මේ දිනවල විකාශය වන පිරිමි ළමයි ටෙලි නාට්‍ය තුළින් ප්‍රේක්ෂක ආදරය නොමඳව දිනා සිටින ඇය දක්ෂ නවක රංගන ශිල්පිනියක්. මහවිරු පණ්ඩු, රැල්ල වෙරළට ආදරෙයි, නීල පබළු, දිව්‍යාදරි, පරපුරු පෙම, රොන් ආදී ටෙලි නාට්‍ය ගණනාවකින් ප්‍රේක්ෂකයාට සමීප වූ ඇය සිනමා නිර්මාණ කීපයකින්ද ඉදිරියේදී ඔබට දකින්නට ලැබේවි. හදගැස්ම අපත් සමඟ කතා බහට එක් වූ ඇය නවක රංගන ශිල්පිනී දසුනි සෙනෙත්මා. පිරිමි ළමයි ටෙලි නාට්‍ය ගැන කතා කරමු?
පිරිමි ළමයි ටෙලි නාට්‍ය තුළ මට ලැබිලා තිබෙන චරිතය ටිකක් වෙනස් නිසා වෙනදට වඩා ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා. මට තවම අවුරුදු දහනවයයි. මගේ වයසත් එක්ක ටෙලි නාට්‍ය තුළ මට රඟපාන්න තිබෙන්නේ වැඩිහිටි බිරියකගේ චරිතයක්. ඒ ගැන මේ දවස්වල බොහෝ දෙනෙක් කතා කරනවා සහ එම ටෙලි නාට්‍ය ලැබීමත් සමඟ මට ක්ෂේත්රයේ ඉදිරියට යන්න අවස්ථාව ලැබිලා තිබෙනවා. ඒ ගැන ගොඩක් සතුටුයි. පිරිමි ළමයි ටෙලි නාට්‍යයට මට ආරාධනා කළේ සද්ධා මංගල සූරියබණ්ඩාර සර්. මීට කලිනුත් සර්ගේ ටෙලි
නාට්‍ය කිහිපයකටම මට ආරාධනා කළා. නමුත් ඒ දිනවල මම රංගනයෙන් දායක වුණු ටෙලි නාට්‍ය කිහිපයක්ම ටෙලිකාස්ට් වෙමින් තිබුණ නිසා මට කාල වේලාව සමබර කර ගැනීම අපහසු වුණා. එම නිසා සර්ගේ ටෙලි නාට්‍යවලට සම්බන්ධ විමට නොහැකි වුණා. නමුත් නැවත වරක් සර් මට පිරිමි ළමයි ටෙලි නාට්‍යටත් කතා කළා. ඉතින් මම ස්ක්‍රිප්ට් එකත් කියවලා ඒ චරිතයට කැමැති නිසා එම ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණා.
පිරිමි ළමයි ටෙලි නාට්‍යයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ටෙලි නාට්‍ය තුළ මම නිරූපණය කරන චරිතය ප්‍රේක්ෂකයාට පෙනෙන විධියට දුෂ්ට චරිතයක් වුණත් මම හිතන්නෙ ප්‍රේක්ෂකයෝ ඒ චරිතයට ගොඩක් ආදරය කරනවා. මොකද මට නරක ප්‍රතිචාර ලැබෙන්නෙ නැහැ. ‘මෙයා නියම කෙල්ලෙක්’ කියන දේ තමයි ගොඩක් ප්‍රතිචාරවල තිබෙන්නෙ.
වයසින් වැඩි චරිත සඳහා රංගනයෙන් දායක වීම ඔබට අභියෝගයක් වුණේ නැතිද?
මට මුලින්ම වැඩිහිටි චරිතයකට රඟපාන්න අවස්ථාව ලැබුණේ සනත් ගුණතිලක සර්ගේ චිත්‍රපටයක. චිත්‍රපටයේ සිටියෙ ක්ලීටස් අංකලුයි, පියුමි ශ්‍රීනායක අක්කයි, මමයි, කුසල් අයියයි. ඒ චිත්‍රපටයට අනුව මම කුසල් මදුරංග අයියගේ බිරියගෙ චරිතය කළේ. ඒ චිත්‍රපටය කරන අවස්ථාව වන විට මගෙ වයස අවුරුදු දාහතයි. චරිතය සම්බන්ධයෙන් සනත් සර් කියා දීපු දේවල් නිසා ඒ චරිතය රඟපාන එක මට ලොකුවට අමාරු වුණේ නැහැ. මගෙ සපෝටිව් කැරැක්ටර් එක කළේ කුසල් අයියා. ඔහුත් මගේ චරිතය සාර්ථක කරගන්න උපරිම සහයෝගය දුන්නා. ඒක තමයි මම මුලින්ම වැඩිහිටි චරිතයක් කරන්න ගත්ත අභියෝගය. ඒ නිසා මට පිරිමි ළමයි ටෙලි නාට්‍යයේ ලැබිලා තිබෙන චරිතය රඟපාන්න ඒතරම් අමාරු වුණේ නැහැ.
රංගනය තුළ ඔබ පනවා ගත් සීමා මායිම් තිබෙනවාද?
ඇත්තටම මම මගේ වයසට, මට උචිත විධියට තමයි රඟපාන්නේ. මුලින්ම මම ස්ක්‍රිප්ට් එක බලලා ස්ක්‍රිප්ට් එකේ සඳහන් වන දේවල් මට කරන්න පුළුවන්ද බැරිද කියන දේ තීරණය කරනවා.
ඔබට රංගනය පිළිබඳ හැදෑරීමක් තිබෙනවාද?
රංගනය ගැන නම් මම කිසිම හැදෑරීමක් කරලා නැහැ. මම හැදෑරුවේ නර්තනය. දෙරණ ලිට්ස් ස්ටාර් සීසන් 4, 5 තරග දෙකේදීම මම අවසන් පස්දෙනා අතරට ආවා. ඒත් එක්කම පොඩි කාලෙදී වෙළෙඳ දැන්වීම්වලට සම්බන්ධ වුණා. නමුත් ශිෂ්‍යත්ව විභාග කටයුතු සඳහා රංගනය සම්පූර්ණයෙන්ම නතර කළා. තාත්තට මාව රංගනය පැත්තෙන් ඉදිරියට යවන්න ආසාවක් තිබුණ නිසාම සුපර් ඩාන්සර් සීසන් වන් තරගයට සම්බන්ධ වෙලා අවසන් දසදෙනාට තේරුණා. ඉන් පස්සෙ රොමේෂ් ටොලමි සර්ගේ සිද්ධාර්ථ ගෞතම ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණා. ඒ තමයි මගේ පළමු වැනි ටෙලි නාට්‍ය. එතැනින් පස්සේ මහවිරු පණ්ඩු, රැල්ල වෙරළට ආදරෙයි, නීල පබළු, දිව්‍යාදරි, පරපුරු පෙම, රොන් කියන ටෙලි නාට්‍යවලට සම්බන්ධ වුණා.
කලා ක්ෂේත්රයේ නවකයෙක් විධියට ප්‍රවීණ රංගන ශිල්පීන් ශිල්පිනියන්ගෙන් ලැබෙන සහයෝගය මතක් කළොත්?
ඇත්තටම අපි වගේ ආධුනිකයන්ට, ක්ෂේත්රයේ ප්‍රවීණයන්ගෙන් ගොඩක් හොඳ සහයෝගයක් ලැබෙනවා. ප්‍රවීණ රංගන ශිල්පීන් ශිල්පිනියන් රඟපාන විධිය බලාගෙන ඉඳලා අපිට ගොඩක් අත්දැකීම් ගන්න පුළුවන්. මම ගොඩක් අත්දැකීම් ලබා ගත්තෙ ප්‍රවීණයන්ගෙන්. මගේ ගම ගාල්ලේ. ඉතින් ගමක හැදුණු වැඩුණු කෙනෙක් විධියට, මම ගොඩක් සමාජශීලී වෙලා සිටියෙ නැහැ. එක්වරම කොළඹ ඇවිල්ලා, ක්ෂේත්රයේ අය සමඟ කතාබහ කරලා එකමුතුව සෑම දෙනා එක්කම ආදරෙන් හිටපු නිසා තමයි මේ ක්ෂේත්රය ගැන අවබෝධයක් ගන්න පුළුවන් වුණේ. ඉතින් අධ්යක්ෂවරුන්, නිෂ්පාදකයන්, රංගන ශිල්පීන්, ශිල්පිනියන් හැමෝම එක විධියට සහයෝගයෙන් සිටීම නවකයන් වන අපිටත් පහසුවක්.
ඔබ රංගන කුසලතාව වැඩි දියුණු කර ගැනීමට අනුගමනය කරන දේවල් මොනවාද?
මම රෝල් මොඩල් කෙනෙක් කියලා එක් කෙනෙක්ව අනුගමනය කරන්නෙ නැහැ. හැමෝම දිහා බලලා එක එක්කෙනාගෙන් මගේ රංගනය දියුණු කරගන්න පුළුවන් දේවල් අරගෙන ඒ දේවල් ප්‍රගුණ කරගන්න තමයි උත්සාහ කරන්නේ. එහෙම මම හැමෝම අධ්‍යයනය කරනවා.
දසුනි ඉදිරියේදී සිනමාව තුළින් දකින්නට ලැබේවි නේද?
මගේ පළමු වැනි සිනමා නිර්මාණය රජිත හිරාන් අයියගේ රයිඩර් චිත්‍රපටය. මම ඒ චිත්‍රපටයේ රංගන කටයුතු කරන්නේ රොෂාන් රණවන අයියත් සමඟ. මේ චිත්‍රපටය නිසා තමයි මට සනත් ගුණතිලක සර්වත් මුණගැසුණෙ. චිත්‍රපටයේ දුෂ්ටයාගේ චරිතය කළේ සනත් ගුණතිලක සර්. ඒ චිත්‍රපටයට අනුව මම රොෂාන් අයියගේ පෙම්වතියගේ චරිතය තමයි කළේ. මගේ පළමු වැනි චිත්‍රපටයෙම ප්‍රධාන චරිතයක් හමුවීම මට ලොකු අභියෝගයක් වුණා. නමුත් චිත්‍රපට කණ්ඩායමේ එකමුතුකම සහ සහයෝගයත් එක්ක මගේ චරිතය රඟපාන එක එතරම් අමාරු වුණේ නැහැ. මගේ දෙවැනි ෆිල්ම් එක ලස්සන ජයසේකර අයියගෙ (ඍඪතතචඪද) විලන් චිත්‍රපටය. චිත්‍රපටයෙ මේන් රෝල් එක කළේ කැලුම් ආර්යන් අයියා. මම එයාගේ පෙම්වතියගේ චරිතයට තමයි රංගනය කළේ. මගේ තුන්වැනි ෆිල්ම් එක සනත් ගුණතිලක සර්ගේ ගඟුලක ගිණියම චිත්‍රපටය.
නවකයෙක් විධියට ඔබ දකින ආකාරයට කලාව තුළ කුමන ආකාරයේ වෙනසක් විය යුතුද?
ක්ෂේත්රය තුළ මට මුණගැසුණු පිරිස ගොඩක් ආදරණීයව හරිම සහයෝගයෙන් ඉන්නවා. රඟපාන්න ආසාවෙන් එන අලුත් අයට එකම විධියට අත දෙන්න ප්‍රවීණයන්ට පුළුවන් නම් මම හිතනවා කලාවට අපි ඉෂ්ට කරන දායාදය ඒක තමයි කියලා. මොකද අපේ කලාව තුළ අපි පමණක් ඉදිරියට යන්න ඕනෑ කියලා හිතාගෙන සිටියොත් කලාව මඟ නතර වෙනවා. කලාවට අපි තව අලුත් අය බිහි කර කර තමයි ඉස්සරහට යන්න ඕනෑ. මම නම් ක්ෂේත්රයට එන්න හදන අලුත් අයට මට පුළුවන් උපරිමයෙන්ම, මගෙ හදවතින්ම ඒ අයට උදවු කරනවා.
අලුත් නිර්මාණවලට ආරාධනා ලැබිලා තිබෙනවද?
ඔව්, අලුත් නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබිලා තිබෙනවා. ඉන්දියාවේ චිත්‍රපටයකටත් ආරාධනා ලැබිලා තිබෙනවා. නමුත් මගෙ නංගිගේ අධ්‍යාපන කටයුතුයි, මේ තිබෙන ආර්ථික තත්ත්වය සහ මට තවම තනියම එහෙ මෙහෙ යන්න තරම් වයසකුත් නැති නිසා මම තාම හරියටම එයට පිළිතුරක් දීලා නැහැ. නමුත් ඉන්දියාවේ සිනමාවටත් ඉදිරිපත් වෙන්න ආසාවක් තිබෙනවා. ටෙලි නාට්‍යයක රූගත කිරීම් සිදුවෙනවා සහ තව ටෙලි නාට්‍යය දෙක තුනකට ආරාධනාත් ලැබිලා තිබෙනවා. ඉතින් ඒ නිර්මාණත් ඉස්සරහට ප්‍රේක්ෂකයන්ට දැකගන්න ලැබේවි.
නයෝමි ෂර්මිලා