හිරු මෙගා ස්ටාර්ස් තරගාවලිය තුළ ඔබට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ඇත්තටම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මේ දවස්වල හැමෝම හිරු මෙගා ස්ටාර්ස් ගැන තමයි අහන්නේ. මොකද වැඩිම වීව්ස් ප්‍රමාණයක් තිබුණේ මගේ ඩාන්ස් ඇක්ට් එකට. ඉතින් ඒ ගැන මට ගොඩක් සතුටුයි. ඒ වගේම මගේ ඩාන්සින් පාට්නර් ඕදාතගෙන් හොඳ සහයෝගයක් ලැබෙනවා. ඉතින් හොඳ ඩාන්සින් පාට්නර් කෙනෙක් ලැබුණු එක ගැන සතුටුයි.
ඔබ බොලිවුඩ් රංගන ශිල්පිනියක් වගේ කියමින් පළවෙන අදහස් ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම ඒ වගේ කමෙන්ට් එකක් මම හිතුවෙවත් නැති වෙලාවක මට ලැබුණේ. ලංකාවේ විතරක් නෙවෙයි ඉන්දියාවෙත් මේ දවස්වල මගේ ඩාන්ස් ඇක්ට් එක වයිරල් වෙලා තිබෙනවා. මේ වන විට නැරඹුම් වාර මිලියන පහක සීමාවට හිරු ටික් ටොක් පේජ් එකෙන් දාපු ටික් ටොක් එක ළං වෙලා තිබෙනවා සහ ඒ ගැන ගොඩක් සතුටුයි. ඒ වගේ කමෙන්ට්ස් ලැබෙන එක ගැන නිහතමානී ආඩම්බරයක් තිබෙනවා.
ඔබ බොලිවුඩ් රංගන ශිල්පිනියක් මෙන් ෆිගර් මේන්ටේන් කරන්නේ කොහොමද?
මම ඉස්සර ටිකක් විතර චබී කෙනෙක්. මම මට ගොඩක් ආදරෙයි සහ මම ගැන හිතලම ටිකක් ෆිගර් එක ගැන වැඩිපුර හිතුවා. මම ලොකු ඩයට් ප්ලෑන් එකක් අනුගමනය කළා. ඉතින් මම කෙට්ටු වුණා. මම ගොඩක් මහන්සි වුණා. මහන්සි වුණ විධියට ප්‍රතිඵලයක් තිබෙනවා. ඉතින් සතුටුයි.
ඔබ සිදු කරන රූපලාවණ්‍ය ප්‍රතිකාර සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ බොහොම විවෘතව තොරතුරු බෙදාගන්නවා?
ඒ දේ තමන්ගේ කැමැත්ත මත තමයි පදනම් වෙන්නේ. ඉතින් තමන් කැමැති නම් තමන් කරන දේවල් ගැන සෝෂල් මීඩියා හරහා බෙදාගන්න පුළුවන්. සමහර අය ඒ දේට කැමැතියි සමහර අය කැමැති නෑ. ඉතින් ඒක එකිනෙකාගේ පෞද්ගලික මතය. මම නම් ඉතින් මොනවා හරි යමක් කළොත් ඒ දේ බෙදා ගන්නවා. මොකද ඒ දේ කවුරුහරි කෙනෙක් දැකලා අවශ්‍ය කෙනෙක් ප්‍රයෝජනයට ගත්තොත් ඒක මටත් හොඳයි. ඒ නිසා සාමාන්‍යයෙන් මගේ ජීවිතයේ දේවල් මම සඟවන කෙනෙක් නෙවෙයි. හැමදේම කියන කෙනෙක්. සමහර වෙලාවට ඒ දේට මට මගේ ළඟම අයගෙන් බැනුම් අහන්නත් වෙනවා.
වර්තමානයේ මුහුණේ හැඩය වෙනස් කර ගැනීම ආදී දේවල් පිළිබඳව සමාජයේ තිබෙන අදහස් විවේචනාත්මකයි. ඔබ මොකද හිතන්නේ?
තමන් දෙයකට කැමැති නම් කරන්න. බලාගෙන ඉන්න අය කොහොමත් කමෙන්ට්ස් දෙන්න හරිම ආශාවෙන් බලාගෙන ඉන්නේ. ඒ දේ හොඳ නරක කියන දෙපැත්තටම ලැබෙනවා. තමන්ට ලැබුණු ජීවිතය තමන්ට ඕනෑ විධියට හසුරුවනවා නම් හොඳයි. එහෙම කළොත් තමන් ජීවත් වෙනවා කියන හැඟීම තමන්ට දැනෙනවා.
රංගනයෙන් කලක් ඈත්ව සිටියද නැවත පැමිණීමේදී ඔබට එදා මෙන්ම අදත් නොඅඩුව ලැබෙන රසික ආදරය ලැබුණා?
ඔව්. මම මෙල්බර්න් ඉඳන් මාස අටහමාරකට පස්සේ තමයි ලංකාවට ආවේ. ඇත්තටම ප්‍රේක්ෂක ආදරය ඒ විධියටම තිබුණා සහ ඒ දේ මට වටිනා ආභරණයක්. ඒ ගැන නිහතමානී සතුටක් සහ ප්‍රේක්ෂකයන් ගැන ලොකු ආදරයක් තිබෙනවා. මොකද මම වැටෙන හැම තැනකදීම ශක්තියක් වෙන්න මම ළඟ ප්‍රේක්ෂක ජනතාව හිටියා.
ඕස්ට්‍රේලියාවේ ගෙවන ජීවිතය තුළ ඔබට ලැබුණු අත්දැකීම් කොහොමද?
හොඳයි. ලංකාවේ අය නම් ගොඩක් අඩුයි. මම හිටියේ මෙල්බර්න් නගරයේමයි. ඉතින් හස්බන්ඩ් එක්ක ගෙවුණු ජීවිතය සුන්දරයි.
ඔබේ කලා කටයුතුවලට සැමියාගෙන් ලැබෙන සහයෝගය කොහොමද?
ඔහු කලා කටයුතු කරන්න එපා කියලා කවදාවත් නීති දාලා නෑ. ඔහුගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා සහ ඒ සහයෝගය එක්ක තමයි මේ කලා කටයුතු දිගටම මට කරගෙන යන්න පුළුවන් වුණේ.
ඉදිරියේදී නැවතත් ටෙලි නිර්මාණ හරහා ඔබව දකින්න ලැබේවිද?
ඔව්. මම ලංකාවට ආවාට පස්සේ ටෙලි නාට්‍යය කිහිපයක වැඩ කටයුතු පටන් අරගෙන තිබෙනවා. ඉදිරියට දැකගන්න පුළුවන් වෙයි.
සමාජ මාධ්‍යය කියන්නේ කෙනකුට ජනප්‍රියත්වය රඳවා ගැනීමට හොඳ අවකාශයක්. ඔබේ අදහස?
ඇත්තටම මට යූ ටියුබ් චැනල් එකක් තිබෙනවා. ඒ යූ ටියුබ් චැනල් එකේ මම දවසින් දවස මම කරන දේවල්, මගේ ජීවිතයේ වැදගත් දේවල් මට පුළුවන් විධියට හැම දෙයක්ම ශෙයාර් කරගන්නවා. ඒ තුළින් මම කාලයක් ක්ෂේත්‍රයේ හිටියේ නැති වුණත් වෙන රටක මම ජීවත් වුණත් මම එහි ඉඳන් මොනවද කරන්නේ කියලා මගේ ආදරණීය ප්‍රේක්ෂකයෝ දන්නවා.
ඇත්තටම ඉතින් සෝෂල් මීඩියා කියන්නේ ඕනෑම කෙනෙක් හරි විධියට භාවිත කළොත් හොඳ ෆ්ලැට්ෆෝම් එකක්.
ඔබ පසු කලෙක ඕස්ට්‍රේලියාවේ පදිංචියටම යනවාද?
ඕස්ට්‍රේලියාවේ පදිංචියටම යන්නෙ නෑ. මොකද මම ලංකාවේ කලා වැඩ කටයුතු දැන් කරගෙන යනවා. නිවාඩුවට ඕස්ට්‍රේලියාවට ගිහින් හස්බන්ඩ් බලලා එනවා. විවාහ වන විටත් මම ඔහුට කියලා තිබුණේ මම පදිංචියටම එන්නේ නෑ කියලා. නමුත් ඇවිත් බලලා යනවා කියලා. දැනට අපි අතර ඒ ගැන කිසි ප්‍රශ්නයක් නෑ. අපි දෙන්නම ඒ ගැන කතාබහ කරගෙන වැඩ කටයුතු කරගෙන යනවා. බලමු ඉතින් ඉදිරියට මොකද වෙන්නෙ කියලා.
ඔබේ ඉදිරි වැඩ කටයුතු ගැන මතක් කළොත්?
ඉදිරියට අලුත් ටෙලි නාට්‍යය කිහිපයක වැඩකටයුතු පටන් අරගෙන තිබෙනවා. ඒ වගේම ලංකාවට පැමිණි ගමන්ම මියුසික් වීඩියෝ කිහිපයකටම රංගනයෙන් දායක වුණා. ඒ වැඩ කටයුතු ටිකත් ඉදිරියට බලන්න පුළුවන්. ඒ වැඩ කටයුතු තමයි ඉතින් තිබෙන්නේ. කලා වැඩ කටයුතු රැසක් ඉදිරියට බලාගන්න පුළුවන් වෙයි.
රුවිනි අමරකෝන්