නවක රංගන ශිල්පී නිසල හෙට්ටිආරච්චි මේ දිනවල රිදී තිරයට එක් වූ නව මුහුණුවරක්. ඉතින් “රෝස ආදරේ” චිත්‍රපටය ඔහුගේ පළමු වැනි සිනමා නිර්මාණයයි. ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ඔහුට ලැබෙන මොහොතක මේ සොඳුරු කතාබහ හදගැස්මට එක් කළේ ඔහුයි.
“රෝස ආදරේ ” චිත්‍රපටයේ අනුජ්ට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ඇත්තටම “අනුජ්”ගේ චරිතයට ලැබෙන ප්‍රතිචාර මේ වෙලාවේ නම් ගොඩක් හොඳයි. රෝස ආදරේ චිත්‍රපටය නැරඹූ බොහෝ දෙනකුගෙන් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඉතින් මම හැමෝටම ආදරයෙන් ආරාධනා කරන්න කැමැතියි චිත්‍රපටය නරඹන්න කියලා. ඉතින් තවත් ප්‍රතිචාර බලාපොරොත්තුවෙන් ඉන්නවා.
“දිනක්ෂි ප්‍රියසාද්” වැනි දක්ෂ අතිශය ජනප්‍රිය රංගන ශිල්පිනියක් සමඟ එකට වැඩ කිරීමේ අත්දැකීම කොහොමද?
ඇත්තටම දිනක්ෂි ප්‍රියසාද් රංගන ශිල්පිනිය ජනප්‍රිය තලයේ ඉහළින්ම ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක්. ඉතින් මට ඇය සමඟ එකට වැඩ කටයුතු කිරීමට ලැබීමම වාසනාවක්. අපේ කණ්ඩායම ඇතුළේදී ඇය සමඟ ගොඩක් සහයෝගයෙන් වැඩ කටයුතු කරන්න ලැබුණා සහ මගේ පළමුවැනි චිත්‍රපටයේ රංගන කටයුතු ගොඩක් හොඳින් සාර්ථකව කරගන්න ඇය මට ගොඩක් උදවු කළා.
“රෝස ආදරේ” චිත්‍රපටයේ තිර පිටපත ගැන ඔබේ අදහස?
රෝස ආදරේ කියලා කියන්නේ නාකොලොප්සි රෝගය වැලඳුණු තරුණයකුගේ කතාවක්. ඕනෑම දෙයක සීමාවට එහා දැනෙද්දී ඒ තරුණයාට නින්ද ගිහින් වැටෙනවා. ඉතින් ඒ තරුණයාගේ ජීවිත කතාව වගේම ඔහුගේ ආදරය ජය ගන්නේ කොහොමද කියලා තමයි රෝස ආදරේ චිත්‍රපටයෙන් ගෙන එන්නේ.
ක්ෂේත්රය තුළ නවක පරපුර හා ප්‍රවීණ පරපුර අතර අන්‍යෝන්‍ය බැඳීම ඔබ දකින්නේ බැඳිම කෙසේද?
ඇත්තටම කලා ක්ෂේත්රය තුළ ලොකු දියුණුවක් නවක රංගන ශිල්පියකු විධියට මට පෙනෙනවා. ඇත්තටම නවක රංගන ශිල්පින් ශිල්පිනියන්ට ක්ෂේත්රයේ ප්‍රවීණ රංගන ශිල්පීන් ශිල්පිනියන්ගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඉතින් ඒ දේ රෝස ආදරේ චිත්‍රපටය තුළදී මට ගොඩක් දැනුණු දෙයක්. මොකද එහිදී රජිත හිරාන්, දිල්හානි ඒකනායක, වසන්ත කුමාරසිරි වගේ ක්ෂේත්රයේ ප්‍රවීණයන් සමඟ මට එකට වැඩකටයුතු කරන්න ලැබුණා. ඉතින් ඔවුන්ගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. රෝස ආදරේ කියන්නේ මගේ පළමු වැනි චිත්‍රපටය සහ මීට කලින් චිත්‍රපටයක මම රඟපාලා තිබුණේ නැහැ. ඇත්තටම පුංචි තිරයේ අපට රංගනයේ යෙදෙන්න තිබෙන අවකාශය ටිකක් වැඩියි. නමුත් චිත්‍රපටයක අපි සීමිත අවකාශයක් ඇතුළේ රංගනය හරියාකාරව කරන්න ඕනෑ. ඉතින් ප්රවීණයන්ගේ ගුරුහරුකම් සමඟ තමයි රෝස ආදරේ චිත්‍රපටයේ රංගන කටයුතු මම සිදු කළේ සහ මගේ පළමුවැනි චිත්‍රපටයෙන් ලැබුණු අත්දැකීම මට වටිනා අත්දැකීමක්.
කලාකරුවකුට තමා වටා එක්වූ රසිකයන්ගේ සහයෝගය කොතරම් වැදගත්ද?
රසික සහයෝගය කලාකරුවකුට ගොඩක් වැදගත්. මම කුඩා කාලයේ ඉඳන් ආශා කළේ මගේ වටා රසිකයන් ගොඩක් එක් වී මට ආදරය කරනවා දකින්නයි. කලාකරුවකුගේ ජීවිතයේ වටිනම දේ තමයි තමන් දායක වූ නිර්මාණය ආදරයෙන් වැලඳගන්න රසික ප්‍රජාවක් සහ තමන්ට වටිනාකමක් දෙන රසික ප්‍රජාවක් තමන් වටා එකතු වීම. කලාකරුවකු වෙන්න ඕනෑ කියල හිතන්නෙම ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගන්න ඕනෑ කියලා හිතන තැන ඉඳලා තමයි. නමුත් සියයට සීයක් ප්‍රේක්ෂකයන් තමන් වටා එක්රොක් වෙයි කියලා කාටවත් කියන්න බෑ. ඒ දෙයත් හොඳින් අවබෝධ කරගෙන බහුතරයක් මිනිස්සු ආදරය කරන කලාකරුවකු වන එක තමයි මගේ ජීවිතයේ බලාපොරොත්තුව.
ඔබ කරාතේ ක්‍රීඩාවට දස්කම් දක්වන්නෙක්ද?
ඔව්, කරාතේ ක්‍රීඩාව මම 4 ශ්‍රේණියේදී පටන් ගත්තේ. කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ වසර හයක් කරාතේ ක්‍රීඩාව පුහුණු වීම් කළා. කරාතේ ක්‍රීඩාවේ දකුණු ආසියාතික කරාතේ ශූරතාව දෙවැනි ස්ථානය දිනා ගත්තා. මගේ ජීවිතයේ හීන තිබුණෙ සිනමාවයි. කරාතේ ක්‍රීඩාවයි සම්බන්ධයෙන් තමයි.
තරුණ රංගන ශිල්පියකු ලෙස ආදරය ගැන ඔබේ කියැවීම?
මම ආදරය කරලා තිබෙනවා. නමුත් මම හැම වෙලාවකම හිතන්නේ මගේ හීනවලට සහයෝගයක් දෙන්න පුළුවන් ආදරවන්තියක් මට හමුවෙයි කියලා. ඒ කියන්නේ මට අවශ්‍ය හීන වෙනුවෙන් ඇයවත් ඇය වෙනුවෙන් මගේ හීනවත් කැප කරන්න වෙන්නේ නැති ආදරයක්. ඉතින් කවදාහරි දවසක එහෙම කෙනකු හමුවෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉතින් ලොකු කලබලයක් නැහැ.
ඔබේ අත බැඳි කළු පටියෙන් නිරූපණය කරන්න උත්සාහ කරන්නේ කුමක්ද?
මම කුඩා කාලයේ හැදෙන්නේ කොල්ලුපිටිය ප්‍රදේශයේ. කොල්ලුපිටිය කිව්වම මිනිස්සුන්ට පෙනෙන්නේ ලොකු ලොකු මහල් නිවාස. ඒ අතරේ හැංගුණු ජනාවාසත් තිබුණා. ඒ පුංචි ජනාවාසයක ඉපදුණු කොල්ලෙක් තමයි මම. දැන් මම යම්කිසි තැනක ඉන්නවා මගේ ජීවිතයේ. නමුත් ඒ හැමදෙයකම කළු පාට තැන් තිබෙනවා කියලා තමයි ඒ බෑන්ඩ් එකෙන් අර්ථවත් කරන්නේ. ලොකු ලොකු හීන දකින්න උත්සාහ කරන පුංචි පුංචි පවුල්වල ඉපදුණු සහෝදර සහෝදරියන්ට පුංචි හරි ශක්තියක් වෙන්න තමයි මගේ බලාපොරොත්තුව.
ඔබේ පවුලෙන් ලැබෙන සහයෝගය ගැන මතක් කරමු?
ඇත්තටම මම පොඩි කාලයේ ඉඳන් සිනමාවට ආදරෙයි. මගේ අම්මා, තාත්තා එහෙමත් ෆිල්ම් ලවර්ස්ලා. පවුලේ බොහෝදෙනකු සිනමාවට හරිම කැමැතියි. නමුත් එයාල කවදාවත් හිතලා තිබුණේ නැහැ එයාලගේ පුතාට සිනමාවට ප්රවිශ්ට වෙන්න ලැබෙයි කියලා ප්‍රධාන චරිතයක් හරහා. නමුත් මම පොඩි කාලයේ ඉඳන් කිව්වේ කවදහරි මම රංගන ශිල්පියෙක් වෙනවා කියලා. මාව කවදාහරි දවසක ලොකු ස්ක්‍රීන් එකේ බලන්න අම්මටයි, තාත්තටයි අවස්ථාවක් සලසනවා කියලා. අම්මා, තාත්තා වගේම මගේ අක්කිත් ජීවිතයේ හැල හැප්පීම් පසුබැසීම් හැම දෙයකදීම මට උදවු කළා.
පුංචි තිරයෙන් රිදී තිරයට කෙටි කලකින් ඔබ ප්‍රවිෂ්ට වනවා නේද?
ඔව්. පුංචි තිරයේ මගේ පළමු වැනි ටෙලි නාට්‍යය තමයි ලොක්කිගේ කතාව. සිනමා රංගන ශිල්පියෙක් වන්න ඕනෑ කියල හොය හොයා යන ගමනේ මට ලැබුණු පළමු වැනි අවස්ථාව තමයි ලොක්කිගේ කතාව. ඉතින් සිනමා රංගන ශිල්පියෙක් වෙන්න ඕනෑ කියලා හීන දකින අය ඕනෑ තරම් ඉන්නවා. ඉතින් මට ලැබුණු අවස්ථාවෙන් මම උපරිම ප්‍රයෝජන ගත්තා කියලා හිතනවා. ලොක්කිගේ කතාවේ අධ්යක්ෂ හර්ෂ උඩකන්ද මහත්මයාම තමයි මට රෝස ආදරේ ප්‍රධාන භූමිකාව ලබා දෙන්නේ. ලොක්කිගෙ කතාවේ රූගත කිරීම් කර කර ඉද්දී එක දවසක හර්ෂ උඩකන්ද මහත්මයා මට පොරොන්දු වුණා ඊළඟ චිත්‍රපටයේ මාව ප්‍රධාන චරිතයට ගන්නවා කියලා. ඉතින් ඒ පොරොන්දුව ඒ විධියටම ඉෂ්ට කළා.
විජේ දේවරකොණ්ඩාගේ වැනි පෙනුමක් ඔබට තිබෙන බවට ප්‍රතිචාර ලැබෙනවා නේද?
විජේ දේවරකොණ්ඩා කියන්නේ මලයාලම් සිනමාවේ මම ගොඩක් ආදරය කරන චරිතයක්. ඉතින් එහෙම ප්‍රතිචාර ලැබෙනව නම් මට හරිම සතුටුයි. විජේ දේවරකොණ්ඩා කියන්නේ මගේ හදවතේ ඉන්න රංගන ශිල්පියෙක්.
ඉදිරි වැඩකටයුතු ගැන මතක් කරමු?
මේ වර්ෂයේදී සිනමාපට දෙකකට ආරාධනා ලැබිලා තිබෙනවා. නුදුරේදීම ඒවායේ රූගත කිරීම් ආරම්භ කිරීමට නියමිතයි.
රුවිනි අමරකෝන්