කලා ලොවේ පුංචි තරු පායන්නේ රසික හදවතට ආදරය කැන්දමින් බව කවුරුත් දන්නවා. අද එක්වන මේ පුංචි සුරංගනාවිය මේ දිනවල විකාශය වන “විසේකාරි” ටෙලි නාට්‍යයෙන් දකින්න පුළුවන්. ඇය නමින් “ඉතාරා බෝමන්දි” ඉතින් ඉතාරා දුව මේ දවස්වල මොකද කරන්නේ?
දැන් පාසල් නිවාඩු කාලය නිසා අයියයි, මමයි සෙල්ලම් කරනවා. ඒ වගේම ටීචර් ගෙදරදී කරන්න කියපු ගෙදර වැඩත් කරනවා. මම අම්මලත් එක්ක අත්තම්මලාගේ ගෙදර යන්නත් හිතාගෙන ඉන්නවා. මම හැමදාම මගේ අම්මයි ගෙදර හැමෝමයි එක්ක රස රස කෑම හදලා කනවා. ඒ වගේම මම ෂූටින්වලටත් යනවා. අම්මටත් ෂූටින් තිබෙන නිසා අපි හැමෝටම දිග ට්‍රිප් එකක් යන්න ලැබෙන්නේ නෑ.
මේ නිවාඩු කාලයට මම හරිම කැමැතියි. ඒත් ඉතින් ස්කූල් එකේ යහළුවෝ මතක් වෙද්දී පාළුවක් දැනෙනවා. නත්තල් ගහත් අරගෙන ඔන්න අද ඉඳන් නත්තල් ගහ සරසන්න පටන් අරගත්තා. නත්තල් දවස ළං වෙනකම් මම බලන් ඉන්නේ නත්තල් සීයාගෙන් තෑගි ගන්න.
“විසේකාරී” ටෙලි නාට්‍යයේ දුවගේ චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
“විසේකාරී” ටෙලි නාට්‍යයේ මගේ චරිතයේ නම චානුකී.
ඒ ටෙලි නාට්‍යයේ මගේ අම්මට ඉන්නේ රුවී නැන්දා. ඒ වගේම තාත්තාට ඉන්නේ අමිල මාමා. ඒ ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කරන්නේ ඉන්දික ධර්මතිලක මාමා සහ නිෂ්පාදනය කරන්නේ ප්‍රභාත් රොෂාන් මාමා. රුවී නැන්දයි, අමිල මාමයි මම රඟපානකොට මට ගොඩක් උදවු කරනවා. එයාලා එක්ක ඉන්නකොට මට පාළුවක් දැනෙන්නේ නෑ.
ඉන්දික ධර්මතිලක මාමා, මම මොනවද කරන්න ඕනි කියලා මට ආදරයෙන් කියලා දෙනවා. විසේකාරි ටෙලි නාට්‍යයේ රඟපාන හැමෝම මට ගොඩක් ආදරෙයි.
ෂූටින් නැති වෙලාවට රුවී නැන්දා එක්ක මම ෆොටෝ ගහනවා, ටික්ටොක් කරනවා. දැන් ටෙලි නාට්‍යයේ මගේ ආච්චිත් ගෙදර ඇවිල්ලනේ ඉන්නෙ. ඉතින් මගෙත් එක්ක ඒ හැමෝම ආදරයෙන් සෙල්ලම් කරනවා. මගේ අක්කට ඉන්න රයිලි අක්කත් මට ගොඩක් උදවු කරනවා.
ෂූටින් නැති වෙලාවට අපි දෙන්නා ගොඩක් සෙල්ලම් කරනවා.
රංගනයට අමතරව ඉතාරා දුවට තිබෙන වෙනත් දක්ෂතා මොනවාද?
මම ආසාවෙන් කියන්න කැමැතියි මම අපේ පාසලේ සමනල බාල දක්ෂිකාවක්. මම අත්වැඩ කරන්නත් ආසයි. ඒ වගේම බැඩ්මින්ටන් ගහන්නත් ආසයි. බැලේ නැටුම්වලටත් මම ගොඩක් කැමැතියි. රඟපානවාට අමතරව තවත් දේවල්වලට මම දක්ෂයි. මම ඒ හැමදෙයක්ම ඉගෙන ගන්න හරිම ආසයි.
දුවට කලා කටයුතුවලට පවුලෙන් ලැබෙන සහයෝගය කොහොමද?
අම්මා හා තාත්තා මාවයි, අයියවයි බලාගන්න ගොඩක් දුක් මහන්සි වනවා. මාව නවත්තලා යන්න තැනක් නැති වුණාම අම්මා මාව ෂූටින් අරගෙන යනවා. ඒ දෙන්නා හැම වෙලාවෙම මම හා අයියා ගැන හොයලා බලනවා. තව අපේ ගෙදර සීයා ඉන්නවා. ගෙදර හැමෝම කොහේ හරි ගියොත් අයියව බලා ගන්නේ සීයා. ගොඩක් වෙලාවට සීයා අපිත් එක්ක ඉන්න එක අපිට ලොකු දෙයක්. සීයා අපට හරිම ආදරෙයි. අපිත් සීයාට හරිම ආදරෙයි.
දුව මුලින්ම කැමරාවක් ඉදිරියට ගියපු දවසේ මොකද හිතුණේ?
මම රඟපාන්න ආරම්භ කරන්න කලින් අම්මා ෂූටින් කරන තැන්වලට ගිහින් තිබෙන නිසා බය පොඩ්ඩක් විතර අඩු වෙලා තමයි තිබුණේ. ෂූටින් කරන තැන්, කැමරාව හා ලයිට්, එතැන ඉන්න රඟපාන අය මට පුරුදු නිසා රඟපාන්න තවත් මට පහසු වුණා. මම හරිම කැමැත්තෙන් තමයි කැමරාව ඉදිරියේ රඟපාන්නේ.
දුව මෙතෙක් දායක වී තිබෙන වෙනත් නිර්මාණ මොනවාද?
මම වෙළෙඳ දැන්වීම් කිහිපයක රඟපාලා තිබෙනවා. ඒ වගේම සින්දුවල විෂුවල්වලත් මම රඟපාලා තිබෙනවා. මේ තමයි මගේ දෙවැනි ටෙලිනාට්‍යය. මුලින්ම වෙළෙඳ දැන්වීම්වලට ස්ක්‍රීන් ටෙස්ට් කරලා තමයි මාව තෝරා ගත්තේ. ඒවා දැකලා තමයි විෂුවල්වලට කතා කළේ.
රූගත කිරීම් අතරතුර සිදුවුණු අමතක නොවන සිදුවීම් එහෙමත් තිබෙනවාද?
“විසේකාරි” ටෙලිනාට්‍යයේ චේතිය මගේ තාත්තා ෂොපින් කරන්න ගිය වෙලාවෙ මාව තල්ලු කරනවනේ. ඒක මට අමතක වෙන්නේ නෑ. මට ගොඩක් දුක හිතුණා එදා ඒ කොටස කරද්දී. හැබැයි මම අමිල අංකල් එක්ක තරහා නෑ. ඒක රඟපෑමක් කියලා මම දන්නවනේ.
දුවගේ පෞද්ගලික විස්තර ටිකක් කියමු?
දැන් මාව ගොඩක් අය හඳුනා ගන්නේ චානු බබා කියලා තමයි. හැමෝම මට ආදරේ කරනවා. ඒත් මගේ නම ඉතාරා බෝමන්දි. මම ඉගෙනුම ලබන්නේ ඔරුවල කනිෂ්ඨ විද්‍යාලයේ 2 ශ්‍රේණියේ. මම ඉගෙන ගන්නේ. සුභාෂිනි විද්‍යාරත්න ගුරුතුමිය භාරව ඉන්න පන්තියේ.
මගේ අම්මා රෝමා රෝෂී ජයකොඩි. අම්මා ටෙලි ඩ්‍රාමාවල ෂූටින් යනකොට අප්පච්චි ගෙදර හිටියොත් විතරයි මම ගෙදර ඉන්නේ. ඉතින් අප්පච්චිට ඉන්න බැරි හැම වෙලාවෙම අම්මා මාවත් අරගෙන තමයි ෂූටින් යන්නේ. එහෙම ගිහින් මම දන්නවා එතැන ගියාම කොහොමද ඉන්න ඕනෑ මොනවද කරන්න ඕනෑ කියල. මට එතැන පුරුදු තැනක් වුණා. මටත් රඟපාන්න ආසා හිතුණා. සිතාරා විදේශනී ආන්ටි තමයි මම රඟපෑව මුල්ම නිර්මාණයට මාව සම්බන්ධ කරගත්තේ. මම සිතාරා ආන්ටිට ගොඩක් ආදරෙයි. අපි හොඳ යාළුවෝ. මගේ පවුලේ ඉන්නේ අම්මා, තාත්තා, අයියා සහ මමයි. මගේ තාත්තා හරීන් පුෂ්පකුමාර. මගේ අයියා ලුවීන් දසස්. එයා කොල්ලුපිටිය මහානාම විද්‍යාලයේ ඉගෙන ගන්නේ. මගේ හොඳම යාළුවා තමයි මගේ අයියා. මං අයියට ගොඩාක් ආදරෙයි. අයියත් මට ගොඩාක් ආදරෙයි. මගේ අයියත් කලා නිර්මාණ කිහිපයකට සම්බන්ධ වෙලා තිබෙනවා. මගේ පවුලේ හැමදෙනාම මට උදවු කරනවා.
දුවගේ කලා කටයුතුවලට පාසලෙන් ලැබෙන සහයෝගය කොහොමද?
මගේ ටීචර්ස්ලගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. ටීචර්ගෙ දුව සමාධි අක්කා මං වගේම කලා කටයුතුවල ඉන්න කෙනෙක්. මම කොහොමහරි මගේ අධ්‍යාපන කටයුතුත් කරගන්නවා. නැත්නම් මගේ ගුරුතුමියට දුක හිතෙයි. එයා මට වගේම අපේ පන්තියෙ හැමෝටම ගොඩක් ආදරෙයි. මගේ පාසලේ විදුහල්පතිතුමිය ඇතුළු සියලුම ගුරුවරුන් මගේ මේ කලා කටයුතු දැකලා සතුටු වෙනවා. ඒ හැමෝම මම රඟපාන ටෙලි නාට්‍යය බලනවා.
අනාගත බලාපොරොත්තුව ගැනත් මතක් කරමු?
මම ආදරය කරපු ගින්දරි චරිතය රඟපාපු අක්කා එක්ක මට රඟපාන්න ලැබීම සතුටක්. ඉතින් මගේ අනාගත බලාපොරොත්තුව කවදහරි ගුවන් නියමුවරියක් වෙන්නයි.
සිතාරා ආන්ටි, අම්මා, තාත්තා, මගේ අයියා, මගේ ටීචර්, මගේ පන්තියේ යාළුවෝ, නාට්‍යවලදී මට හම්බවෙන සියලුම දෙනාටත් ගොඩාක් ස්තුතියි. මම තවම පුංචියි. මට ඔයාලා හැමදෙනාගෙන්ම ලැබෙන උදවු නිසා තමයි මට මේ දේවල් කරගන්න ලැබෙන්නේ. ඔයාලා හැමෝම හැමදාම මම රඟපාන ටෙලි නාට්‍යය බලන්න කියලා ආරාධනා කරනවා.
රුවිනි අමරකෝන්