සමහරු මට පාරෙදිත් දණ ගහලා වඳිනවා-නෙතලි නානායක්කාර

 



ලංකාවේ රෙඩියෝ මාධ්‍ය කලාවේ මූලාරම්භකයන් ගැන කතා කරන විට මුවන්පැලැස්සේ නාමලී ගැන සිහි නොකරම බැහැ. ඒ වගේම වේදිකාව, සිනමාව, ටෙලිනාට්‍ය තුළත් ඇයගේ නම රන් අකුරින් ලියැවී හමාරයි. කලා ක්ෂේත්‍රයේ ඇය අපිට වටිනාම සම්පතක්. ඇය විසින් මවන ලද චරිත කෙදිනකවත් අමතක නොවනවා වගේම තාත්වික බවින් ද පරිපූර්ණයි. මෙවර හදගැස්ම තුළින් කතාබහට එකතු වුණේ ආදරණීය හදවතක් ඇති ජ්‍යෙෂ්ඨ කලා ශිල්පිනි නෙතලි නානායක්කාරයි.


මේ දවස්වල මොකද වෙන්නේ?


මේ දවස්වල මම හැම අතින්ම කාර්යය බහුල වෙලා හිටියේ. පිටරට ඉන්න මගේ දරුවෝ දෙදෙනෙක් නිවාඩුවට ලංකාවට ආවා. මගේ 90 වැනි උපන් දිනය සැමරීමට. දරුවෝ සියලු දෙනාම මේ අවුරුද්දේ එකට එකතු වුණා. ඉතින් මේ වැඩකටයුතුත් සමඟ ගොඩක් කාර්ය බහුලයි.  


උපන් දින සැමරුම ගැනත් කතා කරමු නේද?


මගේ උපන් දිනය තිබුණේ දෙසැම්බර් 26 වැනිදා. නමුත් මගේ දරුවෝ ලංකාවට පැමිණෙන තුරු ඉන්න සිද්ධ වුණා උපන් දිනය සමරන්න. දරුවෝ ලොකු පාර්ටි එකක් සූදානම් කරලා තිබුණා. මගේ ළඟම යාළුවෝ ටික දෙනකුත්, නෑදෑයන් ටික දෙනකුත් එකතු වෙලා මගේ දරුවන් සමඟ කොළඹ හෝටලයක උපන් දින පාර්ටි එක ගත්තා. එදා දවස හරිම සතුටින් තමයි ගත කළේ මගේ දරුවන් සමඟ.


ඔබේ පවුලේ විස්තර ගැනත් කියමු?


මගේ පවුලේ මට දූලා හතරදෙනෙක් හා එක පුතෙක් ඉන්නවා. මීට දින කිහිපයකට පෙර මගේ පවුලේ සැමටම රූපවාහිනි වැඩසටහනකට කතා කළා. එතැනදී මගේ පුතාට සම්බන්ධ වීමට නොහැකි වුණත් මගේ දූලා හතර දෙනා සමඟ ඒ වැඩසටහනට සම්බන්ධ වුණා. මගේ දරුවෝ අවුරුද්දේ එක එක දින වකවානුවල තමයි ලංකාවට පැමිණෙන්නේ. ඉතිං හරිම කලාතුරකින් මගේ දරුවන් සමඟ කාලය ගත කරන්න අවස්ථාව ලැබුණා.


මෙතෙක් පැමිණි කලා ගමන ගැන මොකද හිතෙන්නේ?


මම මගේ කලා ගමන ගැන පුදුමාකාර සෑහීමකට පත්වෙනවා. මම මේ දිනවලත් ටෙලිනාට්‍යවලට සම්බන්ධ වෙනවා. ඒ වගේම ටෙලිනාට්‍යවල රෙකෝඩින් කටයුතුත් කරගෙන යනවා. මේ දිනවල නම් දෙවැනි ඉනිමේ රූගත කිරීම් සිදුවෙනවා. ඒ වගේම මේ දිනවල මම නුවර ගිහින් ඉන්නේ සාරංග මෙන්ඩිස්ගේ ෆිල්ම් එකක රූගත කිරීම් සඳහා.


කලාවේ දියුණුව වෙනුවෙන් තරුණ පරම්පරාවට දිය හැකි උපදේශය කුමක්ද?


කලා ක්ෂේත්‍රයේ ඉන්න අපේ ළමයින්ට කියන්නේ හොඳට පොත පත කියවන්න කියලයි. මොකද කියවීම මඟින් හොඳ දැනුමක් ලැබෙනවා. ඒ වගේම ගැමි වහර පිළිබඳවත් දැනගැනීම වැදගත්. දැන් ඉන්න බොහෝ දෙනකුට ගැමි වහර පිළිබඳ වැටහීමක් නැති තරම්. අනෙක් දේ තමයි වෙලාවට වැඩකටයුතු කිරීම. ෂූටින්වලදී හෝ රේකෝඩින්වලදී අපිට වෙලාවක් ලබාදුන්නොත් ඒ වෙලාවට පැමිණීම වැදගත්. ඒ වගේම එතැනදී ලබාදෙන පිටපත කියවලා හොඳට අධ්‍යයනය කරලා ඒ ගැන තේරුම් ගැනීමට අපහසු තැන් පිළිබඳ දන්න අයගෙන් තොරතුරු අහලා අවබෝධයක් ලබාගැනීමත් වැදගත්. මේ දේවල් ගැන අවබෝධයකින් වැඩ කරන පිරිස හරි අඩුයි. දැන් ඉන්න තරුණ ළමයි ලොකු අවධානයක් ලබාදීලා තිබෙන්නේ ‍‍‍‍‍‍ෆෝන් එකට. ඒක දියුණු වෙන්න තිබෙන මාර්ගයට අවහිරයක්. ෆෝන් පාවිච්චිය අත්‍යවශ්‍ය වුණත් හැමවෙලාවෙම ෆෝන් එකේ එල්ලීගෙන ඉන්න හොඳ නැහැ. අපි යම් කාර්යකට ගියා නම් ඒ ගැන අවබෝධයකින් වගකීමකින් කටයුතු කිරීමයි වැදගත් වන්නේ.


මෑතකදී සහභාගි වුණු ටෙලිනාට්‍ය නිර්මාණ ගැනත් සඳහන් කරමු?


මෑතකදී මම සහභාගි වුණේ ‘රජගෙදර’ කියන ටෙලිනාට්‍යයට. ඊට අමතරව ‘බේකරි ගෙදර’ ටෙලිනාට්‍යයට සම්බන්ධ වුවත් එම ටෙලිනාට්‍යයේ රූගත කිරීම් අතපසුවීමක් සිදු වුණා. ඒ ‘ගිරිරාජ් කෞෂ්‍යලගේ’ අසනීප තත්ත්වය හේතුවෙන්. ඒ වගේම දෙවැනි ඉනිම ටෙලිනාට්‍යයේත් රූගත කිරීම් කරගෙන යනවා. තව අලුත් ටෙලිනාට්‍යයකටත් ආරාධනා ලැබුණා. නමුත් ඒ ටෙලිනාට්‍ය පිළිබඳ තවම වැඩි විස්තරයක් ලබාදුන්නේ නැහැ.


කලා ක්ෂේත්‍රය තුළ වගේම සමාජය තුළත් ‘කිරි අම්මා’ , ‘අත්අම්මා’ යනුවෙන් ඔබව ආදරණීය ලෙස ආමන්ත්‍රණය කරනවා. ඒ ගැන ඔබට මොකද හිතෙන්නේ?


මට ඇත්තටම සම්මාන සෑහෙන්න ප්‍රමාණයක් ලැබිලා තිබනවා ගෙදර ඉඩකඩත් මදිවෙන තරමට. ඊට අමතරව විශේෂයෙන්ම කියන්න තිබෙන්නේ මගේ ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර ගැනයි. ඒ ප්‍රතිචාර නිසා මම ඇත්තටම සතුටට පත් වෙනවා. මට හමුවෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර අතර මගේ රඟපෑමේ තාත්වික බව ගැන බොහෝ දෙනා පවසනවා.


‘අපේ අම්මාත් මේ වගේ’, ‘අපේ ආත්තම්මාත් මේ වගේ’, කියලා හරි ආසාවෙන් ගොඩාක් අය මට කියනවා. තවත් සමහර අය පාරෙදී දණගහලා වඳින අවස්ථාත් තිබෙනවා. ඉතිං මේ වෙලාවට හිතෙන්නේ මේ මිනිස්සු අපිව කොතරම් නම් අගය කරනවද, ආදරය කරනවද කියල තමයි.


ඉදිරි බලාපොරොත්තු ගැනත් අපි කතා කරමු?


ලෙඩක් දුකක් නැතිව ශරීර සෞඛ්‍ය නිරෝගීව පවත්වාගෙන යෑම තමයි මගේ එකම බලාපොරොත්තුව. එක්තැන් නොවී මගේ වැඩකටයුතු මටම තනියම කරගන්න ලැබේවා කියලා මම දෙවියන්ගෙන් ඉල්ලනවා. මගේ මරණය හොඳින් සිද්ධ වෙන්නයි ඕනෑ. නමුත් මරණය හැම දෙනාටම පොදු කාරණයක්. මරණයට කාලසීමාවක් හෝ වයසක් නැහැ. මගේ ජීවිතේ මම ජීවත් වුණු අවුරුදු 90ටම සියලුම දුක සැප දෙකම විඳවපු ජිවිතයක්. ඒ වගේම දැන් මගේ ජීවිතේ අවසාන කාලයේදී මගේ රත්තරන් දරුවන් 5 දෙනා සමඟ කාලය ගත කිරීමයි වැදගත්. මගේ දරුවන් පස්දෙනාම මට එකවගේ ආදරෙයි. මට අවශ්‍ය සියලුම දේ සපයන්නේ මගේ දරුවෝ. මගේ දරුවෝ තමයි මේ වෙනකොට මම හම්බ කරලා තිබෙන වටිනාම වස්තුව.


නව වසරේ ලංකාවේ සියලු දෙනාට ඔබ ලබාදෙන පණිවිඩය ගැනත් කියමු?


මේ අවුරුද්ද පමණක් නෙමෙයි ඉදිරි අනාගතය හැමදෙනාටම සුබ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේක අලුත් අවුරුද්දට විතරක් සීමා වුණු ප්‍රාර්ථනාවක් නෙවෙයි. ඒ වගේම සියලු දෙනාටම කියන්නේ එකිනෙකාට ආදරය, කරුණාව දක්වලා බොහොම සතුටින් ජීවත් වෙන්න කියලා.


දෙව්මී චමීෂා



Previous Post Next Post