මට ලැබුණු වටිනාම දේ දිනක්ෂි - සාරංග දිසාසේකර




සාරංග මේ දවස්වල ලංකාවේ නැහැ. කොහෙද ගියේ? ඇයි එහෙම යන්න හේතුව?

ඩුබායිවල “මියැසි අරුමැසි”‍ නමින් ප්‍රසංගයක් පැවැත්වුවා. මේ ප්‍රසංගයේ මම පූරක විදිහට කටයුතු කළා. සුනිල් එදිරිසිංහ මහතා, අමරසිරි පීරිස් මහතා වගේම ප්‍රියා සූරියසේන මහතාගේ දියණිය ඉරෝෂි සූරියසේන සහ පවන් මල්ලවාරච්චිත් මෙම ප්‍රසංගයට සහභාගි වුණා. නාලක සජී ජයසිංහගේ සංගීත කණ්ඩායම වාදනයෙන් සම්බන්ධ වුණා. ඒක ඉතා සාර්ථක ප්‍රසංගයක්. ඉතින් මේ දවස්වල මමත් දිනක්ෂිත් බබාත් තුන්දෙනාම ඩුබායිවල ඉන්නෙ.


ඩුබායිවලදී ඔයාටත් දිනක්ෂිටත් ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ප්‍රසංගය ජනවාරි 25 වැනිදා පැවැත්වුවා. ඉතාමත් හොඳ ප්‍රතිචාර තිබුණා. ඒක ඉතා සාර්ථක ප්‍රසංගයක්. දිනක්ෂි නම් ප්‍රසංගයට සම්බන්ධ වුණේ නැහැ. නමුත් ප්‍රේක්ෂකාගාරයේ ඉඳලා එයත් ප්‍රසංගය නැරඹුවා. මම තාත්තාගේ “ආදර නිල් දෑසේ”‍ ගීතය ගායනා කරද්දී නොහිතපු විදිහට බබා වේදිකාවට ආවා. ඒක හරි සුන්දර අත්දැකීමක්. ඩුබායි රටේ ජීවත් වෙන අපේ ආදරණීය මිනිසුන්ගෙන් ඉතා හොඳ ප්‍රතිචාර ප්‍රසංගයට වගේම අපිටත් ලැබුණා.


පහුගිය දිනවල නිවේදකයෙක් ලෙසින් ලබපු අත්දැකීම් කොහොමද?

නිවේදකයෙක්ට වඩා වැඩසටහන් පූරකවරයෙක් විදියට කටයුතු කරන්න මට බොහෝ අවස්ථාව ලැබුණා. කාලයක් තිස්සේ මම කරපු දේවල් ගැන හිතලා බලද්දි රියැලිටි වැඩසටහන්වලට, අවසාන දැවැන්ත රියැලිටි තරගවලට පූරකවරයෙක් විදිහට කටයුතු කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒක ලොකු අත්දැකීමක්. රණවිරු රියල් ස්ටාර් අදියර කිහිපයකදීම මට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. මේ වෙද්දී හිරු ස්ටාර් අවසන් මහා තරග තුනක්ම කරලා තියෙනවා. හිරු ස්ටාර් සජීවී අත්දැකීමක් නිසා හැම වැඩසටහනක්ම අලු‍ත් අත්දැකීමක්. ඒ වගේම ලොකු වගකීමක්. ලබපු අත්දැකීම් හා ප්‍රතිචාර එක්ක ඒක සාර්ථක වුණා කියලා මට හිතෙනවා.


වැඩි කැමැත්ත තියෙන්නෙ සාරංග තුළ ඉන්න රංගන ශිල්පියාටද? ගායකයාටද? නිවේදකයාටද?

වැඩි කැමැත්ත තියෙන්නෙ මොකටද කියලා නම් මට එහෙම වෙන් කරන්න අමාරුයි. මම කරන දේට උපරිම සාධාරණයක් කරන්න හැම මොහොතකම උත්සාහ ගන්නවා. මා තුළ ඉන්න රංගන ශිල්පියාට, ගායකයාට, පූරකවරයාට මම කැමතියි. ගායනය පැත්තට වැඩි කාලයක් යොදවන්න ඕනෑ කියලා හිතිලා තියෙනවා. තව දින කිහිපයකින් මගේ අලු‍ත් ගීතයක් එළි දක්වන්නත් බලාපොරොත්තු වෙනවා. මේ වසරේ මගේ ගීත කිහිපයක්ම කරන්නත් බලාපොරොත්තුවක් තියෙනවා.


ඔයා තුළ ඉන්න ගායන ශිල්පියාට වැඩි තැනක් ලැබෙන්නෙ නැත්තෙ ඇයි?

ඒ ගැන ටිකක් වැඩියෙන් සැලිකිලිමත් වෙලා තියෙනවා. ඉදිරියේදී මගේම ගීත කිහිපයක්ම එළි දක්වන්න බලාපොරොත්තුවක් තියෙනවා. බලමු... සමහර විට ඒක සාර්ථක වේවි. මා තුළ ජීවත් වෙන ගායකයාටත් මම හරි ආසයි.


නැවතත් නිර්මාණයක් නිෂ්පාදනය කරන්න අදහසක් නැද්ද?

මම නිෂ්පාදනය කළ "Take care" ටෙලි නාට්‍යයට ඉතා හොඳ ප්‍රතිචාර ලැබුණා. අදටත් "Take care" නිර්මාණය ගැන කතා කරන පිරිස වැඩියි. ඩුබායි රටේදිත් ඒ ලබපු අත්දැකීම් නිසා තවත් හොඳ නිර්මාණයක් නිෂ්පාදනය කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒ බලාපොරොත්තුව දැන් මාස කිහිපයක් තිස්සේ හිතේ ඇතිවුණු බලාපොරොත්තුවක්. ඉතින් හොඳ පිටපතක්, හොඳ ව්‍යාපෘතියක්, ලැබුණොත් නැවතත් හොඳ ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය වේවි.


මේ දිනවල දායක වෙන නිර්මාණ මොනවාද?

මේ දිනවල විකාශනය වන ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතාගේ “ආලවන්ති”‍ ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ වගේම මේ දිනවල විකාශනය වන "Rat" ටෙලි නාට්‍යයටත් සම්බන්ධ වුණා. මේ ටෙලි නාට්‍ය වල රූගත කිරීම්වලට දායක වෙනවා. ඊට අමතරව චාමර ජයවීර මහතා අධ්‍යක්ෂණය කරන අලු‍ත් ටෙලි නාට්‍යයකටත් මමත් දිනක්ෂිත් සම්බන්ධ වුණා. ඒක හරි ලස්සන කතාවක්. ඉදිරියේදී ඒ ටෙලි නාට්‍යයත් දැක බලාගන්න අවස්ථාව ලැබේවි. ඒකෙ මුල් අදියරේ රූගත කිරීම් අවසන් කරලයි අපි දෙන්නා ඩුබායි ආවේ. ඒක වෙනස්ම විදිහේ කතාවකින් නිර්මාණ වුණු ටෙලි නාට්‍යයක්.


සාරණ්‍යා වෙනුවෙන් ඔය කාර්යබහුල ජීවිතේ ඉඩක් වෙන් කරගන්නෙ කොහොමද?

මේ කාර්යබහුල තත්වයත් එක්ක කොහොම හරි සාරණ්‍යා වෙනුවෙන් වෙලාව වෙන් කරගන්න හැම වෙලේම උත්සාහ කරනවා. මේ ගෙවෙන්නෙ සාරණ්‍යාගේ ලස්සනම කාලයයි. සමහර දවස්වලට ප්‍රායෝගිකව එයාට වෙලාව වෙන් කිරීමට හරිම අමාරුයි. නමුත් පුළුවන් හැමවෙලේම මාත් දිනක්ෂිත් එයත් එක්ක කාලය ගත කරනවා. පහුගිය දවස්වල මායි දිනක්ෂියි දෙන්නම ගොඩක් කාර්යබහුල වුණා. ඒ නිසා දුවත් එක්ක ඉන්න ලැබුණු වෙලාව සමහර වෙලාවට අඩු වුණාදෝ කියලා හිතෙන තැන් තිබුණා. ඒ නිසාම මේ දවස්වල මෙහෙම ගමනක් ඇවිත් අපි එයා වෙනුවෙන් වැඩි කාලයක් වෙන් කරනවා. පුළුවන් හැම වෙලේම එයා එක්ක ගත කරන්න පුළුවන් විදියට අපි කාලසටහන හදාගන්න උත්සාහ කරනවා. එයාව පුළුවන් හැම වෙලේම අපි පාසලට එක්කගෙන යනවා. නැවතත් ගෙදර ගේනවා. කොළඹ රූගත කිරීම් තියෙන වෙලාවට පොඩි හරි විවේකයක් ලැබුණොත් ඉක්මනින් ගෙදර ඇවිත් එයාව බලලා චුට්ටක් එයත් එක්ක ඉඳලා නැවතත් රූගත කිරීම් කරන තැනට යනවා. එයාව එක්ක යන්න පුළුවන් රූගත කිරීම් කරන තැන්වලට එයාව ගෙනියනවා. ඉඩ ලැබෙන හැමවෙලේම වීඩියෝ කෝල් එකකින් හරි එයා එක්ක සම්බන්ධ වෙන්න උත්සාහ කරනවා.


ජීවිතේ ලැබුණු වටිනාම දේ?

මට ලැබුණු වටිනාම දේ දිනක්ෂි. ඒ නිසා සාරණ්‍යයත් මගේ ජීවිතයට ආවා. ඉතින් ඒ දෙන්නා තමයි මගේ ජීවිතේ වටිනාම දේවල් වෙන්නෙ.


ජීවිතේ ලස්සනටම ගෙවුණු කාලය කොයි කාලයද?

දැනුත් හරි සුන්දර කාලයක් ගත කරනවා. බබා අපි දෙන්නා අතරට ආවට පස්සෙ ජීවිතේ තව ලස්සන වුණා කියලා මට හිතෙනවා. දිනක්ෂි මගේ ජීවිතයට එකතු වුණාට පස්සෙත් එහෙම වෙනසක් වුණා. බලමු ජීවිතේ ඉස්සරහට ගලාගෙන යනවා. අපි පුළුවන් හොඳට ජීවත් වෙන්න උත්සාහ ගන්නවා.


2025 වසරේ තියෙන ලොකුම බලාපොරොත්තුව?

සිනමාව ඇතුළේ කුමක් හෝ පවතින යමක් කරන්න බලාපොරොත්තු වෙනවා. සිනමාව පැත්තට වගේම ගායනය පැත්තෙන් නිර්මාණ කිහිපයක්ම කරන්න බලාපොරොත්තු වෙනවා. පෞද්ගලික ජීවිතේ දිනක්ෂි එක්ක බබා එක්ක සතුටින් කාලය ගත කරමින් දෙමව්පියන්වත් බලාගෙන හැමෝම එක්ක සතුටින් කාලය ගත කරන්න බලාපොරොත්තු වෙනවා.



Previous Post Next Post