අයිස්ක්‍රීම් මගේ පළමු පිටපත – කලණ ගුණසේකර

 


නව පරපුරේ දක්‍ෂ රංගන ශිල්පියෙක් වන කලණ ගුණසේකරගෙ කුළුඳුල් සිනමා පිටපත් රචනය, ‘අයිස්ක්‍රීම්’ හරහා මේ දිනවල ඔබට දැකගන්නට පුළුවන්. ඒ වෙනුවෙන් මීවිත අපි කලණ එක්ක පුංචි කතාබහක යෙදුණා.

අයිස්ක්‍රීම් මගේ පළමු පිටපත - කලණ ගුණසේකර

කලණ, ‘අයිස්ක්‍රීම්’ පිටපත ලියන්න මගපෑදුනේ කොහොමද?


මම දැනට පිටපත් අටක් විතර ලියල තියෙනව. වැඩත් ගොඩක් කරල තියෙනව. ඒ අතරින් මේක තමයි පළවෙනි පිටපත. දවසක් ප්‍රදීප් ධර්මදාස මට කතාකරල කියනව, මට ෆිල්ම් එකක් කරන්න අදහසක් තියෙනව, ඒක දුවන එකක් වෙන්න ඕන, පිටපත ඔයා ලියන්න කියල. ඉන් පස්සෙ අපි කතාබහ කරල මාස දෙකතුනක් තිස්සෙ අවශ්‍ය කරුණු එක්රැස් කරගෙන පිටපත ලියනව. ඒක තමයි අයිස්ක්‍රීම් නමින් එළියට එන්නෙ. මේ පිටපතෙන් පස්සෙ තමයි මම අනෙක් ඒවා ලියන්නෙ.


මේ වගකීම භාරගන්න චකිතයක් ඇතිවුණේ නැද්ද?


මේ ගැන ෆිල්ම් කෝපරේෂන් එකේදි, පූනෙයි ඉන්දියා ඉන්ස්ටිටියුට් එකේදි අපේ සෙට් එක එක්ක කතා කරකර හිටියෙ. මෝක්‍ෂා කරන කාලෙ මම පිටපතක් ලිව්වා. නමුත් එක නැති වුණා. එයින් පස්සෙ ලියන එක අතහැරල දාල හිටියෙ. බයක්, චකිතයක් හිතුනෙ නැහැ. මොකද හැම මොහොතකම අපි කරන වැඩේ ගැන තෘප්තිමත්ව කරන්නෙ. අපි ඒක තුළ විනෝදයෙන් ඉන්නව. ඒ වගේම අපිට හොඳ කණ්ඩායමක් හිටියා.


අයිස්ක්‍රීම් මගේ පළමු පිටපත - කලණ ගුණසේකර

අනෙක් පිටපත් ගැන කතා කළොත්?


මමයි කෞෂල්‍ය මාධවපතිරණයි එකතුවෙලා ටික්ටොක් මූවි එක ලිව්වා, මමයි තරිඳු දේශප්‍රියයි මංකි මෑන් ලිව්වා, සූස්ති මූවි එක ලිව්වෙ මම. ඒ වගේ දැනට ලියපු තව ෆිල්ම්ස් හතරක් විතර තියෙනව. ඉදිරියේදී ඩිරෙක්ටර්ස්ල කිහිප දෙනෙක්ම එවා කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නව. නමුත් නිෂ්පාදකයන් නැතිකමින් නවත්තල තියෙනව.


මෙහි ප්‍රධාන චරිතයට හේමාල් යොදාගැනීමේ අදහසින්ද පිටපත ලියැවෙන්නෙ?


පිටපත ලියද්දි අපිට එහෙම අදහසක් තිබුණෙ නැහැ. කාස්ටින් කරනකොට ප්‍රදීප් ධර්මදාස ඇහුවා හේමාල් කොහොමද කියල. මමත් කිව්වා ඔහු මේකට ගැළපෙනව කියල. මොකද මේ නිර්මාණයට හොඳ එනර්ජි එකක් ඕන වගේම මේ පිටපතේ තියෙන කන්සෙප්ට් එකත් එක්ක ඒක කරන්න පුළුවන් හැකියාව සහ ජනප්‍රියත්වය ඔහුට තියෙනව.


ඔබ ලියපු පිටපත තිරයේ දිගහැරෙනකොට දැනුණ හැඟීම මොන වගේද?


මම රඟපාපු පළවෙනි නිර්මාණය බලද්දි නම් පොඩ්ඩක් වෙව්ලනව වගේ දැනුණා. මම ලියපු දේකින් මම තෘප්තිමත් වෙනව කියන දේ වෙනම එකක්. ප්‍රේක්‍ෂකයා සහ අධ්‍යක්‍ෂවරයා ඒකෙන් සතුටු වෙනව නම්, ඒක ප්‍රොෆිට් කරන්න පුළුවන් මට්ටමකටත් එනව නම් මම හිතන්නෙ රයිටර් කෙනෙක් විදිහට ඊට වඩා සතුටක් නැහැ.


ඔබ ලියන නිර්මාණයේ ඔබට චරිතයක් තිබුණෙ නැද්ද?


ප්‍රදීප්, කලා අපි මේක කරමුද කියල මට කතා කළේ චරිතයකටත් එක්කමයි. නමුත් මම කිව්වෙ මේක මම ලියන පළවෙනි ෆිල්ම් එක, රඟපාන්නත් ඇවිත් ඒ රිස්ක් එක මට ගන්න බැහැ, මේකෙ ලොකු වගකීමක් තියෙනව, දුවන්න ඕන ෆිල්ම් එකක් ඒ නිසා මට රඟපාන්න අවශ්‍ය නැහැ කියල.


ප්‍රදීප්ගෙ අධ්‍යක්‍ෂණය ඔබ කොහොමද දකින්නෙ?


ප්‍රදීප්ව අපි මුලින් දැක්කෙ ටෙලි නාට්‍යවලින්. ඒවා ගැනනම් කියන්න දෙයක් නැහැ. ඔහු දක්‍ෂ රංගන ශිල්පියෙක් සහ දක්‍ෂ අධ්‍යක්‍ෂවරයෙක්.


ඔබේ රංගන වැඩකටයුතු කොහොමද?


මිස්ටර් ප්‍රසිඩන්ට් වේදිකා නාට්‍යයත් එක්ක යුරෝපයේ ටුවර් එකක් යනව. ඒ වගේම ටෙලි නාට්‍ය කිහිපයකුත් භාරගත්ත නිසා ටිකක් වැඩ වැඩියි.


මිස්ටර් ප්‍රසිඩන්ට් ට ලැබෙන ප්‍රතිචාර කොහොමද?


ඇත්තෙන්ම ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනව. ලංකාවේ ෂෝස් දෙකයි කළේ. අනෙක් ඒවා ඕස්ටේ්‍රලියා, නිව්සීලන්ඩ් වගේ රටවල්වල පෙන්නුවේ. අපේ ලාංකිකයන්මයි බලන්නෙ. ඔවුන් ඉතාමත් සතුටුවෙනව.


රීකන්ඩිෂන් කෙල්ල ගැනත් පසුගිය කාලෙ සමාජයේ කතාබහට ලක්වුණා?


අනුර ඒකනායක අධ්‍යක්‍ෂණය කළ රිකන්ඩිෂන් කෙල්ල ටෙලි නාට්‍යයෙන් කතා කළේ ලව් සහ සෙක්ස් ගැන. එහි එන ඩොක්ටර් කුසල් චරිතය ආදරයක් නිසා ඇල්කොහොල්වලට ඇබ්බැහි වෙලා ජීවිතේ විනාශකරගන්න උත්සාහ කළ කෙනෙක්. ඒ චරිතයට ගොඩක් හොඳ ප්‍රතිචාර තියෙනව.


කලා, අධ්‍යක්‍ෂවරයාගේ භූමිකාවට පිවිසෙන්නෙ කවදද?


ඇත්තටම මට අධ්‍යක්‍ෂවරයෙක් වෙන්න ඕන කියල වුවමනාවක් නැහැ. වේදිකා නාට්‍යවල හොඳම අධ්‍යක්‍ෂවරයා වෙලා තියෙනව. කෙටි චිත්‍රපට කිහිපයක් කරලත් තියෙනව. නමුත් මට ආසාවක් ඇතිවුණොත් ඒකත් හදාරනව. මේ හැමදේම කරන්නෙ රංගන ශිල්පියා කියන විෂය පුළුල් කරගන්න.


කලාගෙ ඊළඟ අරමුණ?


විශේෂ අරමුණක් නැහැ. දිගටම රංගනයෙන්, රචනයෙන්, සමහරවිට අධ්‍යක්‍ෂණයෙන් වැඩ කරකර ශ්‍රී ලාංකිකයන්ගෙ ආදරය ලබාගන්න තමයි මම කැමති.


ලංකාව තුළ රංගන ශිල්පියාට ලැබෙන වටිනාකම කොහොමද?


මං හිතන්නෙ අපේ රටේ රංගන ශිල්පියාට ලැබෙන වටිනාකම ඉතාමත් හොඳයි. මිනිස්සු හරි ආදරෙයි. ඒක ඇබ්බැහියක් විදිහට තියෙනව. රුපියල් සතවලට වඩා ප්‍රේක්‍ෂක ආදරය තමයි අපිට වටින්නෙ. නළුවෙක් කියන්නෙ වාසනාවන්තම රැකියාවක් කරන පුද්ගලයෙක්.


කලා සමහර චරිතවලට කෑදරයි?


ඔව්, ෆයිටිං තියෙනව නම් නියමයි. රොමෑන්ටික්, ෆයිටිං, ඇක්ෂන් තියෙනවනම් මරුම තමයි ඉතිං.


තිරයේ දිගහැරෙන්නට නියමිත සිනමා නිර්මාණ මොනවද?


මයි සිම්බා, ඉක්කා, මංකි මෑන්, දිගදුර මිසයිල, සීගිරි වගේ නිර්මාණ පහක් හයක් තිරගතවීමට නියමිතව තියෙනව.


මහේෂ් එදිරිසිංහ



Previous Post Next Post