ලස්සන මදි කියලා ප්‍රතික්ෂේප වුණ අවස්ථා තියෙනවා -හංසි

 



රොකී, මාස්ටර් සර්, සින්ටෝ යනාදී ටෙලිනාට්‍යවලින් මේ දවස්වල ප්‍රේක්ෂකයන් අතරට ඇවිත් ඉන්න නව පරපුරේ රංගන ශිල්පිනියක් විදිහට හංසි පෙරේරා ප්‍රසිද්ධයි. ටෙලිනාට්‍ය කීපයකින්ම හංසි ප්‍රේක්ෂකයන්ගේ ආලින්දයට එන නිසා අපි හිතුවා හංසිගේ විස්තර දැනගන්න.




හංසි රංගන ක්ෂේත්‍රයට ආවේ කොහොමද ?




පුංචි කාලෙ ඉඳලා මම වේදිකාවේ රඟපෑවා. පාසල් අධ්‍යාපනය අවසාන කළාට පස්සෙ රංගන ක්ෂේත්‍රයට එන්න ආසාවෙන් හිටියෙ. නමුත් රංගන ක්ෂේත්‍රයට එන්න මාර්ගයක් තිබුණේ නැහැ. ඉතින් රංගන ක්ෂේත්‍රයට එන්න තිබුණ උවමනාව මත මම 2021 ‘සියත’ අවුරුදු කුමරිය තරගයට ඉදිරිපත් වෙලා අවසාන තරගකාරිනියො පස්දෙනා අතරට ආවා. ඊට පස්සෙ 2023 වසරේ ස්වර්ණවාහිනී අවුරුදු කුමරිය තරගයටත් ඉදිරිපත්වෙලා අවසාන 12 දෙනා අතරට ආවා. ඒත් එක්ක මට රංගන ක්ෂේත්‍රයෙන් ආරාධනා ලැබුණා. මුලින්ම මම රඟපෑවේ Ok Boss ටෙලිනාට්‍යයේ සෙසු චරිතයක්. Ok Boss ටෙලිනාට්‍යයේ මගේ රඟපෑම හොඳයි කියලා මාස්ටර් සර් ටෙලිනාට්‍යයේ චාපාගේ චරිතය රඟපාන්න ආරාධනා ලැබුණා. චාපාගේ චරිතයෙන් ක්ෂේත්‍රය තුළ මගේ රංගන හැකියාව ප්‍රසිද්ධ වීමත් එක්ක ‘රොකී’ ටෙලිනාට්‍යයේ ‘නූර්’ විදිහටත් ‘සින්ටෝ’ ටෙලිනාට්‍යයේ ‘ලේඛා’ විදිහටත් කැපී පෙනෙන චරිත රඟපාන්න අවස්ථාව ලැබුණා.








ක්ෂේත්‍රය තුළ පැවැත්ම හදාගත්තෙ කොහොමද ?




නාළිකා තුනක විකාශය වෙන ටෙලිනාට්‍ය තුනක කැපී පෙනෙන චරිත මම දැන් රඟපානවා. ඒ විදිහට ක්ෂේත්‍රය තුළ පැවැත්ම හදාගන්න මම පෞද්ගලිකව දන්න අඳුනන කවුරුත් හිටියෙ නැහැ. මම රඟපාපු මුල්ම ටෙලිනාට්‍ය Ok Boos රඟපෑම දැකලා අධ්‍යක්ෂවරු මාව තවත් අධ්‍යක්ෂවරුන්ට නිර්දේශ කරලා තිබුණා රඟාපාන්න පුළුවන් දක්ෂ කෙනෙක් කියලා.








නිළියක් වුණ ගමනෙදී බාධක තිබුණෙ නැද්ද ?




රූපය ලස්සන මදි කියලා නිර්මාණවලට නළුනිළියෝ තෝරාගන්න තිරපරීක්ෂණවලදි මාව ප්‍රතික්ෂේප වුණ අවස්ථා තියනවා. රංගනයෙදි බාහිර රූපයට වැඩිය හැකියාවට මුල් තැන දෙන්න ඕන කියලයි මම විශ්වාස කරන්නෙ. ඉතින් හැකියාව අවතක්සේරු කරලා රූපය ගැන විතරක් සැලකිලිමත්වන නිර්මාණකරුවො ගැන මම කනගාටු වෙනවා.








මේ දවස්වල රොකී සහ සින්ටෝ ටෙලිනාට්‍යය නිසා හංසිව ගොඩක් ප්‍රසිද්ධයි...




ඔව්. රොකී ටෙලිනාට්‍යයේ නූර් විදිහටත් සින්ටෝ ටෙලිනාට්‍යයේ ලේඛා විදිහටත් ප්‍රේක්ෂකයා අතර මාව ⁣මේ දවස්වල කතාබහට ලක්වෙනවා. ටෙලිනාට්‍යය දෙකේම දුෂ්ට චරිත රඟපාන නිසා ප්‍රේක්ෂකයන්ගෙන් බැණුම් අහනවා. පෞද්ගලිකව මට බණින්නෙ නැතුව රඟපාන චරිතයට ප්‍රේක්ෂකයා් බණිනවා කියන්නෙ ඒ රංඟනය සාර්ථකව ඉදිරිපත් කරන්න මම සමත්වෙලා තියනවා කියලයි මම විශ්වාස කරන්නෙ.








සැබෑ ජීවිතයේදි මොනවිදිහෙ කෙනෙක්ද ?




චරිතවල රඟපාන තරම් සැබෑ ජීවිතයේදි මම දුෂ්ට කෙනෙක් නෙමෙයි. හැමෝම එක්ක සුහදව කතා කරලා හිතවත්ව ඉන්න කෙනෙක්.




හංසිව සිනමාවෙන් ළඟදිම දකින්න පුළුවන් කියලා ආරංචියි ?




ශ්‍රී ලාල් ප්‍රියදේව අධ්‍යක්ෂණය කරපු ‘හවුස් ෆුල්’ චිත්‍රපටයේ මම රංගනයෙන් දායක වුණා. ඉතින් රිදී තිරයෙනුත් ප්‍රේක්ෂකයන්ට මාව ළඟදීම බලන්න පුළුවන්. ඒ වගේම දකුණු ඉන්දියානු නළුවෙක් සහ අධ්‍යක්ෂවරයෙක්වන ජායි ආකාශ් ශ්‍රී ලංකාවේදි රූගත කරන දකුණු ඉන්දියානු චිත්‍රපටයකට මම රංගනයෙන් සම්බන්ධ වුණා.








හංසි කෙටි කාලෙකදි ලොකු ගමනක් ඇවිත්ද ?




2018 ඉඳලා තමයි රංගන ක්ෂේත්‍රයට එන්න මම උත්සාහ කළේ. විවිධ තරගවලට ගිහින් තිරපරීක්ෂණවලට ගිහින් ප්‍රතික්ෂේපවීම් කැපිලි කෙටිලි මැද හැකියාවෙන් ක්ෂේත්‍රයට ඇවිත් ඉදිරියට යන්න මම මග පාදගත්තා. ඉතින් මේ අවුරුදු හත දකින අයට කෙටි කාලයක් වුණාට මට ඇත්තටම ලොකු කාලයක්. මේ කාලය ඇතුළත වින්ද මහන්සිය අසීමිතයි. අද ඒ මහන්සියෙ ප්‍රතිඵල නාළිකා කීපයකම විකාශයවන ටෙලිනාට්‍යවල රඟපාන නිළියක් විදිහට වගේම සිනමා නිළියක් විදිහට නිහතමානීව භුක්ති විඳිනවා.




පවුලෙ අයගෙන් ලැබෙන සහයෝගය කොහොමද ?




රංගන ක්ෂේත්‍රයට ආපු මුල් කාලෙදි මගේ තාත්තා අසනීපවෙලා එකතැන් වුණා. ඒත් එක්ක මම තීරණය කරනවා රංගනය අමතක කරලා වෙනත් ක්ෂේත්‍රයක වැඩි වැටුපක් ලැබෙන රැකියාවක නිරත වෙන්න. හැබැයි මගේ අම්මා මාව දිරිමත් කළා. හැකියාව අපතේ යවන්නෙ නැතුව රංගන ක්ෂේත්‍රයෙන් ඉස්සරහට යන්න කියලා. ඉතින් ඒ විදිහට පවුලෙ අයගේ සහයෝගය ලැබුණේ නැත්නම් ආරම්භයෙඳීම මම මේ ගමන අතාරින්න ඉඩ තිබුණා. ඒ වගේම මගේ පෙම්වතා මට ලොකු ශක්තියක් වුණා රංගන ක්ෂේත්‍රයේ දිගටම ඉදිරියට යන්න.








විවේචනවලට හංසි මුහුණ දීලා නැද්ද ?




රොකී ටෙලිනාට්‍යයේදි නූර්ගේ චරිතයෙදි මම සමහර වෙලාවට කොට ඇඳුම් ඇඳලා රඟපානවා. ඒ අවස්ථාවලදී සමහරු කියනවා මම ඇඟ පෙන්නලා ප්‍රසිද්ධ වෙන්න හදනවා කියලා. චරිතයට අනුව ඇඳුම් අඳිනවා මිසක ඇඟ පෙන්නලා ප්‍රසිද්ධ වෙන්න මට කිසිම උවමනාවක් නැහැ. 



Previous Post Next Post