දිව්‍යාංගනාවන් කොතරම් සොඳුරු වේදැයි නොදනිතත් ඈ දුටු සඳ සිතුණේම දිව්‍යාංගනාවන් මෙතරම් සොඳුරු වෙතැයි කියාමය. මනා සේ විහිද ගිය ඉඳුවර සෙවණේ දුල ඒ දෑස් විදාහල දිස්නය මනරම්ය. ළා රෝස පැහැයක් ගැල්වුණු දෙතොල් අතරෙහි දසන් වියමන මුතු පෙළක් සේම සුන්දරය. දෙතොල් අතරෙන් විකසිත සිනා මුව මඬල අස ඇය දෙවඟනක් නොවන්නේ ඇසිපිය හෙලන පමාවෙන් වග නිර්ලෝභීව ලියා තියන්නට සිත් වෙයි. දෙවංගිට දෙවංගි යැයි නම් තැබුවේද ඒ සුන්දරත්වය නිසාම යැයි සිතෙන තරම්ය. ඉතින් ඒ සොඳුරු රුවැත්තිය කතාබහකට මාතෘකාවක් වූයේ ඇගේ ආදරණීය පියාණන් වන විචිත්‍රවත් නර්තනවේදී චන්දන වික්‍රමසිංහ විසින් නිර්මාණය කළ NOIR QUEEN KUWENI හි භද්දකච්චායනාට සැරසී වේදිකාවේ ආල ලීල නුරා නර්තන භාව රැඟුවේ දෙවංගි නිසාමය.
ඉතින් දෙවංගි අසුනක්වත් හිස් නොවුණු තරම් පිරුණු රසිකාගාරයක් අභිමුව කළු රැජින කුවේණිය වේදිකාව මත දිගහැරුණු ඒ හැන්දෑව කොහොමද ඔබට දැනුණේ?
ඒක අමුතුම හැන්දෑවක්. මගේ තාත්තා වගේම තාත්තා ගාව ඉගෙන ගන්න, ඉන්න අයියලා අක්කලා නංගිලා මල්ලිලා හැමෝම අසීමාන්තික විදිහට කළු රැජින – කුවේණිය වෙනුවෙන් මහන්සි වුණා. ඇත්තටම මට ලංකාවට ඇවිත් පුහුණුවීම් කරන්න ලැබුණේ සතියක කාලයක් විතරයි. ඒ සතිය අපි ඔක්කොම නිදාගත්තේ දවසට පැය දෙක තුනක් විතරයි. උදේ ඉඳන් රෑ වෙනකම් එක දිගටම හිටියේ පුහුණුවීම්වල. ඉතින් වේදිකාව පිටුපස මහන්සිය, අත්දැකීම්, සිදුවීම් වින්දෙ අපි. පුහුණුවීම් දකිද්දි හුඟාක් වෙලාවට ඇස් දෙකට කඳුළු ආවා. කුවේණියගේ චරිතය ඇතුළේ නිරංජනී ෂන්මුගරාජා අක්කි පුදුම විදිහට ජීවත් වුණා. හැමෝම තමන්ගේ චරිතය වෙනුවෙන් උපරිමය වේදිකාවට ගේන්න මහන්සි ගත්තා. ඉතින් ඇත්තටම මාර ආඩම්බරයක් දැනුණා.
චන්දන වික්‍රමසිංහ කියන නර්තනාචාර්යවරයාව දෙවංගි දකින්නෙ මොන වගේ ස්වරූපයකින්ද?
චන්දන වික්‍රමසිංහ නර්තනාචාර්යවරයාව මම දකින්නෙ හරිම නිර්මාණශීලී, අමුතුම සංකල්ප ඔස්සේ ලෝකය, මනුස්ස හැඟීම් සහ නර්තන කලාව නිර්වචනය කරන්න උත්සාහ කරන සැර, ඒත් ආදරණීය ගුරුවරයෙක් විදිහට. මම චන්දන වික්‍රමසිංහ කියන නර්තනාචාර්යවරයාගේ දැක්ක විශේෂම ලක්ෂණයක් තමයි එයාට පුදුම හැකියාවක් තියෙනවා ප්‍රසංගයකදි නිවැරදිම විදිහට චරිත වර්ගීකරණය කරන්න. එයාට වෙන කිසිම දෙයක් අදාළ නෑ. සුදුසුම කෙනාට සුදුසුම තැන තමයි එයා දෙන්නෙ.
ඒ නර්තනාචාර්යවරයා ඔබගේ ආදරණීය තාත්තා... ඒ තාත්තා කොහොමද දකින්නෙ?
මම පුංචි කාලයේ හරිම ලැජ්ජාශීලී කෙනෙක්. ඒත් මම හැමතිස්සෙම ඉන්නෙ සංගීතයත් එක්ක. පාඩම් කළත් පාඩම් කරන්නෙ, නාන්න ගියත් නාන්නෙ සින්දුවක් කිය කියා. මම පුංචි කාලේ ඉඳන් අපේ ගෙදර නිතර සෙනඟ ගැවසිච්ච තැනක්. නටන අයියලා අක්කලා, බෙර හඬ නිතරම මට ඇහුණා. ඉතින් තාත්තාගේ ආදරය දැනුණේ සහ වින්දේ මේ සියල්ලත් එක්ක. ඉස්සර තාත්තා ඉන්දියාවේ ගියාම මට ඉන්දියානු වර්ණ මෝස්තර රැඳුණු සපත්තු විස්ස තිහ එකවර ගෙනත් දෙනවා. අදටත් මම වැඩියෙන්ම අඳින්න ආසා ඉන්දියානු මෝස්තරවලට. අරුංගල් දාන්න කැමති ඉන්දියානු තෝඩු. ඔස්ට්‍රේලියාවේදි මම දකින හුඟාක් අය මගෙන් අහන දෙයක් තමයි ඔයා ඉන්දියන්ද කියන එක. මේ හැමදේටම, හැම කැමැත්තකටම තාත්තාගෙන් ලබපු ආභාෂය හේතු වෙන්න ඇති.
ඒ තාත්තම ඔබේ නර්තන ගුරුවරයා වෙද්දි ඒ ගුරුවරයා මේ ශිෂ්‍යාවට දැනෙන්නෙ කොහොමද?
පුහුණුවීම් කරද්දි තාත්තා මට නිතර කියන දෙයක් තමයි මුහුණෙන් ප්‍රබල ලෙස භාව ප්‍රකාශනය කරන්න කියලා. “ඇක්ෂන්” දාන්න කියලා. ඒත් මට ඒ දෙකම කරන්න මගේ ඉස්සරහ ලොකු ප්‍රේක්ෂකාගාරයක් ඉන්න ඕනෑ. ඒ නිසා මම තාත්තට කියනවා හරි තාත්තෙ මම “ඕඩියන්ස්” එක ඉස්සරහ එහෙම කරන්නම් කියලා. පුහුණුවීම්වලදි අනෙක් ගෝලයන්ට වගේම මටත් බණිනවා. ඒ වුණාට දුව හින්දා හුඟාක් වෙලාවට මට වැඩියෙන් බණිනවා. කොච්චර බැන්නත් මම එකට එක නම් කියාගෙන යන්නෙ නෑ කවදාවත්. නිශ්ශබ්දව අහගෙන ඉන්නවා අනික් ගෝලයන් වගේම. එක පැත්තකින් මගේ තාත්තා. අනෙක් පැත්තකින් මා ඉගෙනගත් පාසලේ නැටුම් ගුරුවරු හැරුණු විට මගේ නැටුම් ගුරුවරයා. ඉතින් කොච්චර බැන්නත් නිහඬව ඉන්නවා ඇරෙන්න කියවගෙන යන්න බෑ මට.
දෙවංගි හරි ලස්සනයි කියලා දකින දකින හැමෝම වගේ කියනවද?
හුඟක් අය කියනවා ඔයාට තියෙන්නෙ තාත්තගේ ඇස් දෙකයි අම්මගේ පාටයි කියලා. ඉතින් මම ලස්සන නම් මගේ අම්මටයි තාත්තටයි තමයි ඒ වෙනුවෙන් මම ස්තූති කරන්න ඕනෑ.
නර්තනය – බෙර හඬ – පිරිස... මේ හැම දේකින්ම පිරුණු ගෙදරක් අත්හැරලා ඔස්ට්‍රේලියාවට ගිය අලුත දෙවංගිගේ හිතට දැනුණු හැඟීම මොකක්ද?
පුදුම තනිකමක් දැනුණා. කොච්චර ලජ්ජාශීලී ළමයෙක් වුණත් මම පුංචි කාලේ ඉඳන් ආසයි ගෙදර කට්ටිය පිරිලා ඉන්නවට. බෙර සද්ද ඇහෙද්දි ආසයි. ඉතින් ඒ ඔක්කොම අත්හැරෙද්දි පුදුම පාළුවක් හිස්තැනක් දැනුණා. ඉතින් විශ්වවිද්‍යාලයේ නිවාඩු දුන්න ගමන් මම කළේ ඊට පහුවෙනිදාම ලංකාවට ආපු එක. ඒත් කොරෝනා කාලේ එහෙම එන්න බැරි වුණාම පුදුම පාළුවක් හිස්තැනක් දැනුණු තැන් තිබුණා. ඒත් යාළුවෝ හුඟාක් හිටපු නිසා ඒ හැඟීම් දරාගන්න මට පුළුවන් වුණා.
මේ ලෝකයේ මොන රටක ජීවත් වුණත් නර්තනය අත්හරින්න දෙවංගිට පුළුවන්ද?
කවදාවත් බෑ. මට නැටුම් අත්හරින්න බෑ. පුළුවන් කාලයක් මම මගේ තාත්තත් එක්ක නටයි. ඒත් මට කවදාවත් තාත්තා නර්තනාචාර්යවරයෙක් විදිහට මේ කරගෙන යන දැවැන්ත කාර්යයන් වගකීම් නම් කරගෙන යන්න බැරි වෙයි. මට එච්චර දැනුමක් නෑ. ඒත් මම දන්න එකම දේ මට නැටුම් අත්හරින්න බෑ කියන එක සහ මම මට පුළුවන් තාක් තාත්තත් එක්ක නටනවා කියන එක.
මේ ලෝකයේ මොන රටක ජීවත් වුණත් ලංකාව අත්හරින්න පුළුවන්ද දෙවංගිට?
කවදාවත් බෑ. මට නැටුම් වගේම කවදාවත් ලංකාව අත්හරින්නත් බෑ. මගේ අධ්‍යාපනය සහ මම කරගෙන යන කටයුතු එක්ක මම දිගටම ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙයි. එහේදි හුඟාක් අය මගෙන් ඉන්දියන්ද අහද්දි මම නෑ ශ්‍රී ලංකා කියද්දි ශ්‍රී ලංකාව දන්නෙ නැති විදේශිකයන් ඉන්නවා. ඒ වෙලාවට මට අවංකවම දුකයි. ඒත් ශ්‍රී ලංකාව කියන්නෙ කොච්චර සොබා සෞන්දර්යෙන් සහ ඓතිහාසික උරුමයන්ගෙන් පිරුණු රටක්ද? මේ රට ලෝකයේ සමහර රටවල් වගේ කෘත්‍රිමව ලස්සන කරපු රටක් නෙවෙයි. ස්වභාවිකව ලස්සන රටක්. මම ඉංග්‍රීසියෙන් කතා කරන්නෙත් අවශ්‍ය තැන්වලදි විතරයි. මොකද මම හරිම ආසයි සිංහලෙන් කතා කරන්න. සිංහල කතා කරද්දි ඉංග්‍රීසි වචනයක් වුණත් මම දාන්නෙ කලාතුරකින්. අවුරුදු පහළොවක් ලංකාවේ හිටපු මට ඔස්ට්‍රේලියාවට ගිහින් අවුරුදු හතකින් සිංහල අමතක වෙන්න විදිහක් නෑ. අමතක වෙන්න ඕනෙත් නෑ. අනික් එක ඉංග්‍රීසි නොදන්න කෙනෙක් ළඟට ගිහින් අපිට පුළුවන් කියලා පෙන්වන්න ඉංග්‍රීසි කතා කළොත් ඒ කෙනා කොයි තරම් අපහසුතාවයට පත් වෙනවද? මොන භාෂාව ඉගෙන ගත්තත් මම වැඩියෙන්ම ආදරේ මගේ මව් භාෂාවට. මගේ රටට.
බෙර නාදයට කොයි තරම් කැමතිද?
කියන්න බැරි තරම් කැමතියි සහ ආසයි. ඒක පුංචි කාලයේ ඉඳන් මට ඇහුණු දෙයක්. ඕනෑම මනුෂ්‍ය හැඟීමක් වයන්න පුළුවන් තාල භාණ්ඩයකට තමයි බෙරය කියන්නෙ.
ජීවිතයේ ලද ලොකුම භාග්‍ය මේ යැයි හිතන දෙයක් දෙවංගිට ජීවිතයේ තියෙනවද?
ඔව්. නැට්ටුවෙක්ගේ දුවක් වීම මම ලද ලොකුම භාග්‍යයක්. නැට්ටුවෙක්ගේ දුවක් කියන එක මට හරි ආඩම්බරයක්. මම ඉස්කෝලෙ යන කාලේ මට පුරුද්දට වගේ නිතරම නැටවෙනවා. එතකොට මට උපහාසෙට වගේ නැට්ටුවෙක්ගේ දුවක්නෙ කියපු අය හිටියා. ඒ මොහොතෙත් මේ මොහොතෙත් හැමදාමත් මට නම් දැනෙන්නෙ නැට්ටුවෙක්ගේ දුවක් වීම හරි ආඩම්බරයක් භාග්‍යයක් කියන එක.
තාත්තාගේ ජීවිතයේ සහ තාත්තාගේ සාර්ථකත්වයේ කොතැනද අම්මා ඉන්නෙ? ඔයාට ඒක දැනෙන්නෙ කොහොමද?
මගේ තාත්තා ස්වභාවයෙන්ම හරි කලබලයි. තාත්තට ඉක්මනින් කේන්ති යනවා. ඒත් අම්මා හරි ඉවසිලිවන්තයි. අම්මට කේන්ති යන තැන් තියෙනවා. ඒත් තාත්තා කේන්ති ගන්න කිසිම වෙලාවක අම්මා තාත්තා එක්ක ඇවිලෙන්න යන්නෙ නෑ. මොන ප්‍රශ්නයක් ආවත් අම්මාගේ උත්තර හරිම බුද්ධිමත්. හැම පැත්තක්ම හිතලා තමයි අම්මා උත්තර දෙන්නෙ. තාත්තාගේ ජීවිතයේ හොඳම තෝරාගැනීමක් විදිහට තමයි මම අම්මව දකින්නෙ. ඒ වගේම තාත්තාගේ සාර්ථකත්වයේ ලොකුම රහසත් අම්මගේ ඉවසීම සහ ශක්තිය තමයි.
දෙවංගි ඔබ දෙවියන් විශ්වාස කරනවද?
ඔව්... මම ඉතාමත් භක්තිමත් හැඟීමකින් දෙවියන්ට වඳින, දෙවියන් විශ්වාස කරන කෙනෙක්. දෙවියන් වෙනුවෙන් පූජා තියන, දෙවියන්ට පහන පත්තු කරන කෙනෙක්. මම පුංචි කාලයේ ඉඳන්ම අපේ ගෙදර දෙවියන් වෙනුවෙන් පහන් දැල්වුණා. දෙවියන්ගේ ආශිර්වාදය මට දැනිලා තියෙනවා. මම මගේ ජීවිතය හොඳ මාර්ගයක අරගෙන යනවා. දෙවියන්ගේ ආශිර්වාදයත් ඒ ගමන තුළ තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒ ආශිර්වාදයට මම හැමදාම ආදරෙයි. දෙවියන්ට ආදරෙයි නම් භක්තිමත් නම් ඒ ආශිර්වාදය දෙවියන් අප වෙත පිරිනමනවා.