සතියේ දවස්වලට රෑ අටහමාරට ස්වාධීන රූපවාහිනියේ විකාශය වෙන ‘පාරාදීසය’ ටෙලියේ පාරමීගේ කැරැක්ටර් එකට හැමෝම වාගේ ආදරය කරනවා.
පාරමී අහිංසකයි ඒ වගේම ඈ සරල සුන්දර චරිතයක්. පාරමීට රඟපාන රොෂෙලුත් එහෙමයි. ඇත්තම ජීවිතය තුළත් එයා අහිංසක චරිතයක්. මේ ලියන්න යන්නේ ඒ රොෂෙල් ගැන පුංචි පුංචි රසවත් විස්තර ටිකක්. විස්තර කිව්වට නියම භාෂාවෙන් කියනවා නම් ඕපාදූප ටිකක්. Sri Lanka Latest News
රොෂෙල්ගේ සම්පූර්ණ නම නම් ඉතින් කවුරුත් දන්නවා. මොකද එයාගේ ව්ලොග් බලන කවුරුත් එයා ගැන අටුවා ටීකා සේරම දන්නවා. ඒත් ඉතින් මේ කතන්දරයටත් ඒ ටික සටහන් වුණාට අවුලක් නැහැනේ. ඒ හින්දා කියන්නම්, රොෂෙල්ගේ සම්පූර්ණ නම නෙත්මි ඉෂේකා රොෂෙල් රොජර්ස්. ඉස්කෝලේ යනකොට කවුරුත් ඇයව ඇමතුවේ නෙත්මි කියලා. ටෙලිවලට ආවට පස්සේ නෙත්මි කියන නම අමතකව යන තරමට ටෙලි කලාවේ කවුරුත් ඇයට රොෂෙල් කියන්න ගත්තා. ඇයට මනාප රසික රසිකාවියොත් ඇය ගැන කතා කරන්නෙත් ඇයව අමතන්නෙත් රොෂෙල් කියලයි. නෙත්මි – රොෂෙල් නම් දෙක ඒ විදියට හුවමාරු වෙනකොට ‘ඉෂේකා’ කියන නමත් එක්ක වාසගමත් යටපත් වුණා. දැන් එයා නෙත්මි රොෂෙල්. එහෙමත් නැත්නම් රොෂෙල්. ඒ හින්දා අපිත් මේ බෝනික්කියක් වාගේ ලස්සන නිළියට රොෂෙල් කියමු.
රොෂෙල් පුංචි දරුවන්ට හුඟක් ආදරය කරන කෙනෙක්. බොහෝ විට ඈ ඇගේ උපන් දිනේ සමරන්නෙත් ළමා නිවාසවල ඉන්න අහිංසක පොඩි දරුවොත් එක්කයි. ලෝක ළමා දිනයටත් එහෙමයි. දඟ වයසෙ පුංචි දරුවොත් එක්ක එකට ඉඳගෙන එයත් ළමා වයසට ගිහින් ළමා දිනය සමරනවාලු.
ටෙලිවල රඟපෑවට ෆිල්ම් එකක රඟපාන්න රොෂෙල්ගේ හිතේ තද ඇල්මක් තිබුණාය කියලයි කියන්නේ. කම්බිලි ෆිල්ම් එකේ සමාධිගේ චරිතය ඇගේ ජීවිතයේ ලොකු හීනයක් හැබෑ වීමක් කියලා නිතරම ඈ කියන කතාවක්. ඒ වගේම කම්බිලි එකේ සමාධිට හිතුවට වැඩිය ප්‍රතිචාර ලැබුණලු. කම්බිලි එක තිරගත වෙන්න ගත්ත දා ඉඳන්ම මග තොටදී කිහිප වතාවක්ම.
‘කම්බිලි’ ෆිල්ම් එකේ සමාධි නේද?’ කියලා රසික රසිකාවියෝ ඇගේ ළඟට ඇවිදින් අහනකොට ඇයට දැනුණ සතුටට අහිංසක ආඩම්බරයට ඉමක් කොනක් තිබුණෙ නැති තරම්ලු.
රොෂෙල්ට පෙම්වතක් ඉන්නවද?
හැමෝම ඇගෙන් අහන ප්‍රශ්නයක්ලු ඒක.
‘ආදරය කියන සිතුවිල්ලට හැඟීමට මම ගොඩක් ආදරෙයි. ඒ වගේම ආදරය කියන එක මට හැමෝගෙන්ම ලැබෙනවා. ප්‍රේක්ෂකයන්ගේ ආදරය ඒ අතර සුවිශේෂයි. ඔය හැම ආදරයකටම මැදිවෙලා ඉන්න මම තවමත් පෙම්වතකුගේ විශේෂ ආදරයකට මැදිවෙන්න හිතලා නැහැ. ඒකට සූදානමකුත් තවම මගේ හිතේ නැහැ. ඒක හොඳට හිතලා බලලා ගන්න ඕනේ තීරණයක්. ඒ නිසා කාලයට ඉඩ දීලා බලන් ඉමු.
ලස්සනට හිනාවෙලා රොෂෙල් එහෙම කියන්නේ හරිම නිහතමානීවලු. දඟකාර සැහැල්ලු චරිත රඟපෑවට රොෂෙල් කියන්නේ බොහෝ විට ටිකක් සීරියස්වත් හිතන කෙනෙක්. ඈ කියන්නේ ගැහැනු ළමයෙක් වුණාම හැම දේටම කලින් ආර්ථික අතින් ශක්තිමත් වෙන්න ඕනලු. තමන්ගෙම කියලා අනන්‍යතාවක් ගොඩනගාගන්න ඕනලු. ඒ වගේම තීරණයක් ගන්න කලින් එක පාරක් නෙවෙයි දෙතුන් වතාවක් හිතන්න ඕනලු. යම් තීරණයක් අරගෙන පසුතැවෙනවට වඩා ඒක හොඳයිලු.
‘කොහොමද ඒක…?’
හුරතලේ දඟ මල්ලක් තාලෙට ඉන්න මේ ලස්සන නිළි තාරකාව ඒ තරම් සීරියස් විදියට හිතනවා කියලා කාටද කියන්න පුළුවන්.
මල්මි කෞෂල්‍යා