කඩවසම් පෙනුමත් රංගනයට ඇති විභවයත් එක මිටකට ගෙන කලාවට පිවිසි ඔහු දශක එක හමාරකට වැඩි කාල සීමාව පුරාවටම විවිධාකාර චරිත හරහා ප්‍රේක්ෂක ආකර්ෂණය නොමඳව ලබා ගන්නට සමත් වූවෙකි. එකකට එකක් වෙනස් චරිත නිරූපණය හරහා චරිතාංග රංගන ශිල්පියෙක් වීමේ සිහිනය හඹා යන ඔහු මේ දිනවල ඔබ හමුවට එන්නේ ඉරගිනි මද්දහනේ මහතුන් ලෙසිනි. මේ අන් කවරකුවත් නොව ජනප්‍රිය නළු චමීර ලියනගේය.
ඉරගිනි මද්දහනේ මහතුන් ඔබට කොයි තරම් විශේෂද කියන එක කියලම කතාව ආරම්භ කරමු?
මම කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා දැන් අවුරුදු 15ක් විතර වෙනවා. මේ කාලය පුරාවටම මට නිහඬ චරිතයක් ලැබුණේ පළමු වතාවට. නැත්නම් මට ලැබුණෙම දුවන, පනින, ගහගන්න බොහොම ක්‍රියාකාරී චරිත. මම මෙතැනදි ලලිත් රෝහිත එදිරිසිංහ අධ්‍යක්ෂවරයාට ස්තුතිවන්ත වනවා මට ඉරගිනි මද්දහනේ මහතුන්ගේ චරිතය ලබා දීම ගැන. මහතුන්ගේ චරිතය අඩුවෙන් කතා කරන චරිතයක් වුණාට ඒ චරිතයට හැඟීම් නිරූපණය හරහා ලොකු කාර්යභාරයක් තිබෙනවා. ඒ වගේම මට මෙවැනි චරිතත් කළ හැකි බව මේ හරහා ප්‍රේක්ෂකයා හඳුනාගත්තා.
කොහොමද ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර?
මහතුන්ට ඇත්තටම ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. බොහෝ අය කියන්නේ මම මහතුන්ගේ චරිතයට ඉතාමත් හොඳින් පණපොවනවා කියන දේ. ඒහි සම්පූර්ණ ස්තුතිය හිමි වෙන්න ඕනෑ අධ්‍යක්ෂවරයාට. අපි සෙට් එකට යන්නේ මැටි ගුළියක් වගේ. ඔහු තමයි ඒ මැටි ගුළිය ලස්සනට අඹලා අවශ්‍ය චරිතය නිර්මාණය කරන්නේ. මහතුන් චරිතය මේ තරම් ප්‍රේක්ෂකයන්ට සමීප වුණේ ඒ නිසා. ඒ වගේම කැමරා අධ්‍යක්ෂ බුද්ධික මංගල, නිෂ්පාදක ඉරෝෂ් කැලුම් විජේසූරිය, තරංගා දිසානායක, තරින්දි ප්‍රනාන්දු, ධනංජය සිරිවර්ධන, සුබුද්ධි ලක්මාලි ඇතුළු මුළු කණ්ඩායමේම සහාය නිසා තමයි ඉරගිනි මද්දහනට මේ තරම් ප්‍රේක්ෂක ආදරයක් හිමි වන්නේ.
මෙවැනි නවකතා ඇසුරින් නිර්මාණ වුණු චරිතවලට පණ පෙවීම අභියෝගයක් නෙවෙයිද?
ඇත්තටම ඉරගිනි මද්දහන කියන්නේ තරංගා දිසානායක මහත්මියගේ කඳුළු කුණාටුව නවකතාව ආශ්‍රයෙන් නිර්මාණය වන ටෙලි නාට්‍යයක්. නමුත් මම ඒ පොත කියවලා නැහැ. මම අවධානය ලබා දුන්නේ තිර පිටපතට. මට පොත කියවන්න අවස්ථාවක් ලැබුණේ නෑ. නමුත් මම ස්ක්‍රිප්ට් එකත් එක්ක මහතුන්ගේ චරිතය ඇතුළේ ජීවත් වුණා. මීට පෙර ඒ නවකතාව කියවලා තිබෙන අයත් මට කියනවා මම රඟපාන්නේ ඔවුන්ගේ සිතේ මැවිලා තිබුණු මහතුන්ගේ චරිතයමයි කියලා. ඔවුන්ගේ ඒ අදහස මට ගොඩක් වටිනවා, මොකද මම නවකතාව කියවලා නැති නිසා. මීට පෙර පොත කියවා තිබෙන ප්‍රේක්ෂකයන් නවකතාව හරහා ඔවුන් මවා ගත්ත මහතුන් විධියටම මම චරිතයට පණපොවනවා කියලා කියද්දි මට ඒක ලොකු සතුටක්.
දශක එකහමාරක් පුරාවට ක්ෂේත්‍රයේ හිටියත් ඔබ බොහොම හිමින් ගමනක් යන්නේ චරිත තෝරා ගැනීමේදි දැඩි සැලකිල්ල නිසාද?
ඇත්තටම ලොකු තෝරාගැනීමක් කරන්නේ නැහැ, මට ආපු පිටපත්වලින් දැනෙන නිර්මාණ තමයි මම භාරගන්නේ. නමුත් වැඩ ගොඩක් ලොකුවට බදාගෙන දවසට ටෙලි නාට්‍ය දෙක තුනක වැඩ කරන ගමන්, එකක වැඩ ඉවර වුණු ගමන් තවත් එකක ෂූටිං යන්න වගේ කාර්යබහුල වෙන්න කැමැති නැහැ. මම එක පාරට කරන්නේ එක ටෙලි නාට්‍යයයි. ඒ කාලය අතරතුර මම මගේ උපරිමය ඒ නිර්මාණයට ලබා දෙනවා. ඒ නිසා තමයි ගොඩක් අයට මම අඩුවෙන් වැඩ කරනවා කියලා හිතෙනවා ඇත්තේ. නමුත් මම කරන වැඩේ හරියට කරනවා නම්, ඒ නිර්මාණයෙන් මට තෘප්තිමත් වෙන්න පුළුවන් නම් එතැනින් එහාට වෙන දෙයක් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ.
නමුත් ඔබ දායක වුණු නිර්මාණ දෙස බලද්දී ඔබ චරිතාංග නළුවෙක් වීමේ අරමුණෙන් වැඩ කරන බවයි පෙනෙන්නේ?
ඇත්තටම මගේ ආසාවත් චරිතාංග නළුවෙක් වීම. ඒ නිසාමද මන්දා මට ලැබෙන්නෙත් විවිධාකාර චරිත. මම කැමැති එකිනෙකට වෙනස් චරිතවලට දායක වෙන්න. මොකද මගේ කැමැත්ත තමයි රඟපාන එක. එකම තැන හිටගෙන දෙබස් උච්චාරණය කරන්න මගේ ආසාවක් නැහැ.
නළුවකුගේ රඳා පැවැත්මට රංගනය හදාරා තිබීම මොන තරම් වැදගත්ද?
හැදෑරීමක් තිබ්බොත් විතරයි අපිට ඕනෑම ක්ෂේත්‍රයක රැඳිලා ඉන්න පුළුවන්. 2010, 2011 වගේ කාලයේදී මම රංගනයට ආධුනිකයෙක්, ඒ කාලේ ඉඳලා බොහොම පොඩි චරිත කරලා කරලා මම අද වෙද්දී ප්‍රධාන චරිතවලට දායක වෙනවා. ඒ ගමන එන්න පුළුවන් වුණේ මම ඒ පිළිබඳව හැදෑරීමක් කරලා තිබෙන නිසා. 2008 Mr Sri Lanka තරගයට සම්බන්ධ වීමෙන් පසුව මම මහේන්ද්‍ර පෙරේරා මහත්මයාගේ රංගන වැඩමුළුවට සහ අනෝජා වීරසිංහ මහත්මියගේ අභින වැඩමුළුවට සහභාගි වුණා. ඒ දේවල්වලින් තමයි මට තේරුණේ රංගනය කියන්නේ නිකම්ම නිකං දෙබස් උච්චාරණය කරන
එක නෙවෙයි කියන දේ. අපේ පවුලේ කිසිම කෙනෙක් මේ ක්ෂේත්‍රයේ නැහැ. මම තනියම ආපු ගමනක් මේක. හැදෑරීමක් කළේ නැත්තම්, ෆිල්ම් බැලුවේ නැත්තම්, පොත් නොකිව්වා නම් අපිට හැමදාම එකම විධියට තමයි රඟපාන්න වෙන්නේ. දිගටම රඟපාද්දී කාලෙකදි අපේ ඇඟ ඇතුළේ තිබෙන ඇක්ෂන් අවසන් වෙනවා. හැබැයි අපි යාවත්කාලීන වෙනවා නම් ඒ පිළිබඳව අධ්‍යයනයක් කරනවානම් අපිට ඒකාකාරි නොවන රංගනයක යෙදෙන්න පුළුවන්. හැමදාම එකම විධියට රඟපාද්දී කාලයක් යද්දී ප්‍රේක්ෂකයන්ට වුණත් එපා වෙනවා.
බහුතරයකට සාපේක්ෂව ඔබ මාධ්‍ය වැඩසටහන්වලට සහභාගි වන්නේ බොහොම කලාතුරකින්?
මම දායක වෙන ටෙලි නාට්‍යයක් සම්බන්ධයෙන් සම්මුඛ සාකච්ඡාවක් හෝ වෙනත් වැඩසටහනක් තිබුණොත් මම අනිවාර්යෙන් සම්බන්ධ වෙනවා. හැබැයි නිතරම ඒ විධියේ වැඩසටහන්වලට සම්බන්ධ වෙන්නේ නැහැ. චැනල් තමයි අපිව ජනතාව අතරට අරගෙන යන්නේ. ඒ නිසාම මොකක් හෝ නිර්මාණයක් ගැන කතා කරන්න තිබෙනවා නම් මම ඒ වෙනුවෙන් අනිවාර්යයෙන්ම මගේ දායකත්වය දෙනවා. ඒ හැරුණුවිට නිර්මාණ ගැන කතා කරන්න දේවල් නැති අවස්ථාවල මම එහෙම සම්බන්ධ වෙන ප්‍රමාණය බොහොම අඩුයි.
2025දී එන්න තිබෙන ඔබේ අලුත් නිර්මාණ ගැනත් කතා කරමු?
ඒ ගැන නම් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනෑ. ලංකාවේ මෙතෙක් නොකළ ආකාරයේ සුපිරිම වැඩක් අපි කළා “වීදුරු තිර” නමින්. ඒක කන්සෙප්ට් එක සහ නළු නිළි වරණය ශලිනි තාරකාගේ. ශාන් ජයරත්න තමයි එහි අධ්‍යක්ෂවරයා. නිෂ්පාදනය රුෂාන් පෙරේරාගේ. ඒක එළියට එනකම් බොහොම කැමැත්තෙන් බලාගෙන ඉන්නේ. එහි මම දායක වුණු චරිතය මීට කලින් මම කිසිම දවසක නොකරපු ආකාරයේ එකක්. මගේ චරිත ගොන්නට ඒ වගේ චරිතයකුත් එකතු වීමම මට ලොකු සතුටක්. ඒ වෙනුවෙන් මම ශලනිට, ශාන් ජයරත්නට සහ කැමරා අධ්‍යක්ෂ ඉන්දික ලක්මාල් ඇතුළු පිරිසට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඊට අමතරව තාරක අදිකාරිගේ අලුත්ම නිර්මාණයක් එනවා අළුපාට මිනිස්සු කියලා. ඒ නිර්මාණය ගැනත් ලොකු බලාපොරොත්තුවක් තිබෙනවා. ඊට අමතරව ලක්ෂ්මන් පුෂ්පකුමාර මහත්මයාගේ මීදුම් තරණය චිත්‍රපටයත් ඉදිරියේදී තිරගත වෙන්න තිබෙනෙවා. ඔය වගේ එකිනෙකට වෙනස් හොඳ වැඩ කිහිපයක්ම ඉදිරියේදී එනවා.
අවසන් වශයෙන් චමීර ලියනගේ කියන දක්ෂ රංගන ශිල්පියාට හොඳම නළුවා සම්මානය ගැන හීනයක් තිබෙනවාද කියලා දැනගන්න කැමැතියි?
ඒක තමයි ජීවිතයේ ටාර්ගට් එක. ඒ ගැන අහද්දිත් ඇඟේ හිරිගඩු පිපෙනවා. නළුවෙක්ට නළුකම වෙනුවෙන් සම්මානයක් ලැබෙනවා කියන්නේ ලොකු උත්තේජනයක්. ඒක තරුණ කාලෙම ලැබෙනවා නම් තවත් හොඳයි. මගේ ජීවිතයේ සිහිනය ඒක. ඒ වෙනුවෙන් තමයි බලාගෙන ඉන්නේ.
අක්ෂි මාපා වීරසිංහ