ඉතින් ශේෂාද්‍රි කොහොමද මේ දවස්වල වැඩ කටයුතු?
නත්තල් නිසා මේ දවස්වල ටිකක් කාර්යබහුලයි. නත්තල් සම්බන්ධ වැඩ කටයුතුවලට තමයි මේ දවස්වල වැඩිපුරම කාලය වෙන් කරලා තියෙන්නෙ. ගෙදර වැඩ, වෘත්තීය වැඩ හැමදේම සමබරව කරගෙන යනවා.
නත්තල් උත්සවය කියන්නෙ ඉතාමත් සතුටුදායක කාලයක්. ඉතින් නත්තලේ කාටත් වඩා වැඩිපුර සතුටු වෙන්නෙ දරුවන්. ක්රිෂාර්යා දුවගේ නත්තල් සූදානම මොන වගේද?
ක්රිෂාර්යා නම් ගොඩක් සතුටින් ඉන්නෙ. මොකද දැන් තමයි එයාට හරියටම තේරෙන්නෙ. නත්තල් කියන්න මොකක්ද කියන දේටත් වැඩිය, නත්තල් ගහ දැක්කම, නත්තල් සීයාව දැක්කම එයාට ගොඩක් සතුටුයි. ක්රිෂාර්යා ගිය අවුරුද්දෙ නත්තල් ගහ, නත්තල් සීයා දැක්කට ලොකු ප්‍රතිචාරයක් තිබුණෙ නෑ. ගිය අවුරුද්දෙ නත්තල් සීයාව දැක්කාම ගොඩක් බය වුණා. නමුත් මේ වසරේ නත්තල් සීයා එනකම් බලාගෙන ඉන්නවා. හැමදාම කියනවා හෙට සැන්ටා එනවා කියලා. එයාට තෑගි ලැබෙනවා කියලා දන්නවා. පල්ලි යන්න තියෙනවා කියලා දන්නවා. ක්රිෂාර්යා මාත් එක්ක එකතුවෙලා නත්තලට කුකීස් හැදුවා. එයාගේ පොඩි පොඩි සූදානම් වීම් කිහිපයක් තියෙනවා. අපි හැමෝටම වැඩියෙන් නත්තල වෙනුවෙන් ලෑස්තිවෙලා ඉන්නෙ ක්රිෂාර්යා තමයි.
අපි ක්රිෂාර්යා ගැන තොරතුරු ටිකක් කතා කළොත්?
දුවගේ සම්පූර්ණ නම ක්රිෂාර්යා පෙරේරා. එයාට දැන් වයස අවුරුදු දෙකහමාරයි. ලබන වසරේ පෙර පාසල් ඇතුළත් කරන්න සූදානමින් ඉන්නවා. මේ කාලය තුළ අපි ක්රිෂාර්යාව පාසල් පරිසරයට සූදානම් කරනවා. මොකද පාසල කියන්නෙ වෙනම පරිසරයක්. ඒ පරිසරයට අපි දරුවන්ව හැඩගන්වන්න ඕනෑ. ඒ වෙනුවෙන් මම ගෙදරදි කරන්න පුළුවන් දේවල් කරනවා. උදේට නැගිටින තැන ඉඳලා රෑට නිදාගන්න තැන දක්වා දරුවාව පුරුදු කළ යුතුයි. ක්රිෂාර්යා නර්තනයට ගොඩක් කැමතියි. සින්දු කියන්න නම්, තවම වචන හරියට කියන්න එයාට තේරෙන්නෙ නැහැ. සින්දුවක් ඇහුණාම එයාගේ වචන දාලා තාලයට කියනවා.
පවුලේ අයගෙන් සහ ඔබගේ රසිකයන්ගෙන් ක්‍රිෂාර්යාට ලැබෙන ආදරය මොන වගේද?
ක්‍රිෂාර්යාට හැමෝගෙන්ම ලොකු ආදරයක් ලැබෙනවා. පවුලෙන් නම් කොහොමත් ක්රිෂාර්යාටයි, සාරණ්යාටයි එක වගේ ආදරය ලැබෙනවා. ක්රිෂාර්යාව රසිකයන් හඳුනා ගත්තෙ යූටියුබ් සහ සමාජ මාධ්‍ය ඔස්සේ. අපි එළියට ගියාම රසිකයන්ගෙන් ක්‍රිෂාර්යාට ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා. එයත් කතා කරනවා. ළඟට ඇවිත් ආදරෙයි කියනවා. නමුත් ක්රිෂාර්යා තවම ගොඩක් පොඩි නිසා රසිකයන් ඇවිත් කතා කරනකොට හරියට ප්‍රතිචාර දක්වන්න තවම තේරෙන්නෙ නෑ. නමුත් අම්මා විදිහට මම ගොඩක් සතුටු වෙනවා මගේ දුවට ලැබෙන ආදරය ගැන.
දුව අනාගතයේදි අම්මා වගේ දක්ෂ රංගන ශිල්පිනියක් වේවිද?
ක්රිෂාර්යා අනාගතයේදි වෙන්නෙ කවුද කියන දේ තීරණය වෙන්නෙ දුවගේ කැමැත්ත සහ දක්ෂතාවය මත. දුව ලොකු වෙනකොට එයාට රංගන හැකියාවක් තිබුණොත්, රංගන ක්ෂේත්රයේ අවස්ථාවක් ලැබුණොත්, ක්රිෂාර්යා කැමති නම් අපි විරුද්ධ වෙන්නෙ නෑ. ක්රිෂාර්යා අනාගතයේ දක්ෂතා දක්වන අංශය කුමක් වුවත්, මමයි ක්‍රිෂානුයි දුව කැමති දේ කරන්න ඉඩ දෙනවා. කවදාවත් අපි දරුවාව අපි කැමති දේවල් ඇතුළෙ හිර කරන්න කැමති නෑ.
මෙවර නත්තල සමරන්නෙ ක්රිෂාර්යාගේ කැමැත්තට අනුවද? නත්තල් සැරසිලි වැඩ කටයුතුවලට ක්රිෂාර්යාගේ දායකත්වය මොන වගේද?
නත්තල විතරක් නෙවෙයි, අපේ ගෙදර හැමදේම සිද්ධ වෙන්නෙ ක්‍රිෂාර්යාට ඕනෑ විදිහට. අපි දුවට හැමදේකම මුල්තැන දෙනවා. අපි මොන තීරණය ගත්තත් දුව ගැන හිතලා එයාගේ කැමැත්තට අනුව තමයි හැමදේම සිද්ධ වෙන්නෙ. නත්තල් ගහ හදනකම් එයා නොඉවසිල්ලෙන් හිටියේ. මම ගහ හදලා දුන්නාම ඒකෙ තියෙන පාට පාට බෝල ටික ක්‍රිෂාර්යාට එයාගෙ උසට තමයි එල්ලුවේ. ඉතිරි සැරසිලි ටික මම හදලා දුන්නා. නත්තල් ගහේ උඩ තරුව එල්ලන එක තමයි ක්‍රිෂාර්යාට තිබුණු ලොකුම ආසාව. ක්රිෂාර්යා මට පොඩි පොඩි දේවල්වලට උදව් කරනවා. මමත් පුංචි පුංචි වැඩවලට දුවගෙන් උදව් ගන්නවා. ඒක එයාගේ වර්ධනයටත් හොඳයි. මම දුවට කියලා දුන්නා නත්තලේදි අපිට තෑගි ලැබෙනවා වගේම අපි අනිත් අයටත් තෑගි දෙන්න ඕනෑ කියලා. දුව අපේ පවුල අයට සූදානම් කරලා තිබුණු තෑගි ඔතන්න මට ලොකු උදව්වක් දුන්නා. නත්තලට ගේ අස් කරන්න, තෑගි ඔතන්න, සරසන්න වගේ ගොඩක් දේවල්වලට මට දුවගේ සහයෝගය ලැබුණා.
ක්‍රිෂාර්යාට සුවිශේෂී නත්තල් අත්දැකීමක් ලබාදීම වෙනුවෙන් මව්පියන් ලෙස ඔබත් ක්‍රිෂානුත් විශේෂයෙන් සැලසුම් කරලා තියෙන්නෙ මොනවද?
මම ක්රිෂාර්යාටයි සාරන්‍යාටයි එක වගේම තෑගි අරගත්තා. මාස අටක පරතරයක් තිබුණට ඒ දෙන්නා එකටමයි ඉන්නෙ. මොන දේ දුන්නත් ලැබෙන දෙයින් ගොඩක් සතුටුවෙලා ස්තූතිවන්ත වෙන බොහොම හොඳ දරුවො දෙන්නෙක්. මම අරන් තියෙන්නෙ එයාලට පාසලට අවශ්‍ය දේවල්, පාට කරන දේවල්. ගිය අවුරුද්දෙ නම් අපි සැන්ටා ගෙනල්ලා එයාලට තෑගි දීලා විනෝද වෙන්න අවස්ථාව හදලා දුන්නා. නත්තලට අපේ පවුලේ අය ගෙදර එකට එකතු වෙනකොට තමයි අපි නත්තල් තෑගි දෙන්නෙ.
දුව නත්තල වෙනුවෙන් අනුගමනය කරන විලාසිතා මොනවද?
නත්තලට සම්බන්ධ පාට, මූලික වශයෙන් කොළ පාට සහ රතු පාට. ඒ පාට දෙකෙන් දුවට ඇඳුම් අරගෙන තියෙනවා. අපිට ඇරයුම් ලැබෙන නත්තල් සාදවලට අඳින්න තමයි ඒවා ගත්තෙ. ක්‍රිෂාර්යාට විලාසිතා ගැන අවබෝධයක් තියෙනවා. දුව හරිම ආසයි ලස්සනට අඳින්න. ගවුමේ පාටට සපත්තු, කොණ්ඩ කටු වගේ දේවල්වලට හරිම ආසයි. සමහර වෙලාවට එයා ගෙදරටත් ලස්සනට ඇඳලා, සපත්තු දාල ඉන්නවා. දුව විලාසිතාවලට දක්වන උනන්දුවට නම් මම ගොඩක්ම කැමතියි.
අවසන් වශයෙන්, ක්රිෂාර්යා දුව ඇතුළු දැයේ සමස්ත දරුවන් වෙනුවෙන් ඔබගේ නත්තල් සුබ පැතුම කුමක්ද?
ශ්‍රී ලංකාවාසී සෑම දරුවෙක් වෙනුවෙන්ම මගේ ප්‍රාර්ථනාව තමයි මේ සමාජය යහපත් සමාජයක් වෙන්න ඕනෑ කියන එක. ඕනෑම දරුවෙකුට බය නැතුව නිදහසේ සමාජයේ හැසිරෙන්න, තමන්ගේ වැඩ කටයුතු කරගන්න අවශ්‍ය සහයෝගය, ආදරය, ආරක්ෂාව හැමදේම දරුවන්ට ලැබිය යුතුයි. විශේෂයෙන්ම දරුවන්ට ආරක්ෂාව ලැබිය යුතුමයි. අධ්‍යාපනය තමයි දරුවෙකුට ලැබිය යුතු වටිනාම තෑග්ග. හැම දරුවෙකුටම සාර්ථක අධ්‍යාපනයක් ලබන්නත්, ඒ ලබන්නා වූ අධ්‍යාපනයෙන් තමන්ගේ ජීවිතය ලස්සනට හැඩගස්වා ගන්නත් අවශ්‍ය ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.
• මංගලා පවිත්‍රානි