එමාෂා සෙනෙවිරත්න’ නවක පරපුරේ සුරූපි දක්ෂ රංගන ශිල්පිනියක්. ඇයගේ හැඩකාර, දඟකාර ටෙලි තිරයේ මතක සටහන් රසික හදෙහි නොමැකෙන සේ මතකය ගෙත්තම් කළ බව කාටත් නොරහසක්. ඉතින් මෙවර හදගැස්මට මේ සොඳුරු කතාබහ ඇයගෙන්.
ඔබේ අලුත් වැඩකටයුතු ගැන කතා කරමු?
මේ දවස්වල මම දෙරණ නාළිකාවේ විකාශය වන ප්‍රාර්ථනා ටෙලි නාට්‍යය සමඟ තමයි එකතු වෙලා ඉන්නේ. ඉතින් ප්‍රධාන චරිතය වන ‘ප්‍රාර්ථනා’ට තමයි මම එහි පණ පොවන්නේ. සතියේ දවස් පහේම රාත්‍රි 9.30ට ඒ ටෙලි නාට්‍ය නරඹන්න පුළුවන්. අලුත් වැඩකටයුතු කිහිපයකට ආරාධනා ලැබිලා තිබෙනවා නමුත් ඒවා තවම පටන් ගත්තේ නෑ.
‘ප්‍රාර්ථනා’ ටෙලි නාට්‍යයේ ඔබේ රංගනයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ප්‍රතිචාර නම් ගොඩක් ලැබෙනවා. යන යන තැන හැමෝම ‘ප්‍රාර්ථනා’ කියලා මට කතා කරනවා. ඉතින් මේ දවස්වල බොහෝදෙනකු මේ නාට්‍යය නරඹනවා කියලා මට හිතෙනවා. වයස් භේදයකින් තොරව ප්‍රතිචාර ලැබෙනවා. මගේ යූ ටියුබ් චැනල් එකේ වීඩියෝ එකක් දැම්මත් ‘ප්‍රාර්ථනා’ ටෙලි නාට්‍යයේ ෂූටින් ‘Volg’ එකක් අරගෙන එන්න කියනවා.
වෙනත් වෘත්තියක නියැළීමේ සුදුසුකම් තිබියදී කලා ක්ෂේත්රයට පැමිණීම ගැන ඔබ තෘප්තිමත්ද?
ඇත්තටම මම කලාවට පැමිණෙන්නේ වෘත්තියක් විධියට නොවෙයි. රංගනය කියන්නේ මම ආශාවෙන් ඉඳපු දෙයක්. මම නොහිතපු අවස්ථාවක තමයි මට රංගනයට පළමු වැනි අවස්ථාව ලැබෙන්නේ. මම ගිය පළමුවැනිම ස්ක්‍රීන් ටෙස්ට් එකෙන් මාව සිලෙක්ට් වුණා. 2018 වර්ෂයේ ‘දෙවැනි ඉනිම’ ටෙලි නාට්‍යයට තමයි මුල්ම අවස්ථාව ලැබුණේ.
ඉතින් ලැබුණු අවස්ථාව මගේ අම්මගේ තාත්තගේ අවසරයත් ඇතුව මම ආදරයෙන් භාර ගත්තා. නමුත් අධ්‍යාපනය ලබන එකත් ප්‍රධාන වශයෙන් කරගෙන ගියා. ඉතින් ඒ වගේම දැන් අවුරුදු හයක් පුරා මම රංගන කටයුතුවලට දායක වෙලා ඉන්නවා. ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙද්දී තව වැඩකටයුතු කරන්න ආශාවක් ඇති වෙනවා. මම රංගනයත්, මගේ අධ්‍යාපන කටයුතුත් දෙකම සමබරව කරගෙන යනවා.
රංගනයට අමතරව ඔබ අධ්‍යාපනය ලත් ක්ෂේත්රයේ වෘත්තියකටත් යොමු වී සිටිනවාද?
මම අධ්‍යාපනය ලත් කේෂ්ත්‍ර හරහාත් රැකියාවක් කරගෙන යනවා. ඉතින් ඒ ක්ෂේත්රයෙන් ඉදිරියට යන්න තමයි මගේ අදහස තිබෙන්නේ. ඉතින් ඒ වගේම රංගනයටත් මම මගේ ජීවිතයේ ලොකු ඉඩක් දුන්නා. ඒ වගේම මම ඉගෙන ගත්ත ක්ෂේත්රයටත් අවස්ථාවක් මම ලබා දෙන්න ඕනෑ කියලා හිතනවා. ඉදිරියට ඒ ක්ෂේත්‍ර දෙක හරහාම සමබරව වැඩකටයුතු කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා සහ ඉදිරියට තමයි ඒ ගැන කියන්න පුළුවන්.
ඔබ සමාජ මාධ්‍ය තුළ සක්‍රිය රංගන ශිල්පිනියක් ලෙස සමාජ මාධ්‍ය ගැන ඔබේ අදහස?
සමාජ මාධ්‍ය හොඳ විධියට භාවිත කරනවා නම් අනවශ්‍ය විධියට කිසිවකු ඒ තුළින් රිදවන නරක කමෙන්ට් දමන්නේ නැති නම්, ඒ තුළ අනෙකාගේ දියුණුව දැක සතුටු වෙන්න පුළුවන් නම් සමාජ මාධ්‍ය කියන්නේ හොඳ දෙයක්. මුහුණට හමුවෙන්න නොහැකි වුණත් මිනිසුන්ට එකට සම්බන්ධ වෙන්න පුළුවන් හොඳ තැනක්. ආර්ටිස්ට් කෙනකු මුහුණට හමුවන්න නොහැකි වුණත් කමෙන්ට් එකකින් මැසේජ් එකකින්, සමාජ මාධ්‍ය ඔස්සේ සම්බන්ධ වෙන්න පුළුවන්. හැමෝම යහපත් විධියට ඒ දේ භාවිත කරනවා නම් සමාජ මාධ්‍ය ගොඩක් හොඳ දෙයක්. මමත් සෝෂල් මීඩියා යූස් කරනවා සහ කමෙන්ට් කියවනවා වගේම මට පුළුවන් විධියට රිප්ලයි කරනවා. ඉතින් ඒ රසික කමෙන්ට්ස් දැක්කම මටත් සතුටුයි. මම රිප්ලයි කළාම එයාලටත් සතුටුයි.
බොහෝ රසිකයන් ඔබ දක්ෂ, ලස්සන, නිහතමානී, උගත් රංගන ශිල්පිනියක් ලෙස ඔබට ආදරය දක්වනවා?
ඒ ගැන මට නිහතමානී සතුටක් තිබෙනවා. මොකද මාව මුණ ගැහෙන බොහෝ දෙනකු මට කියන්නේ මම හරි නිමතමානී ආඩම්බර නැති කෙනෙක් කියලා. ඉතින් මම කොතැනක ගියත් කවුරු කතා කළත් කතා කරනවා සහ හිනා වෙනවා. ෆොටෝ එකක් ගමුද ඇහුවොත් මට පරක්කු වුණත් මම ඉන්නවා. මම හිතන්නේ අපි එහෙම වෙන්න ඕනෑ. අපි ඉහළට යන්න යන්න නිහතමානී වෙන්න ඕනෑ.
බොහෝ නවක රංගන ශිල්පීන් ශිල්පිනියන් ඉතාම කෙටි කලකින් ජනප්‍රිය වුවද ක්ෂේත්රයේ රැඳෙන්නේ නෑ නේද?
ඇත්තටම වර්තමානයේ ක්ෂේත්රයට පිවිසෙන්නට බොහෝ මාර්ග විවෘත වෙලා තිබෙනවා. සෝෂල් මීඩියාවල ටිකක් ජනප්‍රිය වුණාම බොහෝදෙනකුට රංගනයට අවස්ථාවක් ලැබෙනවා.
නමුත් ඒ ලැබෙන අවස්ථාව පළමු වරට ලබා ගත්තට පසු එතැනින් එහා ගමන තමන්ටම තමයි තීරණය කරන්න පුළුවන් වෙන්නේ. ක්ෂේත්රයේ රැඳිලා ඉන්න නම් හැකියාවක් තිබෙන්න ඕනෑ. ඒ වගේම ඒ හැකියාව දියුණු කර ගන්න, පෝෂණය කර ගන්න තමන් දක්ෂ වන්න ඕනෑ සහ හැකියාව ඔප මට්ටම් කර ගන්නත් ඕනෑ.
ආදරය හා විවාහය ගැන ඔබේ අදහස?
විවාහය කියන දේ දෙවිධියකට සිදුවෙනවා. යෝජිත විවාහ වගේම ආදරය කරලත් විවාහ වෙනවා. මම වැඩිපුරම කැමැති ආදරය කරලා විවාහ වෙන්න තමයි. ඒ දේ කෙනාගෙන් කෙනාට වෙනස් වන්න පුළුවන්. නමුත් ආදරය කරලා විවාහ වෙද්දී දෙන්නට දෙන්නා යම් කාලයක් ආශ්‍රය කරලා හොඳින් හඳුනාගෙන ඒ කෙනා සමඟ ජීවිතය ගෙවන්න පුළුවන්ද කියලා තේරුම් අරගෙන ඉදිරියට යන්න පුළුවන්. ඉතින් එතැනින් එහාට සිදුවන විවාහය සාර්ථක එකක් වෙනවා කියලා මම හිතනවා.
මෑතකදී ඔබ ජනප්‍රියම රංගන ශිල්පිනිය ලෙස ඇගයීම් සම්මානයකට පාත්‍ර වුණා නේද?
2022/2023 වර්ෂවල මම ප්‍රධාන චරිත ඔස්සේ දායක වුණු ජි. නන්දසේන මහතා අධ්‍යක්ෂණය කළ හිතුවක්කාරි ටෙලි නාට්‍ය සහ ප්‍රදීප් රසාංග පෙරේරා අධ්‍යක්ෂණය කළ ‘හිත ළඟ හිනැහුණා’ ටෙලි නාට්‍ය දෙකේ චරිතවලට තමයි ඇගයීම් ලැබුණේ. ඉතින් මේ ටෙලිනාට්‍ය දෙකෙහිම තිර පිටපත් රචනය මහේෂ් රත්සර මද්දුමාරච්චි මහත්මයාගේ. ඉතින් මගේ කැපවීම උත්සාහය වෙනුවෙන් මට ලැබුණු හරිම වටිනා උත්තේජනයක් තමයි ඒ.
ඉදිරි වැඩකටයුතු ගැන මතක් කළොත්?
ප්‍රාර්ථනා ටෙලි නාට්‍යය තවත් ටිකක් කාලයක් ප්‍රේක්ෂකයන්ට නරඹන්න පුළුවන්. ඒ වගේම මගේ යූ ටියුබ් චැනල් එකෙන් මම මගේ දේවල් මගේ රසිකයන් සමඟ ශෙයාර් කර ගන්නවා. එමාෂා හාන්ස් කියන යූ ටියුබ් චැනල් එකෙන් මම ගැන මගේ ප්‍රේක්ෂකයන්ට නිතරම දැන ගන්න පුළුවන්.
රුවිනි අමරකෝන්