ඔහු මෙරට සිනමා අඹරේ බබළන “රවි” වේ. අඩ සිවසකට වැඩි කාලයක් පුරාවට ශ්‍රී ලාංකික සිනමා ක්ෂේත්‍රයට විශිෂ්ට දායකත්වයක් ලබා දෙමින්, හොඳම නළුවා මෙන්ම ජීවිතයට එක් වරක් පමණක් හිමිවන සම්මාන කිහිපයක් දිනා ගත් ඔහු, මෙරට සිනමාව ජාත්‍යන්තර තලය කරා ඔසවන්නට සමත් වූයේ, සිංහල සිනමාවේ ස්වර්ණමය යුගය තුළ බිහිවූ අමරණීය චරිත රැසකට පණ පොවමිනුයි. මෙරට සිනමාව කොපමණ කලක් පැවැතේද එතෙක් කාලයක් පුරාවට මේ නමද ඒත් සමඟම පැවතෙනු ඇත. රවින්ද්‍ර රන්දෙණිය වූ එම කෘතහස්ත කලාකරුවා හදගැස්ම සමඟින් කළ සංවාදයයි මේ.
අහම්බෙන් සිනමාවට ඇවිත් මෙරට විශිෂ්ටතම රංගන ශිල්පියෙක් බවට පත් වුණු ආකාරය ගැන කියලම කතාව ආරම්භ කරමු?
සිනමාවට පිවිසෙන්න කලින් මම වේදිකා නාට්‍ය කලාවේ තමයි නිරත වුණේ. ලයනල් වෙන්ට්ඩ් රංග ශාලාවේ අවුරුදු තුනක් පුරාවට රංගනය, නාට්‍යකරණය වගේ දේවල් හැදෑරුවා. ඒ නාට්‍ය පාඨමාලාව හදාරන අවධියේම තමයි මට සිනමාපටවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ. ඒ ලැබුණු අවස්ථාව නිසා මට මගේ දෙවන චිත්‍රපටය විධියට ඒ යුගයේ මුළු මහත් ආසියාවෙම හිටපු අති විශිෂ්ට සිනමාකරුවෙක් වුණු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයාගේ දෑස නිසා චිත්‍රපටයට සම්බන්ධ වෙන්න අවස්ථාව හිමි වුණා.ඇත්තටම මට දෑස නිසා චිත්‍රපටය හිමි වෙද්දි මගේ එකම චිත්‍රපටයක්වත් ප්‍රදර්ශනය වෙලා තිබුණේ නැහැ. නවක නළුවෙක් විධියට ඒ වගේ විශිෂ්ට සිනමාකරුවෙක්ගේ නිර්මාණයකට දායක වෙන්න ලැබීමම මම අද දක්වා මේ ආපු ගමනට විශාල රුකුලක් වුණා.
අද රංගන ශිල්පියෙක් වෙන්න පෙනුම අනිවාර්ය නිර්ණායකයක් වෙලා. නමුත් දශක කිහිපයකට පෙර තත්ත්වය මීට වෙනස්?
රංගන ශිල්පියෙක්ට තිබිය යුතු ප්‍රධානම දේ රංගන හැකියාව. නළුවකු කියලා අපි දකින උස, මහත, ලස්සන හැඩරුව සහිත සම්මත පෙනුම පවා රංගන හැකියාවට යටයි. ලෝක සිනමාව ගත්තත්, අපේ සිනමාව ගත්තත් ජනප්‍රියත්වය කරා යෑමට රූපය බොහොම උපකාරි වෙනවා. නමුත් දක්ෂයාට ඒ කාරණය ඒ තරම් අදාළ වෙන්නේ නැහැ. අපේ සිනමාව ගත්තොත් අපිට සිටි දක්ෂම රංගන ශිල්පීන් වන ඩී.ආර්. නානායක්කාර මහත්මයා, පියදාස ගුණසේකර මහත්මයා වගේම අපේ විශිෂ්ටම නළුවා වන ජෝ අබේවික්‍රම මහත්මයා පවා මහා රූප සම්පත්තියකින් යුක්ත අය නෙවෙයි. ඒකෙන් පැහැදිලිව පේනවා රූපය නෙවෙයි රංගන හැකියාව තමයි වැදගත් කියන දේ. රංගනය කියන්නේ තමන් තුළින් තමාට වඩා බොහෝ සෙයින් වෙනස් කෙනෙක් නිරූපණය කිරීම. ඒක බොහොම ගැඹුරු කලාවක්. එතැනදි තමන්ට සම්පූර්ණයෙන් පරිබාහිර ගති සිරිත්, හැඟුම්, ක්‍රියාදාමයන් සහිත කෙනෙක්ව නිරූපණය කරන්න වෙනවා. චරිතයක් නිරූපණය කිරීම අවබෝධයකින් හා විශාල හැදෑරීමකින් කළ යුතුයි. එතැනදි අපි දෙයක් දකින විධිය සහ ආකල්ප පවා වෙනස් කරගන්න වෙනවා.
වර්තමාන සිනමා නිර්මාණ ගැන ප්‍රේක්ෂක උනන්දුව උදාසීන වීමට හේතුව?
විශිෂ්ට නිර්මාණ බිහි නොවීම තමයි ප්‍රධානම ගැටලුව. බංකොලොත්භාවය මම දකින්නේ චිත්‍රපට නිර්මාණකරුවන්ගෙන්. පෙර සිටි ආකාරයේ අධ්‍යක්ෂවරු අපි දකින්නේ නැහැ. එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා නමුත් ඔවුන් ඉතාම දක්ෂ වුණත් කර්මාන්තයට දැනෙන්න තරම් වෙනසක් කිරීමට ඒ සුළු පිරිස ප්‍රමාණවත් නැහැ. මොකක් හරි කතාවක් අරගෙන ඒක රූපරාමු බවට පත්කරන එක තමයි අද සිනමාකරණය කියලා කියන්නේ. එය ඊට වඩා එහා ගිය දෙයක්. අද වෙද්දි හොඳ ගැඹුරු කතා තේමාවල හිඟයක් තිබෙනවා. ඒ වගේම හොඳ නිර්මාණ සිදු කරන නිර්මාණ ශිල්පීන් ප්‍රමාණයත් අඩුයි.
වර්තමාන රංගන ශිල්පීන් බහුතරයකට පෙනුම පමණයි, රංගනයේ හැකියාවක් නැහැ කියලා චෝදනාවක් තිබෙනවා?
මම දකිනවා මේ අලුත් පරපුර අතරත් ඉතාමත් දක්ෂ අය ඉන්නවා. නමුත් ඔවුන්ට තම දක්ෂතා එළිදක්වන්නට ලැබෙන අවස්ථා ඉතාම සීමිතයි. එතැනදි ඔවුන්ට රංගනය තමන්ගේ වෘත්තිය නිසා එහි නිරත වෙන්න සිද්ධ වුණත් එහිදී එකම රාමුවකින් දිවෙන ඒකාකාරී රංගනයක තමයි නියැළෙන්න සිද්ධ වෙලා තිබෙන්නේ. එහි වරද ඔවුන් පිට පැටවීම අසාධාරණයි. නමුත් ඔය අතරතුර ඇතැම් ශිල්පීන් සිටිනවා රංගනය කියන්නේ නිකන් උදේ දෙබස් කිහිපයක් කියලා හවස එන දෙයක් කියලා හිතාගෙන ඉන්න.කිසිම වෘත්තියක එහෙම යෙදෙන්න බැහැ. ඒ වෙනුවෙන් කැපවිය යුතුයි. ඇතැම් අය තුළ ඒ පෙලඹවීම නැති බව පෙනෙනවා. සමහර ශිල්පීන්ට රූපය තිබෙනවා. ඒක ලස්සනට කැමරාවට වැටෙනවා. ඒ වගේම මාධ්‍ය මඟින් විශාල ප්‍රචාරයක් ලබා දෙනවා. එහෙම වුණාම තමන්ගේ කාර්යභාරය සම්පූර්ණයි කියන මානසිකත්වයකට ඔවුන් පත් වෙනවා. ඉන් අනතුරුව ඔවුන්ට තිබෙන්නේ හොඳ සන්දර්ශනවල පෙනී සිටීම, චැට් වැඩසටහන්වල පෙනී සිටීම වගේ දේවල්. ඔවුන් ලොකු ක්‍රියාකාරිත්වයක් පෙන්වන්නේ එවැනි අවස්ථාවල. නමුත් තමන්ගේ වෘත්තිය වුණු රංගනය පිළිබඳව ලොකු අවධානයක් ලබා නොදෙන බවක් තමයි පේන්නේ. රූපය තිබෙනවා. දෙබස් ටික ලැබෙනවා, අධ්‍යක්ෂවරයා ඉන්නවා. කැමරා ශිල්පියා පටිගත කරනවා. මේ ටික සිද්ධ වුණාම තමන්ගේ කාර්ය ඉටු කළා වගේ හැඟීමකින් වැඩ කරන අයත් ඉන්නවා.
වර්තමාන රංගන ශිල්පිනියන්ගේ පෙනුමේ කිසිම විවිධත්වයක් නැති බවට චෝදනාවක් තිබෙනව මේ ගැන ඔබේ අදහස?
වෙනස් වන සමාජ තත්ත්වය, සමාජ සම්මුතීන් සහ තාක්ෂණය වගේ දේවල් නිසා අපි හිතන විධියත් බොහෝ දුරට වෙනස් වෙලා. අපි දැන් විලාසිතා ලෝකයට බොහොම විවෘතයි. ඒ නිසා මානසිකව අපි එක්තරා රාමුවක් හදාගෙන තිබෙනවා ලස්සන කියන්නේ මේ රූපය කියලා. සම ඉතා පැහැපත් වෙන්න ඕනෑ, කොණ්ඩය මෙහෙම වෙන්න ඕනෑ වශයෙන් නිර්ණායකයන් තිබෙනවා. ඒ නිසාම අද බහුතරයක් යුවතියන් හැඩ වැඩ වෙන්නේ එකම ආකාරයට. ඒ නිසාම අපිට ඔවුන්ව පේන්නේත් එක වගේ. නමුත් තමන්ගේ අනන්‍යතාව ඉස්මතු වෙන ආකාරයෙන් තමන්ගේ පෙනුම වැඩිදියුණු කරගන්නවා නම් විවිධත්වයක් තිබෙනවා. අපේ යුගයේ නිළියන් ගත්තොත් ඔවුන් මුහුණේ හැඩය, පැහැය, දේහ ලක්ෂණවලින් එකිනෙකට වෙනස්.නමුත් අද වෙද්දි ලස්සන ගැන ප්‍රමිතියක් නිර්මාණයක් වෙලා තිබෙනවා. ඒ වගේම ඒ ප්‍රමිතියට අනුගත වෙන්න පහසුකම් රටේ තිබෙනවා. ආසියාතික ස්ත්‍රීන්ට ඔවුන්ටම අවේණික සුන්දරත්වයක් තිබෙනවා. නමුත් අද බහුතරය ස්වාභාවිකව තිබෙන දේ මකාගෙන එකම ප්‍රමිතියකට අනුගත වෙන්න උත්සාහ ගැනීම තුළින් චරිතවලට තෝරාගනිද්දී කාවද ගන්නේ කියන ප්‍රශ්නය මතු වෙනවා.
චිත්‍රපට කර්මාන්තයේ එදා සහ අද වෙනස දකින්නේ කොහොමද?
චිත්‍රපට සංස්ථාවේ කටයුතුවලට මම මුල් යුගයේ ඉඳලම සම්බන්ධ වුණා. ඒ යුගයේ මෙරට සිනමාවේ ප්‍රගමණයට චිත්‍රපට සංස්ථාව විශාල දායකත්වයක් ලබා දුන්නා. සංස්ථාව පිහිටුවීමත් සමඟ තමයි මෙරට සිනමාවේ ස්වර්ණමය යුගය ආරම්භ වුණේ. ඒ යුගයේදි ජාත්‍යන්තරය තුළ පවා අපේ සිනමා කර්මාන්තය ඉතාමත් හොඳ තැනක තිබුණා. නමුත් පසුකාලීනව රාජ්‍ය ප්‍රතිපත්ති ටික ටික වෙනස් වීමත් එක්කම , අපේ සිනමාවේ බිඳවැටීමත් අරම්භ වුණා. අද වෙද්දි දේශීය චිත්‍රපට නිෂ්පාදකයාට වෙළෙඳ වුවමනාවන්ගේ ග්‍රහණයට හසුවෙලා ඒ තුළ තමයි කලාවේ නියැළෙන්න සිද්ධ වෙලා තිබෙන්නේ. ඒ යුගයේ තුන්සිය ගණනක් තිබුණු සිනමා ශාලා ප්‍රමාණය අද වෙද්දි අසූවට බැහැලා. මම මේකට ලොකුම හේතුව විධියට දකින්නේ සිනමාව පෞද්ගලීකරණය වීම. 1977 වසරේ ලංකාව ඇතුළේ මිලියන 77.4 ක් චිත්‍රපට නරඹලා තිබෙනවා. ඒ යුගයේ හැම කෙනෙක්ම වසරකට කිහිප වතාවක්ම චිත්‍රපට නරඹලා තිබෙනවා. අද වෙද්දි වසරකට චිත්‍රපට නරඹන වාර ගණන මිලියන 5ක් 6ක් පමණයි. අපේ සිනමාව ඒ තරමට කඩා වැටිලා තිබෙන්නේ.
නව පෙරළියත් සමඟ ජාතික චිත්‍රපට සංස්ථාව වෙනස්ම පාරක ගමන් කරන බවක් පෙනෙනවා. මේ ගැන ඔබේ අදහස?
ඇත්තටම මම එහි ප්‍රබෝධයක් දකිනවා. චිත්‍රපට කලාව කියන්නේ මෙරට අනන්‍යතාව ලෝකයට ප්‍රදර්ශනය කරන්න පුළුවන් කලා මාධ්‍යයන් අතරින් ඉතාම වැදගත් මාධ්‍යයක් කියලා නැවත පිළිගැනීම ඇතිවෙලා තිබෙනවා කියලා මට පෙනෙනවා. චිත්‍රපට කියන්නේ අපේ සංස්කෘතියෙම කොටසක්. මේ වෙද්දී එහි වැදගත්ම අවබෝධ කරගෙන වැරැදි හදාගන්න දරන උත්සාහයක් මට පෙනෙනවා. ඒක සුබ ලකුණක්. වර්තමාන සභාපතිවරයා සහ ඇමැතිවරයා චිත්‍රපට කලාවට ලැදි ඒ පිළිබඳව විශේෂ දැනුමක් තිබෙන පුද්ගලයන්. විශේෂයෙන් අමාත්‍යවරයා කලාකරුවෙක්, හොඳ සිනමා විචාරකයෙක්, දක්ෂ සාහිත්‍යකරුවෙක්. එවැනි කෙනෙක් අපේ සිනමාව භාර ඇමැතිවරයා වීම සුබ ලකුණක්. ඔහුට සිනමාව පිළිබඳව එය රැකගත යුතුයි කියන දේ පිළිබඳව හැඟීමක් තිබෙනවා. ඉතිං මේ කර්මාන්තය රැක ගත යුතුයි කියලා හිතන පිරිසක් අතේ මෙය රැඳිලා තිබීම සුබ ලකුණක් විධියටයි මම සලකන්නේ.
අවසන් වශයෙන් මේ විශිෂ්ට ගමන සඳහා ප්‍රීති රන්දෙණිය මහත්මියගෙන් ලැබුණු දායකත්වයත් මතක් කරමු?
මගේ මේ ස්ථාවර පැවැත්මට ප්‍රධාන හේතුව ඇය. නළුකම වගේ වෘත්තියක යෙදිලා ඉන්න කෙනෙක්ට ඒ අත්වැල නැත්නම් ගොඩනැඟෙන්න අමාරුයි. මම කවදාවත් නළුවව ගෙදර අරන් ගියේ නැහැ. පෞද්ගලික ජීවිතය බොහොම සාමාන්‍ය ආකාරයෙන් ගත කළේ. ඇය නිළියක් වශයෙන් සිනමාවට අවතීර්ණ වෙලා හිටියත් අපේ දරුවන් වෙනුවෙන් ඇය ඒ දේ කැප කළා. අදටත් ඇය දරුවන් හා මා වෙනුවෙන් සියලු දේ පරිත්‍යාග කරලා ලොකු කැපකිරීමක් කරනවා.