නිම්මි මනෝහාරි නම් නවක සුරූපී රංගන ශිල්පිනිය කලා ලොවේ තමන්ටම අනන්‍ය වූ රංගන පෞරුෂයක් ගොඩනඟාගත් රංගන ශිල්පිනියක්. ඇය මේ වනවිට සීමිත ටෙලිනාට්‍යය ගණනකට පණ පොවා තිබුණද රසික හදවත් තුළ රැන්දූ මතක අසීමිතයි. මෙවර හදගැස්මට මේ සොඳුරු කතාබහ ඇයගෙන්.
මේ දිනවල ඔබේ අලුත් වැඩකටයුතු කොහොමද?
මේ දිනවල ස්වර්ණවාහිනි නාලිකාවේ මම රංගන දායකත්වය ලබා දෙන “පිරිමි ළමයි” ටෙලිනාට්‍ය විකාශය වනවා. ඒ වගේම තව අලුත් වැඩකටයුතු කිහිපයකට ආරාධනා ලැබිලා තිබෙනවා. තවම ඉතින් ඒ දේවල් කතාබහ කරමින් තමයි තිබෙන්නේ. ඉතින් මේ දිනවල ප්‍රේක්ෂකයන්ට නරඹන්න පුළුවන් ටෙලි නාට්‍යයක් විධියට විකාශය වන්නේ “පිරිමි ළමයි” ටෙලි නාට්‍ය විතරයි.
තරුණ රංගන ශිල්පිනියක් විධියට මුහුකුරා ගිය බිරියකගේ චරිතයක් “පිරිමි ළමයි” ටෙලිනාට්‍ය තුළ නිරූපණයේ අභියෝගය මොනවගේද?
මගේ සත්‍ය වයසට වඩා මුහුකුරා ගිය පෙනුමක් සහිත චරිතයක් තමයි එහිදී මට නිරූපණයට තිබෙන්නේ. ඒ කියන්නේ මට වඩා අවුරුදු දහයක් පහළොවක් වැඩිමහල් මැදිවියේ පසුවන කාන්තාවකගේ චරිතයක්. ඉතින් ඒ දේ මට ලොකු අභියෝගයක් සහ බොහෝදෙනකු මේ වගේ වයසකදී ඒ වගේ චරිතයක් ලැබුණම රිජෙක්ට් කරනවා. නමුත් මම ඒ දේ භාර ගත්තා. ඉතින් ඒ වගේ අභියෝගාත්මක චරිතයකට පණපොවන්න ලැබීම ගැන මට සතුටුයි. අඩුපාඩුකම් තිබුණත් අධ්‍යක්ෂවරයාගේ හා තිර පිටපත් රචකයාගේ මඟපෙන්වීම් යටතේ ඒ දේවල් හදාගෙන පුළුවන් උපරිම දායකත්වය ටෙලිනාට්‍යයට ලබා දෙන්න තමයි මම උත්සාහ කරන්නේ.
මැණිකාගේ චරිතය හරහා ඉදිරියේදී ඔබේ චරිත නිරූපණ දිශානතියේ වෙනසක් වේවිද?
සමහරවිට ඒ දේ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. මම විවිධාකාර චරිතවලට පණපොවන්න කැමැතියි. නමුත් සමහර වෙලාවට අපිට ලැබෙන චරිතවලට රංගන දායකත්වය ලබාදීමේදී අපි එක චරිතයක් කළොත් ඒ හා සමාන චරිතම බොහොමයක් අපට දිගටම ලැබෙනවා. අපි කොතරම් විවිධ චරිත නිරූපණයට ආශා කළත් අපට කරන්න වෙන්නේ ආරාධනා ලැබෙන චරිතයක්නේ. ඉතින් ඒ චරිතය අනෙක් චරිතවලට වඩා වෙනස්ව කරන්නට අධ්‍යක්ෂවරයා හා තිර පිටපත් රචකයා සමඟ කතා කර මම උපරිම උත්සාහ කරනවා. ඉතින් රැල්ලට යන ස්වභාවයෙන් මිදෙන්න තමයි මම උපරිම උත්සාහ කරන්නේ.
ඔබව වසන්ති චතුරාණි නම් ප්‍රවීණ රංගන ශිල්පිනියට සමාන කරමින් සමාජ මාධ්‍ය හරහා සංසරණය වන පෝස්ටුව ගැන මොකද හිතෙන්නේ?
ඒ ගැන මට ලොකු සතුටක් තිබෙනවා. විශේෂයෙන් එහි මම හොඳ නරක කමෙන්ට්ස් දෙවර්ගයම තිබුණු බව දැක්කා. සමහරු කියල තිබුණා වසන්ති චතුරාණි මහත්මිය හා සමානවම මැයගේ දක්ෂතාත් ඉදිරිපත් කරන්න පුළුවන් නිර්මාණ තවම මැයට හම්බවෙලා නෑ කියලා. ඒ වගේම ඉදිරියට එයි කියන කාරණා කියලා තිබුණා. ඉතින් මම සතුටට පත්වන කාරණාව තමයි මම පෞද්ගලිකව හමුවෙලා නැති හඳුනන්නේ නැති වසන්ත දුග්ගන්නාරාල වගේ ප්‍රවීණ කලාකරුවෙක් මම වගේ නවකයකු ගැන කුමක් හෝ යමක් සටහන් කළා කියන දේ. ඉතින් ඒ දේ මට හරිම සතුටක් සහ ඒ ගැන මම නිහතමානීව ආඩම්බර වනවා. මම වගේ නවකයකු ගැන නිර්ලෝභීව සංසන්දනාත්මකව එවැනි දෙයක් පැවැසීම ගැන ඇත්තටම මම ඔහුට මේ අවස්ථාවේ නිහතමානීව ස්තූතිවන්ත වනවා.
සංචාරක ක්ෂේත්‍රයේ නිරත වූ රැකියාව අත්හැර කලා ක්ෂේත්‍රයට පැමිණීම ගැන ඔබ තෘප්තිමත්ද?
ඔව්. මොකද මම අහම්බයකින් මගේ අම්මාගේ බල කිරීම මත තමයි ක්ෂේත්‍රයට පැමිණෙන්නේ සහ නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයට සම්බන්ධ වන්නට කලිනුත් මට එක එක අවස්ථාවන් ලැබුණත් මම ඒ දේවල් රිජෙක්ට් කර කර හිටියේ. කුමන හෝ කාරණාවක් මත මම අහම්බයකින් හෝ කලාවට සම්බන්ධ වීම පිළිබඳව ඉතාම තෘප්තිමත්. එයට හේතුව තමයි. බොහෝදෙනකුට නොලැබෙන ආදරයක් සහ පිළිගැනීමක්
සමාජයෙන් මට හරි අපූරුවට ලැබෙනවා. ඉතින් ඒ ගැන මම හරිම සතුටු වනවා. ඉතින් කෙනකුට ඒ දේවල් හොඳ විධියට භාවිත කරන්නත් අයහපත් විධියට භාවිත කරන්නත් පුළුවන්. මගේ ගමන මම ඉතාමත් හෙමින් කිසිම කලබලයක් නැතිව ලැබෙන දේවල් හරිම පරිස්සමින් භාවිත කරමින් යන කෙනෙක්. ඉතින් සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවට තිත තබලා රංගන ක්ෂේත්‍රයට සම්බන්ධ වීම ගැන සතුටුයි.
ඔබ ස්වභාවික සුන්දරත්වය රැකගත් තරුණියක් විධියට නූතන වයිට්නින්ග් උන්මාදය දකින්නේ කෙසේද?
මම ශරීරයට බාහිරින් එන්නත් කරන, ආලේප කරන සුදු වීමේ අහිතකර නිෂ්පාදන සම්බන්ධව සම්පූර්ණයෙන්ම විරුද්ධ කෙනෙක්. ගැහැනු ළමයකුට උපතින් සුන්දරත්වයක් ලැබිල තිබෙනවා සහ ඒ දේ ඔපමට්ටම් කරගෙන ආරක්ෂා කරගන්න තමයි උත්සාහ කරන්න ඕනෑ. එකිනෙකාට අනන්‍ය වූ ලස්සනක් තමයි හැමෝටම තිබෙන්නේ. තමන්ට අනන්‍ය වූ ස්වභාවයක් තිබියදී කුමන හෝ හේතුවක් මත ඒ දේ වෙනස් කරගන්නවා
කියන්නේ හරිම අනුවණ ක්‍රියාවක් විධියට තමයි මම සලකන්නේ. තාක්ෂණයේ දියුණුවත් සමඟ අපට ආලේප කරන දේවල් ගැන ගූගල් හරහා සොයා බලන්න පුළුවන්. විදේශිකයන් අපේ රටට ඇවිත් උදේ වරුවේ හවස් වරුවේ අව්වේ ඉඳලා අපේ කලර් එක ගන්න ඔවුන් පුදුම විධියට උත්සාහ කරනවා. ඒ වර්ණය අපට උපතින්ම ලැබී තිබියදී අපේ අය බලන්නේ සුදුම සුදු වෙලා මුහුණේ තිබෙන ලස්සන පැහැය නැති
කරගන්නනේ. ඒ ගැන හරිම කනගාටුයි. ඒවායේ පසුකාලීන ප්‍රතිඵල තුළ භයානක රෝග පවා හටගන්න පුළුවන්. මම නුවර හැදුණ වැඩුණ කෙනෙක් සහ මගේ අම්මා හෙදියක්. ඉතින් නිරෝගී කෙනකු වන්නේ කොහොමද කියන සෞඛ්‍යාරක්ෂිත පුරුදු ගැන අවබෝධයක් මට පොඩි කාලයේ ඉඳන්ම ගෙදරින්ම ලැබුණා ඉතින් මට අවශ්‍යය මගේ සුන්දරත්වයක් තිබේ නම් ඒ දේ ආරක්ෂා කරගෙන මම විධියට පොළොවෙ පය ගහලා ජීවත් වෙන්න තමයි.
ඔබ රංගන පෞරුෂයේ වැඩි දියුණුව සඳහා විශේෂ අධ්‍යයනයන් සිදු කරනවාද?
මම නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයට පිවිසෙන්න කලින් ලැබුණු ආරාධනා ප්‍රතික්ෂේප කරන්න එකම හේතුව තමයි මම විශ්වාස කරන්නේ අපි ඕනෑම ක්ෂේත්‍රයක නියැලෙද්දී ඒ ගැන අපට විශේෂ ප්‍රාගුණ්‍යක් තිබෙන්න ඕනෑ කියලා. සුළු වශයෙන් හෝ පාසල් විෂය මාලාව තුළ හෝ මම රංගනය කියන දේ ගැන හැදෑරීමක් කර තිබුණා නම් මම ඒවා ප්‍රතික්ෂේප නොකරන්න තිබුණා. මම නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ වැඩකටයුතු
කරන අතරතුරේ මට දැනුණ දෙයක් තමයි මම රංගනය ගැන කොහෙන් හෝ අධ්‍යයනය කළ යුතුමයි කියන දේ. නාඩගම්කාරයෝ ටෙලිනාට්‍ය තුළදී මට ප්‍රසන්නජිත් අබේසූරිය මහත්මයාගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. ඉතින් ඔහුගේ වැඩමුළුවලට පවා මට සහභාගි වන්නට පුළුවන් වුණා. ඉන් පසුව මම කිසිම වැඩක් භාරගන්නේ නැතිව මාස තුනක් හතරක් වගේ කාලයක් ගෙන සද්ධා මංගල සූරියබණ්ඩාර මහත්මයාගේ
ප්‍රධානත්වයෙන් පවත්වාගෙන යන ඉම්පාස් (IMPAS) අධ්‍යයන ආයතනයෙන් රංගනය පිළිබඳ පාඨමාලාව හැදෑරුවා. විශේෂයෙන්ම කියන්න ඕනෑ සද්ධා මංගල සූරියබණ්ඩාර මහත්මයා සහ ඔහුගේ බිරිය මාව අදටත් අත්හරින්නේ නැතිව මට මඟපෙන්වීම් කරනවා. ඒ වගේම මම ෆිල්ම්ස් ගොඩක් බලනවා සහ ඒ දේවල්වලිනුත් ඉගෙන ගන්නවා. ඒ වගේම මම හිතනවා සමාජයක් ආශ්‍රය කරන එකම රංගනය වැඩි දියුණු කරගන්න පුළුවන් හොඳ උපක්‍රමයක් කියලා.
ඔබට ලැබෙන රසික ආදරය දැනෙන්නේ කොහොමද?
මම නිහඬව මගේ වැඩකටයුතු කරගෙන හරිම හෙමින් ගමනක් යන කෙනෙක්. මම නිතර රූපවාහිනියේ පේන්න නැති වෙන්න පුළුවන්. නමුත් මට තිබෙන සතුට තමයි මම කරපු සීමිත ටෙලිනාට්‍ය සංඛ්‍යාවෙනුත් මාව ඒ ඒ චරිතවලින් ප්‍රේක්ෂකයන් හඳුනාගන්නවා කියන දේ. ඉතින් කොහේ ගියත් ප්‍රේක්ෂකයන් ඇවිත් කතා කරනකොට හිතට දැනෙන සතුට වචනවලට පෙරළන්න අමාරුයි.
රුවිනි අමරකෝන්