ධනුෂ්ක ප්රභාත් කියන්නේ කාලයක් තිස්සේ අපූරු නිර්මාණ රසිකයන්ට තිළිණ කරන දක්ෂ සංගීතවේදියෙක්. ගායනයෙන් වාදනයෙන් වගේම පද රචනයෙන් තනු නිර්මාණයෙන් ඔහු පසුගිය කාලය පුරාවටම දස්කම් පෑවා. අද දවසේ ඔහු ඔබ අභිමුවට පියනඟන්නේ ‘තරු ඇස්’ රැගෙනය. ඉතිං ධනුෂ්කගේ තරු ඇස් කවුරු වෙනුවෙන්ද?. ඒ ගැන දැනගන්න නම් මේ කතාව කියවලා බලන්නම වෙනවා.
ධනුෂ්ක කියන්නේ හොඳ Entertainer කෙනෙක්. කොහොමද ඉතිං?
Entertainment කියන්නේ ගීත ගායනා කිරීමම විතරක් නෙමෙයි. නිකම්ම නිකං ගීතයක් ගායනා කරනවට වැඩිය මං කැමතියි ගොඩක් Audience එකත් එක්ක සම්බන්ධ වෙන්න, වාදකයින් එක්ක සම්බන්ධ වෙන්න, වේදිකාව නිදහසේ පාවිච්චි කරන්න. ඒක එක පාරටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අත්දැකීම් එක්කම එන දෙයක්. ඉංග්රීසි සිංහල භාෂා දෙකම හසුරුවන්න ඇති හැකියාව නිසා හොඳ Entertainer කෙනෙක් වෙන්න ඇති.
තරු ඇස් හැදුවේ දේශානි වෙනුවෙන්ද?
ඔබ රොක් සම්ප්රදාය ඇතුළේ හරි ජනප්රිය චරිතයක්. දැන් ඔබ රොක් සංගීතයෙන් ඈත්වෙලාද?
ඔව් ඇත්ත. පොඩි කාලේ ඉඳලම මම ගොඩක් කැමතියි රොක් සංගීතයට. ඉතින් ඒ ආසාව හින්දම මුල් කාලයේ නිර්මාණය වුණු ගීත රොක් සම්ප්රදායට අනුකූල ගීත. ‘අවකාශයේ’ හා අතීත ‘කතාව’ හොඳම උදාහරණ. නමුත් ඒ කාලේ සීමිත පිරිසක් තමයි ලංකාවේ රොක් සංගීතයට කැමැති. නමුත් වර්තමානයේ රොක් සංගීතයට නැඹුරු පිරිස වැඩි වෙලා තියෙනවා. ඒක හොඳ ප්රවණතාවක්. නමුත් නිර්මාණකරණයේදී මම එක සම්ප්රදායකට සීමා වෙලා නැහැ. විවිධ ශෛලීන් ඇසුරු කරගෙන ගොඩක් ගීත නිර්මාණය කරලා තියෙනවා.
ඔබට හොඳට සංගීත භාණ්ඩ වාදනය කරන්න පුළුවන් කියලත් ආරංචියි?
ගිටාරය තමයි මගේ සංගීත භාණ්ඩය. ඊට අමතරව විදුලි ඕගනය වාදනය කරනවා. කාලෙන් කාලෙට විවිධ සංගීත භාණ්ඩ වාදනය කරනවා. ඒත් ප්රායෝගිකව නිතරම භාවිතා නොවන නිසා නොදැනුවත්වම මගහැරී යනවා. නමුත් ගිටාරය හා මගේ තියෙන්නේ ආත්මීය බැඳීමක් වගේ.
පසුගිය කාලයේ ඔබ ගායනා කළ ‘පාට පාට ලෝකයක්’ ගීතයට ලැබුණු ප්රතිචාර මොනවා වගේද?
ඒ ලැබුණු ප්රතිචාරය අතිවිශිෂ්ටයි. පාට පාට ලෝකයක් රචනා කළේ මගේ මිත්ර සංජක ප්රසාද් දොලේවත්ත. අපි දෙන්නා කාලයක් තිස්සේ සින්දුවක් කරමු කියලා කතාවෙවී හිටියේ. බලාපොරොත්තු නොවූ වෙලාවක අහඹු ලෙස තමයි මේ ගීතය මගේ අතට පත්වුණේ. මම විසින්ම තමයි තනු නිර්මාණය කළේ. අනූකනූ රංගනයෙන් දායක වෙච්ච වීඩියෝ එක ඉතාම ජනප්රිය වුණා. ගීතය ගොඩක්ම වයිරල් වුණේ ටික් ටොක් හරහා. ඒ වීඩියෝ එක අධ්යක්ෂණය කළේ රවිඳු අබේරත්න.
ගී පද රචනා කලාවට යොමු වෙන්න හිතුවේ ඇයි?
ඒකත් අහම්බෙන් ඇතිවෙච්ච දක්ෂතාවය. මුල් කාලීනව මම මුලින්ම මෙලඩි එක තමයි හැදුවේ. මට දැනෙන විදිහට වචන ලියන්නත් පටන් ගත්තා. ඒ විදිහට තමයි ගොඩක් ගීත මගේ අතින් ලියැවුණේ. ඒ වගේම මගේ පද රචනාවලට වෙන ශිල්පීන් සංගීතය සපයලාත් තියෙනවා. ඒ වගේම වෙනත් ශිල්පීන්ගේ පදවලට මමත් තනු නිර්මාණය කරලා තියෙනවා.
මේ දවස්වල අලුත් ආදරයක පැටලිලා ඉන්නවා කියන්නේ ?
ආදරේ ඉතින් හැමදාම අලුත්නේ. අලුත් වන තරමට ආදරේ මිහිරි බව වැඩියි. ඉපදිලා මැරෙනකම් අපි ආදරය කරනවා, ආදරය ලබනවා.
තරු ඇස් ගීතය නිර්මාණය වුණේ කොහොමද?
තරු ඇස් ඇත්තටම නිර්මාණය වුණේ instrumental එකක් විදිහට. විවාහ උත්සවවලදී වාදනය වන පසුබිම් සංගීතයෙන් වාදනය වන සංගීත ඛණ්ඩයක් විදිහට. නමුත් පසුව මට මේක ගීතයක් විදිහට ඉදිරිපත් කිරීමේ ආසාවක් ආවා. ඒ අනුව තමයි මම රන්දි නදීෂා ලවා ඒ මෙලඩියට පද රචනාව සිදුකර ගත්තේ.
තරු ඇස් නිර්මාණය කළේ දේශානි වෙනුවෙන්ද?
දේශානිගේ ඇස් දෙක තමයි ලංකාවෙ මම දැක්ක ලස්සනම ඇස් දෙක. සින්දුව හරියට එයාටම කියපු එකක් වගේ. ඒ වගේම එයා හරිම නිහතමානි ශිල්පිනියක්. ඒක එයා වෙනුවෙන් නිර්මාණය වුණු ගීතයක් කියනවනම් එක් අතකින් සාධාරණයි.
තරු ඇස්වලට ලැබෙන ප්රතිචාර?
ඇත්තටම ප්රතිචාර ගොඩක් හොඳයි. මේක ලස්සනම ලස්සන ආදර ගීතයක්. හැම අතින්ම සරලවම නිර්මාණය වුණු ගීතයක්. වීඩියෝ එක ලස්සනට අධ්යක්ෂණය කළේ රවිදු අබේරත්න.
ඔබේ අලුත් ගීතය නරඹන්න පුළුවන් කොහොමද?
ධනුෂ්ක ප්රභාත් (Dhanushka Prabhath) youtube channel එක හරහා ඔබට මේ ගීතය හා මගේ අනෙකුත් ගීත රස විඳින්න පුළුවන්.
ධනුෂ්ක රැල්ලට ජනප්රිය වෙන්න ආසාවක් නැද්ද?
රැල්ලට ජනප්රිය වෙන්න නම් ආසාවක් නැහැ. මම හැම තිස්සෙම උත්සාහ කරන්නේ මගේ දක්ෂතාවයක් තියෙනවා නම් එය වැඩි දියුණු කරගන්න ඒක ප්රේක්ෂකයාට රසවිඳින්න සලස්වන්න. නමුත් කාලීනව වෙනස් වන ලෝකයත් එක්ක අපි වෙනස් විය යුතුයි. නවීන තාක්ෂණය අපි අපේ නිර්මාණවලට යොදාගත යුතුයි. අලුත් දක්ෂයින් හඳුනාගත යුතුයි. ලෝකයේ නව ප්රවණතා පිළිබඳ දැනුවත් විය යුතුයි.
දිනේෂ් විතාන