අලීෂාව නිතර නිතර සිහි වෙනවා – නිලංග ප්‍රනාන්දු

 


නව පරපුරේ ගායක නිලංග ප්‍රනාන්දු ගායනා කරන අලීෂා මේ දිනවල බොහෝදෙනා අතර ජනප්‍රියයි. අලීෂා කියන්නේ වෙනස් රහකට ගැයෙන අලුත්ම ගීතයක්.මේ දිනවල අලීෂා ගැන බොහෝදෙනා අසන නිසාම මෙවර මීවිත තුළින් නිලංග ප්‍රනාන්දුට කතා කළා.නිලංග, අලීෂා ගැන කිව්වේ මෙවන් කතාවක්.


අලීෂා කියන්නේ මගේ නවවැනි ගීතය. මේ ගීත නවයෙන් තුනකට මියුසික් වීඩියෝ කළා. නමුත් අලීෂා ගීතයේ හැඩයට ඒ රූපරචනයට හැමෝගෙන්ම හොඳ ප්‍රතිචාර ලැබෙනවා.මීට අමතරව ලුණුයි බතුයි, මේ ආදරේ සහ සුරවමියේ යන ගීතවලටත් ඉතා ඉහළ ප්‍රතිචාර ලැබුණා. නමුත් අලීෂා ගීතයේ වෙනමම රහක් තියෙනවා.


කවුද මේ අලීෂා කියන ප්‍රශ්නයට නිලංගට මගහැර යන්න බැරි වුණා.


අලීෂා කියන්නේ එකපාරක් දැකපු කෙනෙක් නිතර නිතර සිහිනෙන් සිහිපත්වන කතාවකට. හැමෝම මගෙන් අහනවා මගේ හිතේ ඉන්න අලීෂා ගැන ද මේ කියන්නේ කියලා. මමත් ඒ හැඟීමටම වසඟ වෙලා ගීතය කියන නිසා මටත් හිතෙනවා එයාව ද මේ නිතර නිතර මතක් වෙන්නේ කියලා. කොහොම නමුත් අලීෂා මගේ ජීවිතයේ කොටසක් වෙලා. ගායකයෙක් හැටියට මාව වෙනස් කළේ අලීෂා තමයි. අලීෂාව මට හොඳටම ගැළපුණා ඉතින්.


නිලංග ප්‍රනාන්දු කියන්නේ කට්ටක් කාල මෙතෙන්ට ආපු තරුණ ගායකයෙක්. සංගීතයට රහවැටුණු කොල්ලො ඉපදුණු කටුනේරියේ සුන්දර අතීතයක් නිලංගට තියෙනවා.


මගේ ගම වෙන්නප්පුව, කටුනේරිය. මුලින්ම මම පාසල් ගියේ කටුනේරියේ ශාන්ත සෙබස්තියන් විද්‍යාලයට. උසස්පෙළට ශාන්ත ජෝශප් වාස් විද්‍යාලයට ගියා. ඉස්කෝලෙ යන කාලෙ ඉඳලම තමයි සංගීතයට ආදරය කරන්නේ. ගීත ගායනය වගේම චිත්‍ර සහ ක්‍රීඩා වලිනුත් පාසල නියෝජනය කෙරුවා. උසස්පෙළින් පස්සෙ පල්ලියේ කාන්තාරු කණ්ඩායමට සම්බන්ධ වුණා. එතැන ඉඳන් තමයි සංගීතය මගේ මුළු ජීවිතයම වෙන්න ගත්තේ. අනික ෆ්ලෑෂ් බැක් සංගීත කණ්ඩායම අපේ ගමේ ඉන්නේ. රොෂාන් අයියා, කිංස්ලි අයියා, අරුණ අයියා දිහා බලලා තමයි අපිත් සංගීතයට ආසා කළේ. දවසක ලංකාවේ ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක සාමාජිකයෙක් හරි රටේ ජනප්‍රිය ගායකයෙක් හරි වෙන්න ඒ කාලෙ ඉඳලම හීන දැක්කා.


නිලංග සංගීත කණ්ඩායම් කීපයකම දස්කම් දැක්වූ තරුවක් බව කිව යුතුමයි.


සෑහෙන කාලෙක ඉඳන් සංගීත කණ්ඩායම් කීපයකම කටයුතු කළා. Shuffle, Maryites, CNN, Romance, Beats යන සංගීත කණ්ඩායම්වල කටයුතු කළා. කණ්ඩායම් සංගීතයත් එක්ක තමා මේ හැම දෙයක්ම ඉස්සරහට එන්නේ. මගේ මියුසික් වීඩියෝ එකේ ඉන්නෙත් මම කලින් කටයුතු කරපු සංගීත කණ්ඩායම්වල සාමාජිකයෝ. ඔවුන් මගේ ගමනට ලොකු සහයෝගයක් දෙනවා.


අලීෂා නිර්මාණය වෙන්නේ නිලංග රියැලිටි තරගවලට සම්බන්ධවීමත් සමගයි. පසුගිය කාලයේ රියැලිටි තරග කීපයකම නිලංගගේ නම කියැවුණා. ඒ වගේම ඔහු අවසන් තරග වට වලටත් පිවිසුණා.


මම සිරස Voice Sri Lanka Season 2 තරගයට සහභාගි වුණා. ඒ අතරතුරදී තමා කැනීෂියස් ප්‍රනාන්දු කිව්වේ ගීතයක් කරමු කියලා. මට මේ විදියේ ගීතයක් ඕනෑ කියලා මම යෝජනා කෙරුවා. සියොන් රොශෙන්ක තමා අලීෂා ගීතය ලිව්වේ. තනුව හා සංගීතය කැනීෂියස් ප්‍රනාන්දු. තිළිර මාන්නප්පෙරුම අලීෂා ගීතයේ සංගීත සංයෝජනය කළා. ගීතය රූපගත කළේ ෆ්ලෑෂ් බැක් ස්ටූඩියෝ එකේ. කිසිම මුදලක් අය නොකර රොෂාන් ප්‍රනාන්දු අයියා මට ස්ටූඩියෝ එක ලබාදුන්නා. ශිවන්ත ප්‍රනාන්දු කැමරාකරණය කළා. ශවින් කොළඹගේ


සහාය කැමරාකරණයෙන් සහය වුණා. තව බොහෝදෙනෙක් මේ පිටිපස්සෙ ඉන්නවා.


රියැලිටි තරගවලදීත් නිලංගගේ ගීතවලට හොඳ ප්‍රතිචාර ලැබුණා?


රියැලිටි තරගවලින් තමා මම බොහෝදෙනා අතර කතාබහ වුණ චරිතයක් වුණේ. මුලින්ම හිරු ස්ටාර් Season-2 තරගයේදී ගායනා කරපු සල්ලි පොකුරු ගීතයට ජනප්‍රියත්වයක් ලැබුණා. ඊට පස්සෙ සිරස වොයිස් Season-2 ට ගියා. එහිදී ගායනා කළ ලයිලා ගීතයට ඉතා ඉහළ ප්‍රතිචාර ලැබුණා. ජනතාව අතරට යන්න මේ රියැලිටි තරගය ගොඩක් උපකාරී වුණා.


සිරස වොයිස් තරගයේදී කෝච්ලා හතරදෙනාගෙන් උපරිම ප්‍රතිචාර මට හම්බවුණා. මගේ කෝච් උමාරියා දීපු ප්‍රතිචාරය කොහෙත්ම අමතක කරන්න බැහැ. ඇය කිව්වේ මගේ හඬ විශේෂයි කියලා. යුනික් වොයිස් එකක් තියෙනවා කිව්වා. ලංකාවේ වෙනස්ම දෙයක් කරන්න පුළුවන් කිව්වා. ඒ වගේම කසුන් කල්හාර ඇකඩමියෙන් ලැබුණු දැනුම මේ ගමනට ලොකු ශක්තියක් වුණා. කෝච් කසුන් මගේ හඬ ගැන ලොකු විශ්වාසයකින් කතා කළා. ඇකඩමියේදී ආනන්ද සර්ගෙන් ලැබුණු ගුරුහරුකම් කොහෙත්ම අමතක කරන්න බැහැ.


අදටත් මම ගීතයක් කෙරුවම මුලින්ම ඒ අයට යවලා ගීතයේ හොඳ නරක අහනවා. ඒ අතරින් කෝච් භාතිය විශේෂයි. ඒ සම්බන්ධතා මට මේ තරගය නිසා ලැබුණු දේවල්.


ප්‍රසංග වේදිකාවේ තරුවක් වෙමින් සංගීත කටයුතු ඉතාමත් හරවත් ආකාරයට කරගෙන යෑම තමා නිලංග ප්‍රනාන්දුගේ එකම බලාපොරොත්තුව.


මේ දවස්වල අලීෂා ගීතයත් එක්ක ප්‍රසංග වේදිකාවෙන් ඇරයුම් ලැබෙනවා. මම කැමැතියි ලංකාවෙ සෑම ප්‍රසංග වේදිකාවකටම ගොඩවෙලා අලීෂා ගීතයේ රස බෙදාගන්න. ඒ වගේම මගේම නිර්මාණ තමයි මම ඒ හැම


ප්‍රසංගයකම වැඩිපුර ගායනා කරන්නේ. හැමෝගෙන්ම ඉල්ලනවා අලීෂා අහලා ප්‍රතිචාර දෙන්න කියලා. මගේ ඉදිරි සංගීත ගමනට එය ලොකු ශක්තියක් වේවි. දවසක රටේ හැම මනුස්සයෙක්ම කැමැති ජනප්‍රියම ගායකයා වන එක තමයි මගේ එකම ප්‍රාර්ථනාව.


ඒක හීනයක් විතරක්ම නෙමෙයි, ඒක මගේ අධිෂ්ඨානයක්. කවදා හරි දවසක Flash Back සංගීත කණ්ඩායම වගේ ගමට ආඩම්බරයක් වෙන්න වැඩ කරනවා.


දිනේෂ් විතාන



Previous Post Next Post