ඇඟ හදාගන්න වෙලාවක් නැහැ – දිල්රුෆා ෂනාස්

 



මොඩ්ලින් ගැන කතාකරනකොට දිල්රුෆා ෂනාස් ගැන කතානොකරම බැහැ. රජයේ රැකියාවක් අතහැරල තෝරාගත් තමන් ආසමකරන නිරූපණ ක්‍ෂේත්‍රයට අද වනවිට ඇය සමුදීලා. තමන්ගේ ව්‍යාපාර කටයුතු කරගෙන යන අතරතුර සිනමාවටත් සම්බන්ධවෙලා ඉන්න දිල්රුෆා මේ දිනවල තිරගතවන ‘69’ සිනමා නිර්මාණය තුළින් රිදී තිරයේ දැකගන්න පුළුවන්.


ඔබ රංගනයෙන් දායක වන ‘69’ තිරගත වෙනවා?


ඔව්, 69 කියන්නෙ මම දෙවැනි වරට රඟපෑ සිනමා නිර්මාණය. මෙහි මට ලැබුණෙ වෙනස්ම චරිතයක්. චිත්‍රපට ක්‍ෂේත්‍රයට මම ආධුනිකයි. ඒ වගේම රංගනය ගැන මට ලොකු අත්දැකීම් නැහැ. මොකද මගේ විෂය වුණේ මොඩ්ලින්.


ඔබේ චරිතය ගැන කතා කළොත්?


කොල්ලෙක් කෙල්ලෙක් ආදරය කරන එක සාමාන්‍ය දෙයක්නෙ. නමුත් මම මෙතනදි ආදරය කරන්නෙ මට වඩා වයසින් ගොඩක් වැඩිමහලු කෙනක-ුට. ඉතිං මට පුළුවන් විදිහට චරිතය වෙනුවෙන් මගේ දායකත්වය ලබා දුන්නා.


ඇඟ හදාගන්න වෙලාවක් නැහැ… - දිල්රුෆා ෂනාස්

මේ ආරාධනය ලැබුණෙ කොහොමද?


මේ නිර්මාණය වෙනුවෙන් මට කතා කළේ දිනේෂ්, උදාර පල්ලියගුරුගෙ වැඩක් තියෙනව කියල. ඇත්තටම වින්ද්‍යා සහ අනෙකුත් ශිල්පීන් එක්ක මට වැඩකරන්න ගොඩක් පහසු වුණා. ඔවුන් එක්ක මම තවත් වැඩක් කළා. ඒකත් ඉදිරියේදී දැකබලාගන්න පුළුවන්වෙයි.


මේ චරිතය ගැන දෙපාරක් හිතුවද?


චරිතයක් කරද්දි බය වෙන්න ඕන කියන තැන මම නැහැ. රඟපාන්න පුළුවන් දේ වගේම බැරි දේවලුත් තියෙනව. නමුත් මම කරන්නෙ චරිතයක්නෙ.


ප්‍රවීණ රංගන ශිල්පී ක්ලීටස් මෙන්ඩිස්ගෙන් ලැබුණ සහයෝගය මොන වගේද?


ඔහු බොහොම ප්‍රවීණ රංගන ශිල්පියෙක්. අත්දැකීම් බහුල කෙනෙක්. එහෙම කෙනෙක් එක්ක රඟපාන එක මට ගොඩක් ලෙහෙසි වුණා වගේම මම නොදන්න ගොඩක් දේවල් ඉගෙනගන්නත් අවස්ථාව ලැබුණා. ඔහු බොහොම මිත්‍රශීලී කෙනෙක්. ඒ නිසා අපහසුවක් නැතිව මට මගේ චරිතය කරන්න පුළුවන් වුණා.


නිරූපණයෙන් ඈත් වෙලාද?


මම නිරූපණයට එන්නෙ 2010 අවුරුද්දෙ. ඒ කාලෙ මම ගොඩක් කෙට්ටු කෙනෙක්. දැන් මගේ ශරීරයත් ටිකක් වෙනස් වෙලා. ඒකත් එක්ක මට හිතෙනව මම දැන් රෑම්ප් මොඩ්ලින්වලට සුදුසු නැහැ කියල. ඒකට ගැළපෙන අය ඒ ෆීල්ඩ් එකේ ඉන්නවට මම කැමතියි. මේ කාරණා නිසා මම හිතනව මම දැන් එතැනින් සමුගන්න ඕන කියල. කොහොම වුණත් මම කැමතිම ක්‍ෂේත්‍රය තමයි මොඩ්ලින් කියන්නෙ.


ඔබේ සිරුර දැන් නිරූපණයට සුදුසු නැහැ?


රෑම්ප් මොඩ්ලින් කෙනෙක් අනිවාර්යයෙන්ම සිරුර මේන්ටේන් කරන්න ඕන. ඒ වගේම සිහින් සිරුරක් අවශ්‍යයි. ව්‍යාපාර වැඩ, ගෙදර වැඩ වගේ දේවල් එක්ක ජිම් එකකට ගිහින් ඇඟ හදාගන්න මට දැන් කාලයක් නැහැ.


ටෙලි නාට්‍යයකට ආරාධනා ලැබුණොත්?


ටෙලි නාට්‍යයට මම ඒ තරම් කැමති නැහැ. මොකද ඒකට යන කාලය වැඩි නිසා. චිත්‍රපටවලටනම් එහෙම ගැටලුවක් නැහැ.


ඉදිරියේදී චිත්‍රපටවලින් පමණක් දැකගන්න ලැබෙයි?


ඔව්,


බොහෝදුරට චිත්‍රපටවලින් පමණක් දැකගන්න ලැබෙයි.


ඔබේ වෘත්තිය?


මේ දවස්වල මම වැඩිපුරම යොමුවෙලා ඉන්නෙ ව්‍යාපාර පැත්තට. පළමු තැන දීල තියෙන්නෙ ඒකට. ඊට අමතරව රංගන කටයුතු කරගෙන යනව.


නිරූපණයෙන් ඈත්වීම ගැන පසුතැවීමක් තියෙනවද?


ඇත්තටම පසුතැවීමක් නැහැ. මොකද මම මගේ ටාගට්ස්වලට ගිහින් තියෙනව. පැජන්ට්, රෑම්ප් මොඩල්, ටීවී ප්‍රසන්ටර් කෙනෙක්, වෙළෙඳ දැන්වීම් වගේ මේ හැම දේකම උපරිම දේ මම කරල තියෙනව. ඒ කාලෙත් චිත්‍රපටවලට ආරාධනා ලැබුණා. නමුත් සම්බන්ධ වෙන්න පුළුවන්කමක් තිබුණෙ නැහැ. එහෙම පුළුවන් වුණානම් මේ වන විට සිනමා ක්‍ෂේත්‍රය වෙනුවෙන් ලොකු දෙයක් කරන්න තිබුණා.


දිල්රුෆා ගුරුවරියක්?


ඔව්, මම ගුරුවරියක් විදිහට වගේම කොළඹ උසාවියෙත් වැඩකළා. ඒ හැමදේම අතහැරල මම කැමති වුණේ මෙතැන නවතින්න.


රැකියාවෙන් ඉවත්වීම මොන විදිහටද දැනුණෙ?


රැජයේ රැකියාවකින් ඉවත්වීම ගැන අපේ ගෙදර අයනම් දුක් වුණා. නමුත් මට ඒ ගැන පසුතැවීමක් නැහැ.


ජනප්‍රියත්වය දකින්නෙ මොන විදිහටද?


ජනප්‍රියත්වය කියන්නෙ හැමදාම මනුස්සයෙකුට රඳවා තියාගන්න අමාරු දෙයක්. අපි කරනකියන දේවල් එක්ක ජනප්‍රිය වෙන්න පුළුවන් වගේම සමහර වෙලාවට ඒ ජනප්‍රියත්වය නිසාම අපහාස, චෝදනා ලැබෙන්න තියෙන ඉඩකඩත් වැඩියි. අපිට ආදරය කරන රසිකයො ඉන්නතුරු පමණයි මේ ක්‍ෂේත්‍රයේ රැඳෙන්න පුළුවන්.


නිරූපණ ක්‍ෂේත්‍රයේ වර්තමානය ගැන කතා කළොත්?


අද වන විට නිරූපණය ගැන ඉගෙනගෙන තැනකට එන්න ගොඩක් ළමයින්ට අවස්ථාව තියෙනව. උදාහරණ වශයෙන් ගත්තොත් මොඩ්ලින් ගැන උගන්වන පාඨමාලා තියෙනව, මවුපියන්ට වුණත් මේ ගැන තේරුමක් තියෙනව, නමක් හදාගන්න පැජන්ට්ස් ලංකාවේ තියෙනව. නමුත් රැඳෙනව කියන දේ තියෙන්නෙ ඔවුන් අතේමයි. හරියට තේරුම් අරගෙන වැඩ කළොත් දිගු ගමනක් යන්න පුළුවන්. විශේෂයෙන්ම කියන්න ඕන ලංකාවේ නිරූපණ ක්‍ෂේත්‍රය තව දියුණු වෙන්න ඕන වගේම ඒ තුළ සහයෝගයක් නැති බවක් මම දකිනව. පිටරටවල එක්කෙනාට එක්කෙනා සහයෝගයෙන් කටයුතු කරනව. ලංකාවේ එහෙම දෙයක් නැහැ. විවේචන වැඩියි. ලස්සන ළමයෙක් තේරුණොත් එහි හොඳ පැත්ත නෙමෙයි දකින්නෙ. දහයක් කරල එකක් වැරදුනොත් ඒක ගැන කතාකරනව. එහෙම වෙන්න හොඳ නැහැ. ලංකාවේ ස්කින් කලර් එකට, ලංකාවේ ළමයින්ට ජයග්‍රහණ රැසක් ලැබිල තියෙනව. මේ දේවල් එක්ක අපේ රටේ ළමයින්ට ලොකු දෙයක් කරන්න පුළුවන්.


දිල්රුෆාගේ විලාසිතා සීමාව?


විලාසිතා ගැන කතාකරනකොට එකඑක්කෙනා දකින විදිහ අනුව සහ එකඑක්කෙනාගේ කැමැත්ත අනුව වෙනස් වෙනව. අවශ්‍ය දේ තෝරාගෙන කරන්න මිනිස්සුන්ට නිදහස තියෙනව. නමුත් සුදුසු තැන ගැන අවබෝධයක් තියෙනවනම් ඕනෑම වෙලාවක ලස්සන විලාසිතා කරන්න පුළුවන්.


මහේෂ් එදිරිසිංහ



Previous Post Next Post