නැහැ කියලා විශ්වාසයි. ඒ අවබෝධය සහ තේරුම් ගැනීම නිසාම මම නිදහසේ වැඩ කරනවා.
මායාවි ටෙලිනාට්‍ය භාරගැනීම ගැන අද මොකද හිතෙන්නේ?
මම ඇත්තටම කලින් ඒ වගේ අත්දැකීමකට මුහුණදීලා නැහැ. ජීවිතයේ පළමු වතාවට තමයි මේ විදිහේ දෙයක් භාරගත්තේ. චරිතයක් ඉවත් වෙනකොට ඒ චරිතයම ඉදිරියට කරගෙන යනව කියන කාරණාව භාරගත්තේ ජීවිතයේ පළමු වතාවට. මීට කලින් ඒ වගේ ආරාධනා ලැබිලා තියෙනවා. නමුත් භාර අරගෙන නැහැ. මීට කලින් මම රඟපෑ ‘හිතුවක්කාරී’ නිර්මාණයේ චරිතය සමග තිබුණ අත්දැකීම සහ තිරපිටපත් රචක මහේෂ් අයියා ගැන ලොකු විශ්වාසයක් තිබ්බා. මොකද මම මීට කලින් ඔහුත් සමග වැඩ කරලා තියෙනවා. ඒවා සාර්ථක නිර්මාණ. කලින් ලද ඒ අත්දැකීම් එක්ක ‘හිතෛෂීට’ මටත් සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන් වේවි කියලා විශ්වාසයක් තිබ්බා. ඉතිං මම මේ අලුතෙන් භාරගත්තු චරිතයට උපරිම සාධාරණයක් කරන්න උත්සාහ කරනවා.
අධ්‍යක්ෂ සඳුන් රාජකරුණාගෙන් ලැබුණ සහයෝගය මොන වගේද?
ෂූටිංවලට ගියාට පස්සේ චරිතය ගැන ගොඩක් සාකච්ඡා කළා. ඒකට ඔහුගෙන් මට ලොකු සහයෝගයක් ලැබුණා. හොඳ ඉවසීමක් තියෙන අධ්‍යක්ෂවරයෙක්. මම ඔහුත් සමග වැඩ කරන්නේ පළමු වතාවට. සඳුන් රාජකරුණා කියන්නේ නිහතමානී අධ්‍යක්ෂවරයෙක්.
මහේෂ් එදිරිසිංහ