එයාගේ ආදරය හරි පණ්ඩිතයි -පියුමි ශ්‍රීනායක

 



ආදරය කියන දේ ඔයාට දැනෙන විදිය කියන්න. ආදරයට නිර්වචනයක් දෙන්න?

ආදරයට නිර්වචන ගොඩක් තියෙනවා. ආදරය කියන දේ එකිනෙකාට දැනෙන විදිහ වෙනස්. ඒක එක්කෙනාට සාපේක්ෂවත් වෙනස් වෙනවා. මම මුලින්ම හිතපු ආදරයට වඩා දැන්  ආදරය හිතෙන විදිහ වෙනස්. අපිට ලිංගික හැඟීම් ඇතිවුණු කාලේ ඉඳන් විරුද්ධ ලිංගිකයන්ට ආකර්ෂණය වෙනවා. ඒ අපි ආකර්ෂණය වන පුද්ගලයන්, සම්බන්ධකම් ඇති කරගන්න පුද්ගලයන්, අපි ආදරය කියලා බැඳෙන පුද්ගලයන් දහයක් ගත්තොත් ඒ දහදෙනා අතරින් එක්කෙනකුට හරියට ආදරය හිතෙනවා. ඒ හරි ආදරය ලැබුණොත් එතැනින් එහාට තව ආදරයක් ප්‍රාර්ථනා කරන්නෙවත්, වෙන ආදරයක් බලාපොරොත්තු වෙන්නෙවත්  නැහැ.


ආදරය නිසා ජීවිතයට ලැබුණු ජයග්‍රහණ හා වටිනාම දේවල් මොනවාද?

ආදරයේදී ආදරවන්තයන්ගෙන්වත්, කසාද බැන්දට පස්සෙ සැමියාගෙන්වත් ලැබෙන ආදරයේ ජයග්‍රහණ සහ ලැබෙන දේවල් ගොඩක් අඩුයි. ප්‍රේම කරද්දිත්, කසාද බැන්දට පස්සෙත්, ඒ දෙන්නා අතරේ ඉඳලා හිටලා හෝ රණ්ඩු ඇතිවෙන්න පුළුවන්. ඒ බොහෝ දුරට වටහා ගැනීම අඩුකම නිසා වෙන්න ඇති. හැබැයි දෙමව්පියන්, සහෝදර සහෝදරියන් අතරේ තියෙන බැඳීම, ආදරය ඊට වඩා ජයග්‍රහණය කරා අරගෙන යන්න පුළුවන්. ඒ ඔස්සේ වටිනා දේවල් හරි ඉක්මනට ලබාගන්න පුළුවන්. නමුත් ආදරය කරන කෙනෙක්ගෙන් හෝ සැමියෙක්ගෙන් ඒ දේවල් ඉක්මනින් ලබාගන්න ටිකක් අමාරුයි.


ආදරය නිසා ජීවිතයට ලැබුණු රිදුම්, අහිමිවීම් මොනවාද?

අපේ ජීවිතයේ දෙමාපියන්, සහෝදරයන් ලැබෙන්නෙ ජීවිතයට එක පාරයි. මගේ අම්මා, තාත්තා, මල්ලි නැතිවුණොත් අපිට ආයෙත් ඒ අයව ගන්න බැහැ. නමුත් පළමු ආදරවන්තයා, පළමු සැමියා නැතිවුණොත් දෙවැනි ආදරයක්, දෙවැනි විවාහයක් තෝරා ගැනීමට යන්න පුළුවන්. මගේ ජීවිතයේ ලොකුම අහිමිවීම වුණේ මගේ මල්ලි. ආයෙත් මට කවදාවත් මල්ලි කෙනෙක් ගන්න බැහැ. වෙන කාගේ හරි මල්ලි කෙනෙකු වුණත් එයා මගේ මල්ලි නෙවෙයි. ඒ හැඟීම් ආයේ කවදාවත් මට දැනෙන්නෙ නැහැ. ඒ අහිමිවීම මගේ ජීවිතේ ලොකු දුකක්.


ආදරය නිසා රිදෙන තැන් දරාගන්න හොඳම විදිහ මොකක්ද?

ඒකට හොඳම විදිය අපි ධර්මානුකූලව හැඩගැහෙන්න ඕනෑ. ධර්මයට ගොඩක් නැඹුරු වෙන්න ඕනෑ. බුද්ධ ධර්මය කියන දේ හැදෑරුවොත් අපිට ජීවිතේ තියෙන අනිත්‍යභාවය හා කලකිරීම ගැන සහ මේ ජීවිතය හරියට තේරුම් ගන්න පුළුවන්. ඒ හරහා ඉක්මනටම අපේ දුක නැති කරගන්න පුළුවන්. ඒ දේ තේරුම් ගත්තොත් අපිට ජීවත් වෙන්න පහසුයි.


‘සෙක්ස්’ හා ‘ලව්’ අතර වෙනස ඔයා දකින්නෙ කොහොමද?

‘සෙක්ස්’ හා ‘ලව්’ කියන්නෙ සම්මිශ්‍රණයක්. ආදරේදී ‘සෙක්ස්’ විතරක් තිබුණොත් වැඩක් නැහැ. ‘ලව්’ විතරක් තිබිලත් වැඩක් නැහැ. ඒ දෙකම සම සමව තියෙන්න ඕනෑ. මේ දෙකෙන් එකක් තිබිලත් වැඩක් නැහැ. ඒ නිසා ඒ දෙකම සම්මිශ්‍රණයකින් ඉතා හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න පුළුවන් වේවි.


නිළියක් විදිහට ලැබෙන ප්‍රේක්ෂක ආදරේදී හුඟාක් සංවේදී වුණු හෝ දැනුණු තැනක්  තියෙනවද?

නිළියක් විදියට සංවේදීව දැනුණු තැන් ගොඩක් තියෙනවා. ඒ මගේ යූටියුබ් නාලිකාවට එන ‘කමෙන්ට්’ වලට අනුවයි. ඒ අය සැබෑවට මාව දැකලවත් නැතුව, මාව කවුද කියලා රූපවාහිනියෙන් විතරක් දැකලා, මගේ පින්තූරයක් විතරක් දැකලා මට පුදුම විදිහට ආදරය කරන්න පටන් ගත්තා. කෙනෙක්ව දකින්නේවත් නැතුව, අල්ලන්නෙවත් නැතුව, කෙනෙක්ගෙ රූපය විතරක් දුරින් දැකලා මේ දෙන ආදරය මට මාර සංවේදීයි. ඒකට ප්‍රතිචාර දක්වන්නෙ කොහොමද කියලා මට හිතාගන්නවත් බැහැ.


ආයෙත් බලන්න ආසා හිතුණු ආදරණීය චිත්‍රපටයක් තියෙනවද?

මම එහෙම ආයෙත් බලන්න කැමති චිත්‍රපට කිහිපයක්ම තියෙනවා. ඒ අතරින් කබීර් සිං (Kabir Singh) චිත්‍රපටයට මම ගොඩක් කැමතියි.


ආයෙ ආයෙත් අහන, නිතරම අහන්න කැමති ආදරණීය ගීතය මොකක්ද?

එහෙම එක සින්දුවක් නම් නැහැ. හැබැයි නන්දා මාලනී මහත්මියගේ ගීතවලට මම ගොඩක් කැමතියි. ඒ අතරින් ඇය ආදරය සම්බන්ධයෙන් ගායනා කරන්න ගීතවලට තමයි මම වැඩියෙන් කැමති.


පියුමිට විරුද්ධ පාර්ශ්වයකට මුලින්ම ආදරයක් ඇතිවෙද්දි වයස කීයද? ඒ ආදරය මොන වගේ හැඟීමක්ද?

මම මුලින්ම ආදරයක් පටන් ගත්තෙ දහය වසරේ පන්තියෙදි. ඒ නොවැම්බර් මාසයෙ. ඒ ප්‍රථම ප්‍රේමය පාසල් ප්‍රේමයක්. එයත් මම ඉගෙන ගත්ත විදුහලේමයි ඉගෙන ගත්තෙ. ඒක මාස දෙකක ප්‍රේමයක්. ආදරය කරන්න පටන් අරගෙන මාස දෙකකින් මගේ අම්මාට අහුවුණා. අම්මා මාව ඉස්කෝලෙන් අස් කරගෙන ගමේ ගෙනිච්චා. ඒ ආදරයත් එතැනින්ම නතර වුණා. ඒක හරි අපූරු ආදරයක්. අපිට අපේ ආර්ථිකයත් එක්ක ඒ කාලේ දුරකථන තිබුණේ නැහැ. ඒ නිසා ලියුම්වලින් ගනුදෙනු කළා. එහෙම එවපු ලියුමක් අපේ අම්මාට අහුවුණා. ඉතින් ඒ ආදරය මාස දෙකකට සීමා වුණා.


අදටත් තිබුණා නම් හොඳයි කියලා හිතෙන අහිමිවුණු ආදරයක් තියෙනවද?

නැහැ. එහෙම අහිමිවුණු ආදරයක් ඇත්තටම ආයෙත් ඕනෑ නැහැ. ඒ හැමදේම ගැන ආපස්සට හැරිලා බලද්දි “අනේ හොඳ වෙලාවට නැති වුණේ”‍ කියලා හිතෙනවා. හැබැයි දැන් තියෙන ආදරය මට හරියට වටිනවා. ඒ ආදරයට මම හරියට ආදරය කරනවා.


ජීවිතයට වැඩියෙන්ම ආදරය දැනෙන තැන්වලදි ඔයා ඒකට ප්‍රතිචාර දක්වන්නෙ කොහොමද?

කෙනෙකුට ජීවිතේ ලැබෙන ඒ ආදරය පරිස්සම් කරගන්න ඕනෑ. එයාගේ ආදරය හරි පණ්ඩිතයි. එයා හරියට අපේ තාත්තා වගේ. එයාලා අපිට කොච්චර ආදරය වුණත් ඒ ආදරය අපිට පෙන්නන්නෙ නැහැ. ඒ වගේ තමයි, මම තමයි එයාට ඒ ආදරය පෙන්නන්නෙ. මම ආදරය කරන නිසා මම ඒක පරිස්සම් කරනවා. මම එයාට ගොඩක් ආදරෙයි. එයත් මට ආදරය කරද්දි ඒ ආදරයට ඊටත් වඩා වැඩියෙන් ප්‍රතිචාර දක්වනවා. ඒ ආදරයට මම හරි ලෝබයි.


මඟ තොටකදී හෝ යම් තැනකදී ඔයා දැක්ක ආදරණීයම සිදුවීම මොකක්ද?

ඒ ආදරය මම දකින්නෙ මගේ ගෙදරින්මයි. මගේ අම්මාගේ ආදරය හරි ආදරණීයයි. පිරිමින් ආදරය පෙන්නන්නෙ නැහැ. තාත්තා පොඩ්ඩක් සැරපරුෂයි. එයා කොච්චර සැරපරුෂ වුණත් අම්මාගේ ආදරය මාරයි. අම්මට තාත්තා නැතුවම බැහැ. තාත්තා වැඩකට ගෙදරින් එළියට ගිහින් දවසක් හිටියත්, අම්මා තාත්තා එනකම් බලාගෙන ඉන්නවා. තාත්තා ආවට පස්සෙ අම්මාගේ තියෙන සතුට මම අම්මාගේ මුහුණෙන් දකිනවා.


ජීවිතයේ ඒකපාර්ශ්වික ආදරයක් විඳලා තියෙනවද?

මම ගොඩක් පිරිමි එක්ක යාළුවුණු කෙනෙක් නෙවෙයි. මගේ ජීවිතේ මම හතරදෙනෙක් එක්ක යාළු වුණා. මේ මගේ පස්වැනි සහ අවසාන ආදරයයි. සමහර වෙලාවට එයයි මමයි මොකක් හරි දේකට රණ්ඩුවෙලා තරහා වෙලා ඉඳිද්දි මම එයාට ඒකපාර්ශ්විකව ආදරය කරලා තියෙනවා. “අපි මේක නවත්වනවා”‍ කියලා කතා වෙලා එයා කතා නොකරපු දවස්වලට මම එයාට ඒකපාර්ශ්විකව ආදරය කරලා තියෙනවා. දැන් නම් අපි දෙන්නා හරිම ආදරයෙන් ඉන්නවා.


ආදරය ඕනෑ කියලා වැඩියෙන්ම දැනුණු තැනක් තියෙනවද?

මම ආදරයට හරි ලෝබ කෙනෙක්. මට උපරිමයෙන්ම ආදරය ඕනෑ. මට අසනීප වුණාම, මොකක් හරි ජයග්‍රහණයක් ලැබුවාම ඒ ආදරය වැඩියෙන් ඕනෑ. ඒ වෙලාවට මම ආදරය උපරිමයෙන්ම හොයනවා.


ආදරය නිසා හිත රිදවන අයට වෛර නොකර ඉන්න කෙනෙකුට පුරුදු කරගන්න හොඳම විදිහ මොකක්ද?

අපි කෙනෙකුට ආදරය කරනවනම් එයා දාලා ගියත්, එයා වෙන කෙනෙකුට ආදරය කළත්, එයා වෙන කෙනෙකුව කසාද බැන්දත්, එයාගේ සතුට දිහා බලලා අපි සතුටු වෙන්න ඕනෑ. ආදරය කියන්නෙ එක අතකින් පරිත්‍යාගයක්. ඒ නිසා කිසිම වෙලාවක ආදරය කරපු කෙනෙකුට වෛර කරන්න එපා.


ආදරේදී සංසාරගත බැඳීම් විශ්වාස කරනවද?

අනිවාර්‌යෙන්ම විශ්වාස කරනවා. මම හතරදෙනෙක් එක්ක යාළුවෙලා හිටියට ඒ හතරදෙනාට වඩා දැන් මම ආදරය කරන කෙනාව මට දැනෙනවා. අපි දෙන්නගේ සමානකම් වැඩියි. සමහර විට මේ සංසාරගත බැඳීමක් වෙන්න ඇති.


• දිශානි ජයමාලි



Previous Post Next Post