මගේ ආලවන්තයාත් ටෙලියකින් එනවා – පියුමාලි එදිරිසිංහ

 


පියුමාලි එදිරිසිංහ ගැන දැන් අමුතුවෙන් හඳුන්වාදෙන්න දෙයක් නැහැ. ඇයගේ අලුත්ම රංගනය සාරංග දිසාසේකරගෙ ‘මගේ ආලවන්ති’ ගීතයේ රූපරචනාව හරහා ඔබට දැකගන්න පුළුවන්. මීවිත මේ කතාබහ ඒ වෙනුවෙන්.

පියුමාලි, කොහොමද ‘මගේ ආලවන්ති’ට ලැබෙන ප්‍රතිචාර?


වීඩියෝ එක රිලීස් වෙලා දැනට සතියක් වගේ වෙන්නෙ. ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනව. ඒ වගේම වීඩියෝ එක බලල ගොඩක් දෙනෙක් කියනව ලස්සනයි කියල.


මේ වීඩියෝ එකේ ආලවන්තය ගැන කතා කළොත්?


මෙතැනදි මගේ ආලවන්තය වෙන්නෙ සාරංග අයිය. ඔහු කතාකරල කිව්ව මම ගීතයක් කරනව සම්බන්ධ වෙන්න පුළුවන්ද කියල. ඒ අනුව තමයි මම මේ ගීතයට සම්බන්ධ වෙන්නෙ. මේ ගීතයත් එක්ක සාරංග අයියගෙයි මගෙයි තවත් අලුත් වැඩක් ඉදිරියේදී දැකගන්න ලැබෙයි.


සාරංගගෙන් ලැබුණු මේ ආරාධනය පියුමාලිට දැනුණෙ කොහොමද?


ඇත්තටම ගොඩක් සතුටු හිතුණා. මොකද සාරංග අයිය කියන්නෙ හැම අතින්ම දක්‍ෂ කලා ශිල්පියෙක්. ඒ වගේම ඔහු එක්ක රඟපාන්න මට පුළුවන්වෙයිද කියල පොඩි බයකුත් දැනුණා. කොහොම හරි අපි ලස්සනට වැඩේ කළා.


මගේ ආලවන්ති’ට දිනක්‍ෂි මොකද කිව්වෙ?


ගීතයේ රූගතකිරීම් කරද්දි දිනක්‍ෂි අක්කට එන්න බැරි වුණා. නමුත් පුළුවන් හැමවෙලාවෙම කතාකරල හොයල බැලුවා. පුළුවන් හැම සහයෝගයක්ම දුන්නා. මම දන්න විදිහට සාරංග අයියගෙ කොස්ටියුම් හදල දුන්නෙත් දිනක්‍ෂි අක්ක. ගීතය රිලීස් කළ දවසෙත් ෂූටිං නිසා ඇයට එන්න නොහැකි වුණත් ඇය ඇයගේ යුතුකම් කොටස නොපිරිහෙලා ඉටුකළා වගේම මටත් කතාකරල කිව්වා නංගී ඔයා හොඳට ඒ වැඩේ කළා කියල.


කොහේද රූගකිරීම් සිදු කළේ?


මේ ගීතයේ යොට් එකේ රූගතකිරීම් සිදුකළේ දියතෙ. ඒක මටත් අලුත් අත්දැකීමක් වුණා. ඉතිරි කොටස රූගත කළේ මාතර.


පියුමාලිගේ සැබෑ ජීවිතේ ආලවන්තයා?


ම්ම්ම්… සැබෑ ජීවිතයේත් ආලවන්තයෙක් ඉන්නව. ඉදිරියේදි මමත් සම්බන්ධ වුණ ඩ්‍රාමා එකකින්ම ඔහුවත් දකින්න පුළුවන් වෙයි. ඔහු ඉන්නෙ විදෙස්ගතව. නමුත් මේ දවස්වල ලංකාවට ඇවිත් ඉන්නෙ. වැඩි විස්තර පස්සෙ කියමු නේද.


පාට කුරුල්ලෝ ගැන කතා කළොත්?


පාට කුරුල්ලෝ කියන්නෙ මම රංගනයෙන් දායක වන ප්‍රේක්‍ෂකයන් අතරට ගිය පළමු නාට්‍යය. නමුත් මම මුලින්ම කළේ සාරංග අයියයි මමයි ඇක්ට් කරන ‘ආලවන්ති’ ටෙලි ඩ්‍රාමා එක. ඒ මීට අවුරුදු එකහමාරකට විතර කලින්. දැන් තමයි එක ටෙලිකාස්ට් වෙන්නෙ.


පියුමාලි ජනප්‍රියත්වය දකින්නෙ මොන විදිහටද?


මම ටෙලි නාට්‍යය කරන්න කලින් රංගනයෙන් දායක වුණේ වෙළෙඳ දැන්වීම්වලට. ඒවායින් මිනිස්සු ලොකුවට අපිව හඳුනාගන්නෙ නැහැ. නමුත් පාට කුරුල්ලෝ හරහා මේ වන විට මාව ප්‍රේක්‍ෂකයන් අතර ගොඩක් ජනප්‍රිය වෙලා තියෙනව. ඇත්තටම සතුටුයි වගේම නිහතමානී ආඩම්බරයක් තියෙනව.


වැඩිපුර ලැබෙන්නෙ මොන වගේ ප්‍රතිචාරද?


ඇත්තටම වැඩිපුර ලැබෙන්නෙ ආදරණීය ප්‍රතිචාර. මම පොඩි වැරැද්දක් කරනවටවත්, අඳින පළඳින විදිහ වෙනස්කරනවටවත් ප්‍රේක්‍ෂකයන් කැමති නැහැ.


වැඩිම ප්‍රතිචාර ලැබෙන්නෙ රසිකයන්ගෙන්ද? රසිකාවියන්ගෙන්ද?


මට එහෙම විශේෂයක් නැහැ. මේ දෙගොල්ලන්ගෙන්ම සමාන විදිහට ප්‍රතිචාර ලැබෙනව.


රංගන ශිල්පිනියක් වෙනවා කියන හීනය පියුමාලිටත් තිබුණද?


මට එහෙම හිනයක් තිබුණෙ නැහැ. නමුත් මම කලාවට හරිම ආසයි. පාසල් කාලයේදීත් විෂයයක් හැටියටත් නර්තනය හැදෑරුවා. ඒ නිසා වෙන්න ඇති අද මෙතැන නතර වෙන්න ඇත්තෙ.


මුලින්ම වෙළෙඳ දැන්වීම් වලට?


ඔව්, මගේ ඉන්ස්ටර්ග්‍රැම් ගිණුම දැකල හඳුනන මල්ලි කෙනකුගේ මාර්ගයෙන් මට මුල්ම වෙළෙඳ දැන්වීම ලැබුණෙ. මේ වන විට තිස්පහකට පමණ පෙනීඉඳල තියෙනව.


දැන් වෙළෙඳ දැන්වීම්වලින් ඈත් වෙලාද?


ඈත්වෙලා නැහැ. ඒත් කාලය පිළිබඳ ප්‍රශ්නයක් නිසා කලින් තරම් ඒවාට සහභාගි වෙන්න බැරිවෙලා තියෙනව.


‘මගේ ආලවන්ති’ නිසා ඉදිරියේදි මියුසික් වීඩියෝවලට ආරාධනා ලැබුණාත්?


එහෙම ආරාධනා ලැබුණොත් ගීතය ගැන හොයල බලල මගේ හිතට හරියනවා නම් මම භාරගන්නව.


මේ ඔබේ පළමුවැනි රූපරචනාව නොවෙයි?


මගේ ආලවන්ති කියන්නෙ මම රංගනයෙන් එකතු වුණ පස්වැනි රූපරචනාව.


රංගන ක්‍ෂේත්‍රය ඔබ දකින්නෙ කොහොමද?


මම මේ ක්‍ෂේත්‍රයට ඇවිත් දැන් අවුරුදු දෙකහමාරක් විතර වෙනව. මේ කාලය තුළ මට දැනුණ විදිහට රංගන ක්‍ෂේත්‍රය කියන්නෙ ඉතාමත් හොඳ තැනක්. හොඳ මිනිස්සු, ආදරණීය මිනිස්සු මේක ඇතුළෙ ඉන්නව. මේක මරු තැනක්. මේ මට දැනුණ විදිහ. විවිධ අයට විවිධ විදිහට දැනෙනව ඇති.


කැපිලි කෙටිලි තිබුණද?


මෙතෙක් කල් නම් මට දැනිල නැහැ, මට ඒ වගේ දෙයක් වෙනව කියල.


පියුමාලි විලාසිතාවලට දක්වන්නෙ මොන වගේ උනන්දුවක්ද?


මම විලාසිතා කරන්න බය කෙනෙක් නෙමෙයි. මට ගැළපෙනව නම්, මගෙ හිතට හරියනවනම් අනිවාර්යයෙන්ම මම ඒක අඳිනව.


රංගනයේදී සීමාවන් තියෙනවද?


රංගනයේදී විවිධාකාරයේ චරිත ලැබෙනව නම් මම කැමතියි. නමුත් ඇතැම් චරිතවලදි සීමාවන් නැතිවාම නෙමෙයි.


ඔබට බොහෝ විට ලැබෙන්නෙ පෙම්වතියගේ චරිත. සැබෑ පෙම්වතාගෙන් තහංචි නැද්ද?


ඔහු මට තහංචි නම් දාන්නෙ නැහැ. අපි දෙන්නගෙ විශ්වාසය මත තමයි වැඩ කරන්නෙ.


සිනමාවටත් ආරාධනා ලැබුණා?


ඔව්, ආරාධනා දෙකක් ලැබිල තියෙනව. ළඟදීම එකක වැඩකටයුතු පටන්ගනීවි.


මහේෂ් එදිරිසිංහ



Previous Post Next Post