ආදරය ගැන කතා කරන්න තරම් මම පරිණත නෑ-රවීන් තාරුක

 


සොඳුරු කටහඬකට හිමිකම් කියන සුන්දර සිනහවකින් මුව සරසා ගත් ඔහු දක්ෂ නවක ගායන ශිල්පියෙක්. මේ දිනවල විකාශය වන “පාරාදීසේ” ටෙලි නාට්‍යය හරහා රංගනයට මුල්ම පියවර තැබූ රසික ආදරය නොඅඩුව දිනාගත් කලාවට හිතැති ඔහු නමින් රවීන් තාරුක. මෙවර සොඳුරු කතාබහක් එක් කළේ ඔහුයි. ඔබේ අලුත්ම නිර්මාණය “හිමි නැති ආදරේක” ගීතය ට්‍රෙන්ඩින් නම්බර් වන් වීම ගැන මොකද හිතුණේ?


මගේ රසිකයන්ගෙන් වගේම කලා ක්ෂේත්‍රයේ අයගෙනුත් ඒ ගීතයට ඉතාම හොඳ ප්‍රතිචාර ලැබුණා. ඇත්තටම ඒ ගීතය මාසයකට ආසන්න කාලයක් ට්‍රෙන්ඩින් වන් වෙලා තිබුණා. ඒ වගේම දැන් ගීතයේ කවර්ස් එහෙමත් ට්‍රෙන්ඩින් ලිස්ට් එකට ඇවිත් තිබෙනවා. ඉතින් ඒ ගැන හරිම සතුටුයි.


රියැලිටි තරගාවලියකින් එන ගායකයෙක් තම වටිනාකම ක්ෂේත්‍රය තුළ ගොඩනඟා ගන්නේ කෙසේද?


ඇත්තටම තරගය තිබෙන්නේ රියැලිටි තරගාවලිය තුළ නෙවෙයි. රියැලිටි තරගාවලියෙන් පසුව තමයි තරගය තිබෙන්නේ. රියැලිටි තරගාවලියෙන් පසුව තමන් කළ යුත්තේ කුමක්දැයි කියා හරි අදහසක් නොතිබුණොත් තමයි බොහෝ දෙනකුට ක්ෂේත්‍රය තුළ දිගටම රඳා පැවැතීමට නොහැකි වන්නේ. ඒ වගේම ඒ අයට මුදල් සම්බන්ධ ගැටලු වගේ තව තව ගැටලු තිබෙන්නත් පුළුවන්. ඒ වගේ දේවල් නිසා සමහරු තමන්ගෙ වැඩකටයුතු අත්හරිනවා. නමුත් මේ ක්ෂේත්‍රය තුළ තමන්ගේ වැඩකටයුතු අත්හරින්නේ නැතිව ඒ කාර්යය තුළ ඉන්න ඕනෑ. තමන්ට තමන් ගැන විශ්වාසයක් තිබෙනවා නම් දවසක හරියනවා. ඒ දවස එන තෙක්  දරාගෙන ඉන්න එක තමයි හොඳම දේ කියලා කියන්න පුළුවන්.


කලා ක්ෂේත්‍රය කියන්නේ සුදුස්සාට සුදුසු තැන ලැබෙන තැනක් ලෙස ඔබ සිතනවාද?


ඒ දේ තමන් සතුව තිබෙන දෙයක්. තමන් දැනගන්න ඕනෑ තමන්ගේ දක්ෂතාව වැඩිදියුණු කරගන්නේ කොහොමද කියලා. තමන් අනෙකාට වඩා කැපීපෙනෙන්නේ කොහොමද කියලා දැනගෙන වැඩකටයුතු කරගෙන යන්න තමන් දැන ගන්න ඕනෑ. නමුත් කලා ක්ෂේත්‍රය තුළ මනුෂ්‍යත්වය කියන දේ හැමදෙනා තුළම තිබෙන්න ඕනෑ කියලා මම විශ්වාස කරනවා. එහෙම මනුෂ්‍යත්වය නැති ආර්ටිස්ට්ලාත් ඉන්නවා. නමුත් ඒ දේවල්වලට අපට වචනයක්වත් කියන්න බැහැ. මොකද මේ ක්ෂේත්‍රය තුළ නීති  නැහැනේ. තවකකු තළා පෙළාගෙන කෙනකු ඉදිරියට ගියොත් ඒ කෙනාට නියමිත කාලයේදී එහි ප්‍රතිඵල භුක්ති විඳීමට ලැබෙයි. ඒ දේවල්වලින් බේරී තමන්ගේ වැඩකටයුතු හරියට කරගෙන යන්න තමන් දැනගන්න ඕනෑ.


ඔබේ කටහඬට, ඔබේ හිනාවට බොහෝ රසිකයන් ආදරය දක්වනවා නේද?


ඔව්. බොහෝ රසිකයන් මගේ කටහඬට, හිනාවට ආදරෙයි. ඉතින් කෙනාගෙන් කෙනාට අනන්‍ය වුණු මුහුණේ ඉරියවු තිබෙනවානේ. මම හිතන්නේ මගේ අනන්‍යතාව ඒක තමයි කියලා.


ඔබේ සංගීත ගමනේ ඉදිරි සාර්ථකත්වය වෙනුවෙන් ඔබේ සැලසුම් ගැන අදහසක් දැක්වුවොත්?


ඒ සම්බන්ධව පැහැදිලි පිළිතුරක් දෙන්න අමාරුයි. මොකද අපි කරන කියන දේවල් කාලයත් සමඟ වෙනස් වෙන්න පුළුවන්.


මම කරන්න බලාපොරොත්තු වන දේවල් මම සහ මාත් සමඟ වැඩ කරන කීපදෙනකු පමණක් දැනගැනීම ප්‍රමාණවත් කියලා හිතනවා.


ගායකයකු ලෙස හඳුනන ඔබව රංගනය තුළත් අලුත් භූමිකාවකින් දකින්න ලැබෙනවා?


ඔව්… ඒ දේ හරිම අහම්බයෙන් වුණු සිදුවීමක්. මම රඟපාන්න බලාපොරොත්තුවෙන් සිටියේ නැහැ. නමුත් මට රඟපෑමට ආශාවක් තිබුණා. ඉතින් අහම්බයෙන් ලැබුණු අවස්ථාවට මම සාධාරණයක් කරනවා කියලා හිතනවා. රංගනය තුළ මට තවත් ගොඩාක් දේවල් ඉගෙන ගන්න තිබෙනවා. මම දැනට දන්න දේවල්වලින් ලැබුණු අවස්ථාවට උපරිම සාධාරණයක් කරනවා කියලා හිතනවා සහ ඉදිරියටත් රංගන කටයුතුවලට දායක වීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා. නමුත් මගේ ගමන තුළ සංගීතය කියන දේ ප්‍රධාන කරගෙන රංගන කටයුතුවලටත් දායක වනවා.


ආදරය හා විවාහය ගැන ඔබේ කියැවීම කොහොමද?


ආදරය හා විවාහය ගැන කතා කරන්නට තරම් මම පරිණත නැහැ. මම තවම අවුරුදු විසිහතරක තරුණයෙක්. ඉතින් ආදරය හා විවාහය කියන්නේ ගැඹුරු මාතෘකාවක්.


අද කාලයේ බොහෝ ගීතවල අර්ථ රසය සම්බන්ධව ප්‍රශංසා වගේම චෝදනාත් එල්ල වනවා. ඔබේ අදහස?


අනිවාර්යයෙන්ම ගීතවල අර්ථ රසය කියන දේ අවශ්‍යයි. නමුත් මියුසික් කියන දෙයට නීති නැහැ. ඒ තුළ කෙනකුට හානියක් නැතිව විඳින්න පුළුවන් කොටසක් තිබෙනවා නම් කාටවත් මේ දේ හොඳයි මේ දේ නරකයි කියන්නට බැහැ. මෙය පහත් සංගීතය, මෙය උසස් සංගීතය යැයි එක් එක් පැතිවලට බෙදා ගැනීම හරිම බොළඳ දෙයක්. සංගීතය කියන්නේ විශ්ව භාෂාවක්. අපි වෙන රටක භාෂාවක ගීතයක් සමහර විට අහන්නේ අර්ථ රසය දැනගෙන නෙවෙයි. ඒ නිර්මාණය රස විඳින්නේ එහි ශබ්ද රසය ගැන පමණක් සිතා විය හැකියි. ඉතින් ඒ දේ බරපතළ ගැඹුරු මාතෘකාවක්. මම කියන්නේ සංගීතය කියන දේ තුළ මේ නිර්මාණය හොඳයි, මේ නිර්මාණය නරකයි ලෙස බෙදා වෙන්කරන්න බැහැ.


කලාකරුවකුට තමා වටා රොක් වූ රසිකයන්ගේ සහයෝගය කොතරම් වැදගත්ද?


කලාකරුවකුට ආදරය කරන තමන් වටා එකතු වන පිරිස තමයි තමන්ගේ ශක්තිය වෙන්නේ. අපි නිර්මාණ කරන්නේ අපේ රසිකයන් වෙනුවෙන් තමයි. අපේ වෘත්තියේ රඳා පැවැත්ම තීරණය කරන්නේ අපේ රසිකයෝ. ඉතින් සරලවම කීවොත් රසිකයෝ තමයි අපිව ජීවත් කරවන්නේ.


ඉදිරියේදී එන ඔබේ අලුත් නිර්මාණ ගැනත් කියමුද?


ඉදිරියේදී රසිකයන් වෙත ලබාදීමට නියමිතව නිර්මාණ කීපයක් තිබෙනවා. කොයි නිර්මාණය කොයි මොහොතක රිලීස් කරයිද කියන්න මම දන්නෙ නෑ. නමුත් මට හරියටම කියන්න පුළුවන් මේ අවුරුද්දෙ තවත් සින්දුවක් රිලීස් වෙන්නේ නැහැ. ලබන අවුරුද්දේ තමයි අලුත් සින්දුවක් රිලීස් වෙන්නේ. ලබන අවුරුද්දේ රිලීස් වීමට නියමිතව ගීත කීපයක්ම තිබෙනවා.


රුවිනි අමරකෝන්



Previous Post Next Post