මට අහිමි වුණ බැඳීම කවදාවත් මට අමතක කරන්න බැහැ-කේ. සුජීවා

 


කේ. සුජීවා කියන්නේ මීට මාස ගණනකට පෙර ලංකාවේ කතාබහට ලක්වූ මාතෘකාවක්... ගායිකාවක් ලෙස දැන හැඳිනගෙන උන් සුජීවා අතිශයින්ම කතා බහට ලක්වන මාතෘකාවක් බවට පත්වන්නේ ක්ලබ් වසන්තගේ සිදුවීමත් සමග. අනපේක්ෂිත මොහොතක අනපේක්ෂිත ඉරණමකට මුහුණ දෙන සුජීවා ගැන කිසිම තොරතුරක් මාධ්‍යයට වාර්තා වුණේ නැහැ. නමුත් අද සුජීවා සෑහෙන කලකට පසු පුවත්පතක් සමග එකතු වෙනවා.




සුජීවා මීට සත්මසකට පෙර ඔබ මුහුණදුන් ඒ අඳුරු සිදුවීම දිහා ඔබට හැරී බලන්න පුළුවන්ද?




අපි ජීවිතයේදි සිහින දකිනවා. හැබැයි අපි කතාකරන්න කැමති යළි සිහිපත් කරන්න කැමති අපි දැක්ක ලස්සන හීන විතරයි. නපුරු හීන ගැන මතක් කරන්න කවුරුත් කැමති නැහැ. මට ඒ සිදුවීම ඒක නපුරු හීනයක්. ඒ ගැන ආයෙත් කතා නොකර ඉන්න මම කැමතියි. හිත රිදවන දෙයක් ආයෙ ආයෙත් මතක් කර කර ඒ ගැන කතා කර කර හිත රිදවා ගන්න පුරුද්දක් මට නෑ. දෙයක් වුණාම හඬා වැටෙනවා තැවෙනවා දැවෙනවා තමයි. පස්සෙ ඒ සිදුවීමෙන් ඉවත් වෙනවා. මොකද එවැනි දේවල් එක්ක පැටලි පැටලි ඉන්න මට බැහැ. ගැහැනු දරුවො දෙන්නෙක්ගෙ අම්ම කෙනෙක් විදිහට මට ඒ දරුවන්ගෙ වගකීම තියෙනවා. මම පොඩ්ඩක් හරි පස්සට ගියොත් ඒක මගේ දරුවන්ට බලපානව. මේ සිදුවීමත් එවැනි අවස්ථාවක්. මම මගේ දරුවන්ගෙ ශක්තිය දැක්කා. මම වැටෙත්දි දරුවො දෙන්නා මාත් එකක් වැටුණෙ නැහැ. මාවත් අල්ලගෙන ඒ දෙන්නා මම නොහිතපු තරම් ශක්තියකින් නැගී සිටියා.




දැන් ඔබේ සෞඛ්‍ය තත්ත්වය කොහොමද?




ගිය මාසෙ 29 වෙනිදා මේ සිදුවීමෙන් පසු මගේ කකුලට කරපු පස්වෙනි සැත්කමත් සිදුකරනු ලැබුවා. මේ වෙත්දි මගේ තුවාල සුවයි. සෑම තත්ත්වයක්ම හොඳ අතට හැරිලා. නමුත් මෙම අනතුරෙන් බලවත් ලෙස හානිවුණේ මගේ කලව ප්‍රදේශයේ අස්ථියට. කෑලි විසිගාණකට විතර ඒ අස්ථිය කැඩිලා බිඳිලා තිබුණා. අවසන් ශල්‍ය කර්මය කළේ එම අස්ථියට. කකුලට ප්ලේට් එකක් දැමීම. මේ ශල්‍ය කර්මයෙන් සති හතරකට පසු ක්‍රමක්‍රමයෙන් මාව ඇවිද්දවන්න මට ප්‍රතිකාර කරන වෛද්‍යවරු බලාපොරොත්තු වෙනව.




කේ. සුජීවා නැවතත් ප්‍රසංග වේදිකාවක දකින්නට තවත් බොහෝ කල් යාවිද?




යළිත් මාව පෙර සිටි තත්ත්වයට ගේන්න මගේ වෛද්‍යවරු දැඩිලෙස වෙහෙසෙනවා. මම හිතනව මේ අප්‍රි​ෙයල් මාසය වෙද්දි මට මගේ රසිකයන් අතරට යන්න ලැබෙයි. මිනිස්සු මට ආදරය කළේ මිනිස්සු මා ගැන හෙව්වෙ මට බැන්නෙ මට ඉක්මන් සුව පැතුවෙ ඒ හැම දෙයක්ම වුණේ මගේ ගායනය නිසානෙ. ඉතින් කේ. සුජීවා කියන ගායිකාව නැවත රසිකයන් අතරට එනව.








නිහඬව ගෙවුණ කාල වකවානුවේ අලුත් නිර්මාණයක් ගැන හිතන්න හිතට ඉඩක් තිබුණාද?




පහුගිය අවුරුද්දෙ කරන්න සැලසුම් කළ කවර් සෝන් එකක් ලබන සතියෙ විතර එළිදක්වන්න සියල්ල සූදානම්. ඒ අතර ජනප්‍රිය ගිත රචක කැළුම් ශ්‍රීමාල් අයිය ලවා මම අලුත්ම ගීතයක් ලියව ගත්තා. මීට පෙර ඔහු ලියූ ගීත දෙකක්ම මා අත තිබෙනවා. නමුත් මේ නිහඬියාව බිඳදමන්න මම අලුත්ම ගීතයක් නිර්මාණය කරව ගත්තා. ඒ ගීතයේ වැඩත් මාර්තු මාසෙ විතර වෙද්දි අවසන් කරන්න අපි සැලසුම් කරගෙන ඉන්නව. නමුත් මම හැමදාම කියනව වගේ අද අපි දේවල් සැලසුම් කළාට හෙට දවසේ මොනව වෙයිද කියල අපි දන්නෙ නැහැ.




නිහැඬියාව බිඳින්න අලුතින්ම හදන ගීතය ප්‍රේමය විරහව ගැන කියන එකක්ද?




ඇත්තටම මම ගයපු ඉඟිමරන තරු රෑන, අරවින්ද යාය වැනි ගීත වේග රිද්ම ගීත වූවාට ඒ සෑම ගීතයකම තිබුණෙ ප්‍රේමයේ විරහව. මෙයත් විරහ ගීතයක්. ප්‍රේමයේ වියෝගය ගැන තමා මේ ගීතයෙනුත් කතා කරන්නේ.








සුජීවා පෞද්ගලික ජීවිතයට මේ අනතුර කොතරම් බලපාල තියෙනවද?




කේ. සුජීවා කියන කෙනා ගත්තම ඇය හොඳ දියණියක් බිරිඳක් පෙම්වතියක් නොවන්න පුළුවන්. ඒත් එයා හොඳ අම්ම කෙනෙක්. මම මගේ පෞද්ගලික දිවියේ සාර්ථකම චරිතය අම්මා. මම මගේ දරුවො දෙන්න හැදුවෙ මගේ දෙපැත්තෙ තියාගෙන. එයාලගෙ හැම වැඩක්ම කරල දුන්නෙ මම. එයාල හැම දෙයක්ම කළේ තීරණ ගත්තෙ මගෙන් අහල. ඒ දරුවන්ට හදිසියේ මේ වගේ දෙයක් සිදුවුණාම ගොඩක් අමාරු වෙන්න ඇති. නමුත් ඔවුන් බොහොම ශක්තිමත්ව එයට මුහුණ දුන්නා. මම රෝහලේ මාස දෙකක් නේවාසිකව ප්‍රතිකාර ගත්තා. ඒ මුළු කාලයේම මගේ පොඩි දුව රෝස් මගේ ළඟ හිටියා. කිසිම අවස්ථාවක මගේ දරුවො දන්නා මාව බලාගන්න සාත්තු සේවිකාවො යෙදෙව්වෙ නැහැ. ඇවිදන්න බැරිව හිටි මගේ ඇඳ ළඟට මගේ සියලු දේ සැපයුව. මගේ මලමුත්‍ර පවා ඉවත් කළේ මගේ දරුවො දෙන්නා. අංජලී කවදාවත් තනියම කෑම වේලක් හදල තිබුණෙ නැහැ. ඒත් මේ සිදුවීමෙන් පස්සෙ අංජලී තුන්වේලටම කෑම උයාගෙන ආවා. කවදාවක් කඩෙන් කෑම ගෙනත් මට කන්න දුන්නෙ නැහැ. මගේ අමම්යි තාත්තයි ගොඩක් වියපත්, ඒ දෙන්න මඩකලපුවේ ඉන්නෙ. ඒ දෙන්නගෙ දුක සැප හොයලා බැලුවෙත් මගේ කෙල්ලො දෙන්නා. මාව ගෙදර ගෙනාවට පස්සෙ එයාල මාව තිබ්බෙ අපේ ගෙදර තුන්වෙනි තට්ටුවෙ. ගෙදර සුරතල් බල්ලො පූසෝ ගොඩක් ඉන්න නිසා මට මේ තත්ත්වයේදි විෂබීජ යයි කියන බයට හැම දෙයක්ම එයාල මගේ ළඟට ගෙනාව. හැබැයි මට අත්වාරුවෙන් ඇවිදින්න පුළුවන් වුණාට පස්සෙ මම එකතැන ඉඳන් වැඩ කරන්න පටන් ගත්තා. මොකද දරුවො මා වෙනුවෙන් මේ තරම් වෙහෙසෙනව දකින්න මම කැමති වුණේ නැහැ.




අංජලීගේ පෙම්වතාත් මේ අවස්ථාවේ ඔබට ශක්තියක් වන්නට ඇති ?




මේ ප්‍රශ්නෙදි මගේ දරුවො දෙන්න වගේම දිනිත පුතාත් මගේ කුසින් බිහිකළ දරුවෙක් වගේ අම්ම කියල මාව බලාගත්තා. දිනිත පුතත් මගේ අම්මේ කියලා මට ආදරෙන් කතා කරනවා. අද වෙද්දි අපේ ආයතනවල වැඩ කරන දරුවොත් මට කතා කරන්නෙ අම්ම කියල. මේ ලෝකෙ කාන්තාවකට ලබන්න පුළුවන් උතුම්ම හැඳින්වීම අම්මා. මම මේ හැම දරුවෙක්ටම අම්ම කෙනෙක් වෙන්න උත්සාහ කරනව.








අංජලීගේ විවාහයත් මේ වෙද්දි තීරණය කරලද තියෙන්නෙ?




ඔව්. දිනිත පුතයි අංජලියි මේ අවුරුද්දෙ විවාහ වෙයි. ඒ දෙන්නා ඒ ගැන සැලසුමක ඉන්නෙ.




ඔබේ දියණියන් දෙදෙනා මේ වෙද්දි ව්‍යාපාර ක්ෂේත්‍රයට ඇතුල් වෙලා නේද?




මගේ චූටි දුව රෝස් ව්‍යාපාර කළමනාකරණ උපාධියක් කරනව. රෝස් මගේ ළඟින්මයි ඉන්න කැමති. මම ගෙදර එයාට වැඩ කරගන්න පුංචි රෙකෝඩින් ස්ටුඩියෝ එකක් හදල දීලා තියෙනව. එයා දැනටමත් ව්‍යාපාරයක් කරගෙන යනව. රෝස්ට තවම අවුරුදු 18 සම්පූර්ණ නැහැ. එයාට අවුරුදු 18ක් වුණාට පස්සෙ ඒ ගැන කියන්නම්. අංජලීත් මේ ළඟඳි ව්‍යාපාරයක් පටන් ගත්තා. දිනිත පුතා වාහන අළුත්වැඩියා කිරීමේ ආයතනයක් පවත්වගෙන යනව. රෝස් සහ අංජලී සංගීත ක්ෂේත්‍රයේ දිගු ගමනක් යයි. ඒ දෙන්නා කැමති අම්මා ගිය පාරෙම යන්න තමයි.




ඔබ කරගෙන ගිය ව්‍යාපාරය අතරමග නතර වෙලාද?




මම රෝහලේ ගත කළ කාලේ නම් ඒ කිසි දෙයක් වුණේ නැහැ. මට වුණ අනතුරේ බරපතළ බව නිසා රෝහලේදි මාව අඩ නිද්‍රාගත කරල තිබුණෙ. පියවි සිහි තත්ත්වයෙන් හිටියෙ නැහැ. නමුත් ගෙදර ආවට පස්සෙ මම මගේ රූපලාවණ්‍ය නිෂ්පාදනය කිරීමේ වැඩ පටන් ගත්තා.




මේ සිදුවීම සමග රටේ ලොකු කතාබහක් ඇතිවුණා කියල ඔබ දැනගෙන උන්නද?




මම මේ සිද්ධිය වෙලා මාස හතරක් විතර යනකම් මගේ ෆෝන් එක මගේ ළඟ තිබ්බෙ නැහැ. ඒ දෙවල්වලින් මාව අයින් කරල තිබ්බා වෙන්න ඇති. ඇඳේ ඉඳන් රූපවාහිනිය බලන්න විතරයි මට අවසර ලැබුණේ.




හදිසියේ ඔබට අහිමිවුණ බැඳීම ගැන ඇති හැඟීම කුමක්ද




අපේ ජීවිතයට දේවල් ලැබෙනව අහිමි වෙනව. ඒ අහිමි වුණ දේවල් අතර අපි යළිත් සිහිපත් කරන්න අකමැති දේවල් තියෙනව. අපේ හිත්වලින් කවදාවත් මකා දමන්න බැරි දේවල් තියෙන මට අහිමි වුණ බැඳීමත් මගේ ජීවිතයෙන් කවදාවත් මකා දමන්න බැරි මට ලැබුණ වටිනාම බැඳීමක්. නමුත් ඒ සම්බන්ධව එදත් මම ප්‍රසිද්ධියෙ කතා කරන්න කැමති වුණේ නැහැ. අදත් මම ඒ ගැන ප්‍රසිද්ධියේ කතා කරන්න කැමති නැහැ. නමුත් ඒ ගැන මතකය මට කවදාවත් අමතක කර දමන්නත් බැහැ.




මේ බිහිසුණු අත්දැකීම ඔබ හා බෙදාගත් හිතවතුන් උන්නද?




අදටත් වෛද්‍යවරු මට බල කරනවා ඉක්මනට නැගිටින්න ඕන කියලා. මම ව්‍යායාම් කරන්න බැහැ කියන කොට ඔවුන් කියන්නේ ඔයාට වේදිකාවේ සිංදු කියන්න ඕනේ නම් මේ දේවල් කරන්න කියලා. ඒ වෛද්‍යවරු මගේ මානසිකත්වය හදන්නත් උපරිම මහන්සි වෙයි. වෛද්‍ය නන්ද කේ. අමරසිංහ, වෛද්‍ය මනෙල් ප්‍රනාන්දු සහ වෛද්‍ය ඩිනාල් ව ආදරයෙන් සිහිපත් කරනවා. මම ගොඩක් අය ඇසුරු කරන්නේ නැහැ. මීගමුවෙ ඉන්න මගේ චූටි දූවගෙ මිතුරිය හා ඇගේ අම්මා අසුන්කා අක්කාව ආදරයෙන් මතක් කරනවා. විදුරංග හා ගයනිවත් ආදරයෙන් මතක් කරනවා. මේ අය තමා මම වෙනුවෙන් උන්නේ.



Previous Post Next Post