44 වැනි ජාතික යෞවන සම්මාන උළෙලේදී වසරේ හොඳම කෙටි නාට්‍යය වසරේ හොඳම කෙටි නාට්‍ය නිළිය, වසරේ හොඳම කෙටි නාට්‍ය නළුවාට හිමි සම්මාන හිමිවූයේ දුක්ගිනි සින්දන කෙටි නාට්‍යයටයි. හොඳම කෙටි නාට්‍ය නිළිය ලෙසින් සම්මානයට පාත්‍ර වූයේ දිව්‍යශාරිකා බ්‍රෙන්ඩන්ය. මෙවර මීවිත මේ කතාබහ ඇයත් සමගය.
හොඳම කෙටිනාට්‍ය නිළියගේ සම්මානය ලැබීම ගැන මොකද හිතෙන්නේ?
රවිඳු සම්පත් වික්‍රමසේකර රචනා කළ ඉසුරු ගුණවර්ධන අධ්‍යක්ෂණය කළ ‘දුක්ගිනි සින්දන’ නාට්‍යයේ රඟපෑමට තමයි මේ සම්මානය හිමිවන්නේ. ඉසුරු මට මේ වැඩේට කතා කළාට පස්සේ පිටපත කියෙව්වාට පස්සේ මට වැඩක් කරන්න තියෙනවා කියලා හිතුණා. ඒ හින්දා මේ වැඩේ භාරගත්තා. මම මේ වැඩේට ගොඩක් ආදරෙයි. අන්තිමේ හොඳම කෙටි නාට්‍ය නිළියට හිමි සම්මානයත් ලැබුණා.
මගේ නම කියද්දිත් කන්ෆියුස් වෙලයි හිටියේ
මේ සම්මානය ඔබ බලාපොරොත්තුවෙන් එහෙම හිටියාද?
නැහැ. එහෙම බලාපොරොත්තුවෙන් හිටියේ නැහැ. මගේ වේදිකා රංගන ජීවිතයට දැන් අවුරුදු 12ක් වගේ ඇති. මීට කලින් මට හොඳම සහාය නිළියට එක සම්මානයයි ලැබිලා තියෙන්නේ. එතකොට මම වේදිකාවට තියෙන ආදරයටයි වැඩ කරන්න තියෙන වුවමනාවත් එක්කයි මේකේ ඉන්නේ. සම්මානයක් බලාපොරොත්තුවෙන් රඟපානවා කියන තැන මම නම් නැහැ. නමුත් මේක යම්කිසි උත්තේජනයක්.
නිවේදක නිවේදිකාවන් ඔබේ නම කියද්දි මොකද හිතුණේ?
නිර්දේශිත නාම කියනකොටත් වටේ හිටපු අය කෑගහනවා. එතකොට මගේ නම කියද්දිත් මම කන්ෆියුස් වෙලයි හිටියේ. මම ඒ මොහොතේ හැමෝගෙම ආදරයත් එක්ක එකතුවෙලා ස්ටේජ් එකට ගියපු එකත් තමයි දැනුනේ. දුක්ගිනි සින්දන නාට්‍යයේ මම හරිම ආසාවෙන් වැඩ කරපු පිරිසක් තමයි හිටියේ.
මගේ නම කියද්දිත් කන්ෆියුස් වෙලයි හිටියේ
ඔය අතරේ මේ දවස්වල පිරිමි ළමයි ටෙලි නාට්‍යයත් විකාශය වෙනවා නේද?
ඒ නාට්‍යයට මම හිතන්නේවත් නැති විදිහේ හරි ආදරණීය ප්‍රතිචාර තමයි හම්බවෙන්නේ. මොකද මම එහි සම්පූර්ණයෙන් වෙනස්ම චරිතයක් තමයි රඟපාන්නේ. ‘පිරිමි ළමයි’ යමුනා වෙනුවෙන්ම නෙමෙයි ඒ නාට්‍යයටම තමයි ප්‍රතිචාර ලැබෙන්නේ. වැඩිම ප්‍රේක්ෂක පිරිසක් නරඹන නාට්‍යයක් බවට පත්වෙලා තියෙනවා.
ඉන්ද්‍රජාලික ප්‍රේමය සමගත් රට වටා යනවා කියලත් ආරංචියි?
ඔව්. කැලණිය සරසවි වේදිකා නාට්‍ය උළෙලේදී මෙවර ඉන්ද්‍රජාලික ප්‍රේමය වේදිකාගත වුණා. කාලෙකට පස්සේ තමයි කැලණි සරසවි නාට්‍ය උළෙල පැවැත්වුණේ. ඒ ගැනත් සතුටුයි.
කොහොමද වේදිකාවේ වැඩකටයුතු?
මම එක දිගට හැම නාට්‍යයකම නැහැ. කිහිපයක් තමයි කරගෙන යන්නේ. මොකද කාලවේලාවත් එක්ක කාලය කළමනාකරණය කරගැනීමේ අපහසුතාවයක් තියෙනවා. අනික ආර්ථිකය ගැනත් අපිට හිතන්න වෙනවානේ. ඒ හින්දා හොඳ වැඩක් කිව්වහම භාර අරගෙන කරනවා.
නිවේදිකාවේ භූමිකාවට ලබාදෙන ඉඩකඩ ගැන කතා කළොත්?
ඇත්තටම මට නිවේදිකාවක් වෙනවා කියන අරමුණ, හැඟීම තිබුණේ නැහැ. ඒකටත් වෙනස්ම විදිහේ ප්‍රතිචාර ලැබෙනවා.
අලුත් නිර්මාණවලට ආරාධනා ලැබෙනවාද?
ලබන මාසයේ අලුත් වැඩක් භාරගන්න ඉන්නවා. ඒ ගැන පස්සේ හරියටම දැනගෙන ඉදිරියේදී කියන්නම්.
පිරිමි ළමයි යමුනා වෙනුවෙන් මොනවගේ කැප කිරීම්ද කරන්න සිද්ධ වුණේ?
කොණ්ඩේ පාට කරලා, නියපොතු පාට කරලා ඉන්න චරිතයක් නෙමෙයිනේ යමුනා කියන්නේ. මට ඇත්තටම ඒ චරිතය වෙනුවෙන් බාහිර වශයෙන් කැපකිරීමක් කරනවා කියලා කියන්න බැහැ. සැබෑ ජීවිතයේදීත් එහෙමයි. නිෂ්පාදක කණ්ඩායමෙන් ලොකු සහයෝගයක් මට ලැබෙනවා.
ෆැෂන් කරන්න අකැමැතිද?
චරිතයකට අදාළව හුඟාක් කලර්ෆුල් දේවල් ඇන්දාට ඇත්ත ජීවිතයේ ගොඩක් ෆැෂනබල් කෙනෙක් නෙමෙයි. පහසුව ගැනත් හුඟක් වෙලාවට හිතන කෙනෙක්.
ඇයි ඒ?
මම විලාසිතාවලට කැමැතියි. මම ටිකක් වැඩිපුර අඳින්නේ ඇඟ වැහෙන ඇඳුම්. ඒකත් ඉතිං ෆැෂන් එකක් නේ.
බටහිර විලාසිතා ෆලෝ කරනවාද?
හැට හැත්තෑව දශකයේ නිර්මාණය වුණු චිත්‍රපට බලන්න කැමැතියි. ඉතිං ඒකත් එක්ක යන සියලු දේ බලන්න මමත් ආසයි. ඒකයි අතීත විලාසිතාවලට කැමැති. මම හුඟාක් පරණ දේවල්වලට කැමැතියි. මම ඒවාට තමයි හිත යොමු කරන්නේ.
මුහුණුපොතේ වෙනස් වෙනස් ෂූට් කරලා දානවා නේද?
ඔව්. මම ෆොටෝ ෂූට් වැඩිය කරන කෙනෙක් නෙමෙයි. හැබැයි මොනවා හරි සංකල්පයක් එක්ක වැඩක් කරනවා නම් මම ඒ වැඩේට කැමැතියි. චරිතයක් රඟපාන්න තියෙනවා නම් මම ඒක අනිවාර්යයෙන්ම භාරගන්නවා.
ඔබ කරන විලාසිතා අනුවත් වෙනස්ම චරිත නේද ලැබෙන්නේ?
සමහර වෙලාවට කතා කරනවා අර ටෙලි නාට්‍යයේ මේ ටෙලි නාට්‍යයේ රඟපෑ චරිතයක් කරමු කියලා. එතකොට මම ඒ වැඩේ භාරගන්නේ නැහැ. ඒක මම මටම කරගන්න අසාධාරණයක්. මම කොටුවෙයි කියලත් හිතෙනවා. ටිකක් වෙනස් විදිහේ චරිතයකට ආරාධනාවක් ලැබෙනවා නම් ඒක භාරගන්නවා. වේදිකාවේ මම තෝරාගන්න චරිත හම්බවෙනවා. ටෙලි නාට්‍යවලදී නම් මට ඒ වගේ චරිත හම්බවෙලා නැහැ.
දිව්‍යශාරිකා කියන්නේ කවුද?
ඒ ගැන මාත් හොයනවා. මට ඒ ප්‍රශ්නයට කෙළින් උත්තරයක් ලබාදෙන්න අමාරුයි.
කලාවට එන්න ලැබීම පුංචිකාලේ ඉඳලා දැකපු හීනයක්ද?
ඒක කියන්න අමාරුයි. මම නිළියක්ම වෙනවා කියලා වැඩ කරපු කෙනෙක් නෙමෙයි. හැබැයි ඉගෙන ගත්තේ ඒ විෂය. මම සමාජයට ෆෝවර්ඩ් චරිතයක් නෙමෙයි. පාසලෙත් පැත්තකට වෙලා හිටපු හින්දා බාහිර ක්‍රියාකාරකම්වලට ආරාධනා ලැබෙන්නේ නැහැ. හැබැයි ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා ටීවී එකේ යන ඒවා බලන් සාරියකුත් ඇඳගෙන නටනවා.
දිනේෂ් විතාන