සමාජය පිළිබඳ වෙනස්ම පැතිකඩකින් කතා කරන සින්ටෝ ටෙලි නිර්මාණය සහ තවත් ටෙලි නාට්‍ය කිහිපයක් හරහා ඔබ අතරට එන ඔහු දක්ෂ තරුණ රංගන ශිල්පියෙක්. හදගැස්ම අපත් සමඟ කතා බහට එක් වුණු ඔහු නමින් රංගන ශිල්පි චතුර රාජපක්ෂ.
මේ දිනවල අලුත් වැඩකටයුතු ගැන කතා කරමු?
මේ දිනවල මම රංගනයෙන් දායක වන සින්ටෝ සහ රැල්ල වෙරළට ආදරෙයි ටෙලි නාට්‍ය දෙකම ටෙලිකාස්ට් වෙනවා.
‘සින්ටෝ’ වෙනස්ම තේමාවකින් ප්‍රේක්ෂකයා අතර ජනප්‍රියයි. සින්ටෝ නාට්‍ය ගැන කතා කළොත්?
සින්ටෝ ටෙලි නාට්‍ය විවිධ සමාජ තරාතිරම්වල කාන්තාවෝ 6 දෙනකු එකවර ගැබ් ගැනීම පිළිබඳව දිගැහැරෙන කතාවක්. එහි මම විරා කියන චරිතයට තමයි රංගනයෙන් දායක වෙන්නේ. විරංජන කියන චරිතය ගැන කියනව නම් අපි රැඩිකල් කියලා හිතන් ඉන්න අයට අත්වන ඉරණමක් ගැන කියවෙන චරිතයක්. ඒ කියන්නේ අපි මවාගත්ත ස්වරූපයක් තබාගෙන සිටියට ඇත්තටම ප්‍රශ්නවලට මුහුණ දෙන්නේ කොහොමද කියන දේ ප්‍රායෝගිකව ඒ චරිතය තුළින් මතු කරනවා. විරංජන කියන්නේ ආදරය කරලා ලිවින්ග් ටු ගෙදර් වගේ ඉමු කියන සංකල්පයක සිටින කොල්ලෙක්. නමුත් ඔහුට ප්‍රායෝගික ජීවිතය තුළ ඒ දේ කරගන්න ලැබෙන්නේ නැහැ.
සින්ටෝ “විරා” චරිතයට ලැබෙන ප්‍රතිචාර ගැන කතා කරමු?
ටෙලි නාට්‍යයට ලැබෙන ප්‍රතිචාර නම් ගොඩක් හොඳයි. මම නිවෙසින් එළියට යන විටත් ගොඩක් අය මට කතා කරන්නේ විරා කියන්නන්. මම ඒකට ගොඩක් කැමැතියි. මගේ චරිතය නමින් ප්‍රේක්ෂකයෝ මට කතා කරන එක මට ලොකු සතුටක්.
චරිත ඇතුළේ ජීවත් වීම පහසු කාරණයක් නොවෙයි. ඔබ චරිතයකට අනුගත වීමේදී සැලකිලිමත් වන දේවල් මොනවද?
චරිතයට අනුගත වෙනවා කියන්නේ අපි යම් කිසි චරිතයකට සම්බන්ධ වීමට පෙර චරිත ගැන අධ්යක්ෂවරුන් සමඟ කතා කරනවා. මම නම් සාමාන්‍යයෙන් වැඩක් කරන්නේ චරිතය ගැන අයිඩියා එකක් ඇතිව. ඒ චරිතයේ පටන් ගැන්ම, අවසානය සහ කතාව මැදදී වන හැලහැප්පීම්, වෙනස් වීම් ගැන අදහසක් තබා ගන්නවා. චරිතයට අනුගත වෙනවා කියන එක ඇතුළේ මම නම් දකින්නේ අපේ ස්ක්‍රිප්ට් එක කියවලා අදාළ දර්ශනය පටන් ගන්න කලින් අපිට පෙර සූදානමක් තිබෙන්න ඕනෑ.
රංගනය පිළිබඳ හැදෑරීම රංගනයේ ස්ථාවර වීම සඳහා කොතරම් ඉවහල් වුණාද?
ඇත්තටම රංගනය පිළිබඳ හැදෑරීම ගොඩක් වැදගත් වෙනවා. රංගනය පමණක් නොවෙයි ඕනෑම විෂයක් හදාරලා තිබීම තමන් කරන රැකියාව තුළ ස්ථාවර වීමට ගොඩක් වැදගත්. ඒ නිසා ඕනෑම විෂයක් පිළිබඳ හදාරලා, අභ්‍යාසගත වෙලා දැනුමක් සමඟ වැඩ කරනවා නම් අපිට ඕනෑම දෙයක් ස්ථාවරව කරන්න පුළුවන්.
ලාංකේය කලා ක්ෂේත්රය තුළ රංගන කාර්ය උදෙසා ලැබෙන වටිනාකම ප්‍රමාණවත්ද?
කලාකරුවෙක් වශයෙන් අපිට අපේ වටිනාකම ගැන කියන්න අවස්ථාවක් නැහැ. ලංකාව තුළ සිනමා හෝ ටෙලි කර්මාන්තයක් නැහැ. සිනමා හෝ ටෙලි කර්මාන්තයක් නැති වීම තුළ අපිට අපේ වටිනාකම හදාගන්න බැරි වෙලා තිබෙනවා. මොකද ඩිරෙක්ටර් චරිතෙකට ඒ රංගන ශිල්පියාව තෝරා ගත්තට පස්සේ ඒ නළුවාගෙන් ගන්න මුදල පවා වැදගත් වෙනවා. දැන් තිබෙන තත්ත්වය අනුව ඒ නළුවාට වඩා ඔහු ගන්න මුදල ගැන තමා සැලකිලිමත් වෙන්නේ.
වෘත්තීය රංගන ශිල්පියෙක් ලෙස සිටීම අභියෝගයක්ද?
අනිවාර්යෙන්ම ලංකාව ඇතුළේ වෘත්තීය රංගන ශිල්පියකු ලෙස රඟපාන එක අභියෝගයක්. ඉන්දියාව වගේ රටවල එහෙම ප්‍රශ්නයක් නෑ. නමුත් ලංකාවේ අපි කලාව වෘත්තියක් විධියට කරන විට අපි යම් කිසි නිර්මාණයකට අපේ කාලය යොදවනව නම් එහෙම නැති නම් යම් කිසි චරිතයක් වෙනුවෙන් අපි අපේ ඇඟ, මුහුණ අපේ හැමදේම යොදවනව නම් ඒ වෙනුවෙන් අපිට මුදලක් ලබෙන්න ඕනෑ. නමුත් ලංකාව ඇතුළෙ ඒක කරන්න අමාරුයි. ලංකාව ඇතුළෙ තිබෙන මේ ප්‍රශ්නත් සමඟ වෘත්තීයමය වශයෙන් නළුවෙක් වෙන එක හරි අමාරුයි.
රංගනයේදී ප්‍රවීණයන්ගෙන් ලැබුණු සහයෝගය ගැන කතා කළොත්?
මට ප්‍රවීණයන්ගෙන් ලොකු සහයෝගයක් ලැබිලා තිබෙනවා. මම කුඩා කාලයේ දැකපු ටෙලි ඩ්‍රාමාස්වල සහ ෆිල්ම්ස්වල ජීවත් වුණු චරිත දිහා බලලා තමයි මම නළුවා කියන කෙනාට ආදරේ කරන්න ගත්තේ. ඒ චරිත රඟපෑවේ මගේ ප්‍රවීණයෝ. ඉතින් මම ප්‍රවීණයන්ගෙන් මගේ රංගන ජීවිතයට ගොඩක් දේවල් එකතු කර ගන්නවා සහ ඔවුන්ගෙන් මට ලොකු සපෝර්ට් එකක් ලැබෙනවා.
විවිධාකාර චරිත නිරූපණය කිරීම රංගන ශිල්පියකුගේ පැවැත්මට කෙතරම් ඉවහල් වනවාද?
මම කැමැති චරිතාංග නළුවෙක් වෙන්න. චරිතාංග නළුවා තුළ මම නම් කැමැති පැවැත්ම ස්ථාවර කරනවට වඩා ඒක එන්ජෝයි කරන්න. මම චරිතාංග නළුවෙක් වෙන එක ඇතුළේ මට වෙනස්කම් ටිකක් තිබෙනවා. ඒ නිසා මං හරි සතුටෙන් තමයි රඟපාන්න යන්නේ. මොකද අද නාට්‍යයේ රඟපෑම් කළ දේ නෙවෙයි හෙට නාට්‍යයේ රඟපෑම් කරන්නේ. ඉතින් මම ඒක විඳිනවා සහ එන්ජෝයි කරනවා. ඒක ඇතුළේ තමයි මම ජීවත් වෙන්නේ.
ශ්‍රී ලංකාව තුළ රංගනය විෂයක් ලෙස හැදෑරීමට තිබෙන පහසුකම් පිළිබඳ ඔබේ අදහස මොනවගේද?
ලංකාව තුළ විවිධ ආකාරයේ පාඨමාලාවන් තියෙනවා. ඒ අතර අනෝජා වීරසිංහගේ අභින පාඨමාලාව, මහේන්ද්‍ර පෙරේරාගේ ඇක්ටින් ස්ටුඩියෝ එක වගේම කෞෂල්‍යා ප්‍රනාන්දුගේ පාඨමාලාව තියෙනවා. නමුත් ලංකාව තුළ රංගනය හදාරන්න තිබෙන පාඨමාලා අඩුයි. ඒක තමයි දැනට ප්‍රශ්නයත් වෙලා තිබෙන්නේ. අපිට ඇත්තටම අභ්‍යාසගත වෙලා රංගනයට පිවිසෙන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා. නමුත් ලංකාවේ එහෙම අභ්‍යාස ගත වෙලා එන්න තරම් ලොකු වපසරියක් නැහැ ඇත්තටම. ඒක නිසා කර්මාන්තය තව පුළුල් වුණා නම් තව වැඩමුළු පවත්වනව නම් නළු නිළියන් බිහි කිරීමේ ප්රවණතා වැඩි වෙනවා. නමුත් දැන් තිබෙන පාඨමාලා සහ වැඩමුළුවල හිඟකමත් එක්ක අලුත් පිරිසකට එන්න බැරිකමක් තමයි තිබෙන්නේ. දැනට තිබෙන පාඨමාලාත් එක්ක නළුවකුට නිළියකට තව ඉදිරි ගමනක් යන්න ලැබෙයි කියන දේ ගැන මට අනුව නම් සෑහීමකට පත් වෙන්න බැහැ.
අලුත් නිර්මාණවලට ආරාධනා ලැබිලා තිබෙනවද?
ඔව්, ආරාධනා ලැබිලා තිබෙනවා. මම ළඟදී ෆිල්ම් එකකුත් කළා. තව ටෙලි නිර්මාණ දෙකකට ආරාධනා ලැබිලා තියෙනවා. එකක අපි රූගත කිරීම් කරගෙන යනවා. ඒ වැඩ ටික තමයි කරගෙන යන්නේ ඉතින්.