ප්‍රොෆෙසර් චේතිය වගේ අය සමාජයේ ඉන්නවා-අමිල කරුණානායක

 


අමිල කරුණානායක තම රංගන හැකියාවෙන් රසික හදවත්හි නොමැකෙන මතක රැන්දූ දක්ෂ රංගන ශිල්පියෙක්. විසේකාරී ටෙලි නාට්‍යය තුළින් රසික හදවත් කුතුහලයට ලක්කරන චේතිය ප්‍රොෆෙසර්ගේ චරිතය නොදන්නා කෙනකු නම් මේ දිනවල නැති තරම්. මෙවර හදගැස්මට මේ සොඳුරු කතාබහ ඔහුගෙන්.


විසේකාරී ටෙලි නාට්‍යයේ ඔබේ රංගනයට ලැබෙන ප්‍රතිචාර ගැන මොකද හිතෙන්නේ?


චරිතයක් විධියට ඒ චරිතයට හොඳින් රංගන දායකත්වය ලබාදෙනවා කියලා බොහෝදෙනකු කියනවා. ඒ ගැන රංගන ශිල්පියෙක් විධියට ලොකු සතුටක් තිබෙනවා. ඇත්තටම ප්‍රේක්ෂකයෝ මුලින් මුලින් චරිතයට බනින්න පටන් ගත්තා. නමුත් දැන් දැන් ඒ චරිතයට රංගන ශිල්පියෙක් විධියට මම හොඳ රංගන දායකත්වයක් ලබාදෙනවා කියන දේ ප්‍රේක්ෂකයන් පාරේදී හමුවුණත් ඇවිත් කතාබහ කරලා කියනවා. ඔවුන් ටෙලි නාට්‍යය හොඳින් රසවිඳිනවා කියන දේ තේරෙනවා. ඉතින් ටෙලිවිෂන් එකත් එක්ක ගොඩක් මිනිස්සු රැඳිලා ඉන්නවා. ඒ නිසා ඉතා ඉක්මනින් මේ චරිතය හරහා ප්‍රේක්ෂකයන් අතරට යන්න ලැබුණා කියල සහ මේ චරිතයට ඔවුන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබුණා කියලා මම හිතනවා.


කළු චරිතයක් නිරූපණය කිරීමේ අභියෝගයට ඔබ මුහුණ දුන්නේ කොහොමද?


ඇත්තටම මට විශේෂ වුණේ චරිතයට සාධාරණයක් කරන එක. නැත්නම් මට මුලින් මේ චරිතය ගැන බොහෝදෙනකු බැණුම් ඉදිරිපත් කළා. නමුත් මම උත්සාහ කළේ චරිතයට මගේ උපරිම දායකත්වය ලබා දෙන්න තමයි. මම හිතන්නේ රංගන ශිල්පියෙක් විධියට අපට එක රාමුවකට කොටු නොවූ චරිතවලට රංගන දායකත්වය ලබාදෙන්න පුළුවන් නම් ඒක තමයි වටින්නේ. ඒ තුළ තමයි පැවැත්මක් තිබෙන්නේ. මේ චරිතය මගේ රංගන ජීවිතයේ ලැබුණු හොඳ අවස්ථාවක් විධියට මම දකිනවා. අද කාලයේ ප්‍රේක්ෂකයා හරිම බුද්ධිමත් සහ ඔවුන් අපි ඒ රංගනය ඉදිරිපත් කරන්නේ කොහොමද කියන දේ තේරුම් ගන්න පුළුවන් තත්ත්වයක ඉන්නවා. අපි හොඳ සුදු චරිතවලට විතරක් රංගන දායකත්වය ලබාදීලා ප්‍රේක්ෂකයන්ගේ හිත් දිනාගන්නවට වඩා අපේ රංගන හැකියාවේ පරාසය පෙන්වීම තුළින් ප්‍රේක්ෂකයන්ගේ හිත් දිනා  ගැනීම තමයි රංගන ශිල්පියෙක් විධියට මට වැදගත් වෙන්නේ. මම හිතන්නේ ඒ චරිතය තුළින් මගේ රංගනය ප්‍රේක්ෂකයන්ගේ හදවතට දැනෙයි කියලා. ඒ වගේම ඔවුන්ට මගේ හැකියාවන් අවබෝධ කරගන්න ඒක අවස්ථාවක් වුණා කියලා විශ්වාස කරනවා.


විසේකාරී ටෙලි නාට්‍ය තුළ නිරූපිත සමාජ යථාර්ථය ගැන ඔබේ අදහස?


ඇත්තටම අපි මෙවැනි චරිත සමාජයේ දැකලා තිබෙනවා. විශ්වවිද්‍යාලයක් තුළ වුවත් මෙවැනි චරිත ඉන්න පුළුවන් සහ ඉන්නවා කියන දේ අපි අහලා තිබෙනවා. මම බොහෝදෙනකු සමඟ කතා කරන විට මමත් ඒ ගැන දැනුවත් වෙලා තිබෙනවා. අපි මේ සමාජයේ ඉන්න චරිත ගැනනේ නිර්මාණයකින් ඉදිරිපත් කරන්නේ. ඉතින් එහි හානියක් තිබෙනවා කියලා මම හිතන්නේ නෑ. මම හිතන්නේ විශ්වවිද්‍යාලයකට යන කෙනෙක් නම් මෙවැනි චරිතවලින් පරිස්සම් වෙන්න ඕනෑ කියන දේ මේ නිර්මාණය තුළින් පෙන්නලා දෙනවා. ඒ තුළ හොඳ සහ නරක කියන දෙකම පෙන්නනවා. ඒ දේ අවබෝධ කරගැනීමේ හැකියාව සමාජයේ මිනිස්සු තුළ තිබෙනවා කියන දේ විශ්වාස කරනවා. අපි නිර්මාණයක් තුළින් පෙන්වන්නේ සමාජයේ සිදුවන දේවල්. ඒ ඒ චරිතවලට පණ පොවන එක තමයි අපේ කාර්යය වෙන්නේ. විවිධාකාර පැතිකඩ රැසක් පෙන්වා දෙන ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැලඳ ගත්තු ලස්සන නිර්මාණයක් විධියට තමයි විසේකාරී ටෙලි නාට්‍යය මම දකින්නේ.


ලාංකේය සමාජයේ අනියම් ප්‍රේමය සාධාරණීකරණය කරන නිර්මාණ දකින්න පුළුවන්?


අමිල කරුණානායක විධියට මම දකින්නේ ආදරය කියන්නේ පවුල. මේ නිර්මාණය තුළ අනියම් සබඳතා නිසා කෙනකුට සිදුවන හානිය, පවුලට වන හානිය පෙන්නලා දෙනවා. මම ඒ දේ අනුමත කරන්නෙ නෑ. චේතිය කියන චරිතය තුළින් බොහෝදෙනකු අනියම් සබඳතා නිසා තමන්ගේ පවුලට වෙන්න පුළුවන් හානිය පිළිබඳව දැනුවත් වෙයි.


දැන් දැන් රසිකයෝ කලා නිර්මාණ සමාජ මාධ්‍ය ඔස්සේ විචාරයට හා විවේචනයට ලක් කිරීම ගැන ඔබේ අදහස?


ඒක ඇත්තටම හොඳයි. ඇත්තටම මමත් ප්‍රේක්ෂකයන් ඉදිරිපත් කරන හැම කමෙන්ට් එකක්ම කියවන රංගන ශිල්පියෙක්. ඒ අදහස්වලින් ගන්න පුළුවන් හොඳ දේවල් මම ලබා ගන්නවා සහ ඒ දේවල් ඇත්තට කියන දේවල්ද කියලා අවබෝධ කරගන්න පුළුවන් හැකියාවකුත් අපට තිබෙනවානේ. නිර්මාණයක සාර්ථකත්වයට හේතුව වෙන්නේ අපි නිර්මාණයකට රංගන දායකත්වය ලබාදීලා ඒ දේ හොඳයි කිය කියා ඉන්න එක නෙවෙයි. ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාර තමයි අනිවාර්යෙන්ම අවශ්‍ය වෙන්නේ. මෙවැනි මාධ්‍ය තුළින් ඉතා ඉක්මනින් ප්‍රතිචාර ලබා ගැනීමේ හැකියාව වටිනවා. අද එපිසෝඩ් එකක් රිලීස් වුණාම හෙට ඒ ගැන තිබෙන කමෙන්ට්ස් ටික කියවන්න පුළුවන්.


ආදරය හා විවාහය ගැන ඔබේ කියැවීම?


මමත් ආදරය කරලා විවාහ වුණ කෙනෙක්. පවුල තුළ තමයි ආදරය තිබිය යුත්තේ කියලා මම විශ්වාස කරනවා. මගේ ප්‍රථම ආදරය සමඟ තමයි මම විවාහ වෙලා ඉන්නේ. මම අවුරුදු ගණනක් ආදරය කරලා විවාහ වුණ කෙනෙක්. ඉතින් අපේ ජීවිතවලට වගකීම් එකතු වෙනවා. ඒ සමඟ ජීවිතය ඉදිරියට ගලාගෙන යනවා.


නපුරු චරිතවලින් ප්‍රේක්ෂකයා අතරට පැමිණීමේදී පෞද්ගලික ජීවිතයේ ඒ තුළින් විනිශ්චයට ලක් කිරීම ගැන ඔබේ අදහස?


ජෝ අබේවික්‍රම මහත්මයා දිහා බැලුවත් ඔහු විවිධාකාර චරිතවලට පණ පොවපු කෙනෙක් . අපේ ජනතාව මේ රංගන ශිල්පියා ඉදිරිපත් කරන්නේ චරිතයක්නේ කියන දේ අවබෝධ කර ගැනීමට මේ වෙද්දි බුද්ධිමත් වෙලා ඉන්න ඕනෑ. මම ඉදිරිපත් කරන චරිතයත් එක්ක මගේ පෞද්ගලික ජීවිතය සංසන්දනය කිරීම මම කියන්නේ සීයට සීයක්ම වැරැදියි කියලා. මොකද පෞද්ගලික ජීවිතය සහ මම ඉදිරිපත් කරන රංගනය සමාන කරන්න බෑ. මම වැඩිපුර යහළුවෝ ආශ්‍රය කරන්නේ නැති, බොහෝදෙනකු සමඟ මුහුවෙන්නේ නැති ටිකක් ලැජ්ජාශීලී පුද්ගලයෙක්. නමුත් රංගන ශිල්පියෙක් විධියට මම විවිධාකාර චරිතවලට පණපොවන්න කැමැතියි.


ලාංකේය සිනමාවේ නව හැරවුම් ගැන මොකද හිතෙන්නේ?


මම දැනට ලංකාවේ චිත්‍රපට දොළහකට වැඩි ප්‍රමාණයකට රංගනයෙන් දායක වෙලා තිබෙනවා. රංගන ශිල්පියෙක් විධියට සිනමාව තුළ මගේ වාසනාවට වගේ මට විවිධාකාර චරිත ලැබිලා තිබෙනවා. පෙම්වතාගේ චරිත, දුෂ්ටයාගේ චරිත, හාස්‍ය උත්පාදක චරිත වගේ ගොඩක් චරිතවලට පණ පොවලා තිබෙනවා. ඒ අත්දැකීම් වුණත් මට මේ ටෙලි නිර්මාණයට භාවිත කරන්න හැකියාව ලැබෙන්න ඇති. මම මෙතරම් කාලයක් සිනමා නිර්මාණ කිහිපයකටම දායක වුණත් මේ තරම් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබිලා නෑ. සිනමාව තුළ විශාල පිරිවැයක් කළ නිර්මාණ තුළ තමයි මිනිස්සු රැඳෙන්නේ. සිනමාව තුළ පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තිබෙනවා සහ මම ඒක අත්විඳපු කෙනෙක්. ලංකාව වගේ පුංචි රටක විශාල ප්‍රමාණයක මුදල් වියදම් කරලා නිර්මාණ කරන්න ටිකක් අපහසුයි සහ එය අපට පාඩුවක් විධියට දකිනවා. සිනමාව දියුණු කරන්න අපි වෙනත් ක්‍රමයක් හොයාගන්න ඕනෑ කියලා හිතනවා. ඉන්දියාවේ කේරළයේ මලයාලම් සිනමාවේ වගේ හොඳ පිටපත් නිර්මාණය තුළින් ප්‍රේක්ෂක හිත් දිනාගෙන එවැනි ආකාරයේ හැඩයකට සිනමාව දියුණු කරන්න පුළුවන් වෙයි කියල හිතනවා.


ඉදිරි වැඩ කටයුතු ගැන මතක් කළොත්?


ළඟදීම තවත් චිත්‍රපටයකට මම රංගනයෙන් දායක වෙනවා. එහි වීර කැප්පෙටිපොළගේ චරිතයට තමයි මම පණ පොවන්නේ. තව චිත්‍රපට දෙකක් තිරගත වෙන්නත් තිබෙනවා. තව ටෙලි නාට්‍ය කිහිපයකට ආරාධනා ලැබුණා. නමුත් තවම ඒවා භාරගත්තේ නෑ මොකද මම සිනමාවට ගොඩක් ආදරය කරන නිසා. මේ ආකාරයෙන්ම නැතිව වෙනස් විධියක චරිතයක් ලැබුණොත් ටෙලි නාට්‍ය තුළිනුත් මාව ඉදිරියට දැක බලා ගන්න පුළුවන්. බලමු ඉතින්.




Previous Post Next Post