මේක හරියට මම මාත් එක්ක තරග කළා වගේ වැඩක් -උදාරි වර්ණකුලසූරිය

 



ඇගේ රංගන හැකියාව වඩාත් හොඳින් ඉස්මතු වන්නේ පුංචි තිරය මත ද රිදී තිරය මත ද යන්න දැන් දැන් වෙන්කර ගැනීම අසීරු කරුණකි. බොඳ මීදුම් ටෙලි නිර්මාණයේ සංසලා අපට කිසිදා අමතක නොවන මතකයකි. එමෙන්ම අළු පාට දේදුනු ටෙලි නිර්මාණයේ ප්‍රාර්ථනා ද ප්‍රේක්ෂකයා ආදරයෙන් වැලඳ ගත්තේය. ඇය පුංචි තිරයේ හොඳම නිළිය බවට පත් වූවාය. එමෙන්ම පසුගියදා රිදී තිරයේ රංගනය උදෙසා ද ඇය හොඳම නිළිය සම්මානයෙන් පිදුම් ලැබුවාය. ආචාර්ය සරත් වීරසේකරගේ ශ්‍රී සිද්ධා සිනමාපටයේ සුමනා ලෙසින් ඇය මේ දිනවල ප්‍රේක්ෂක ආදරය විඳිමින් සිටින්නීය. අභියෝගාත්මක රංගනය ඔස්සේ පුංචි තිරය මෙන්ම රිදී තිරය ද එක සේ ජයගත් ඇය ජනප්‍රිය රංගන ශිල්පිනී උදාරි වර්ණකුලසූරියයි.


පුංචි තිරය මත හෝ රිදී තිරය මත හොඳම කැටගරිය යටතේ සම්මානිත වෙනවා කියන්නෙ ලේසි පාසු වැඩක් නෙවෙයි. ඔබ ඒ දෙකම එක සේ ජයගන්න තරම් වාසනාවන්ත වුණා?


ඔව්. මෙතෙක් කල් මට හොඳම කැටගරිය යටතේ ලැබිල තිබුණේ පුංචි තිරයේ රංගනය වෙනුවෙන් විතරයි. ඒත් පසුගියදා පැවැති 9 වැනි දෙරණ ලක්ස් සිනමා සම්මාන උලෙළේදී මට හොඳම නිළිය ලෙස සම්මානිත වෙන්න අවස්ථාව ලැබුණේ ජයන්ත චන්ද්‍රසිරිගේ මිදුණු විශ්වය සිනමාපටයේ රංගනය වෙනුවෙන්. ඒ මම සිනමා සම්මාන උලෙළකදී හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වුණු පළමු අවස්ථාව. ඒ නිසා ඒක මගේ ජීවිතේ අමතක නොවන සම්මානයක් වගේම අමතක නොවන අවස්ථාවක්.


මෙවර ඔබ හොඳම නිළිය බවට පත්වෙන්නේ ඔබ එක්කම තරග කරගෙන කිව්වත් හරි නේද?


ඇත්තටම ඒක විශේෂ දෙයක්. හොඳම නිළිය නිර්දේශ නාමයන් අතර මගේම චිත්‍රපට දෙකක් තිබුණා. අවසානයේ ජයග්‍රහණය ලැබුණේ මිදුණු විශ්වය රංගනය වෙනුවෙන්. ඒත් එක්කම හොඳම නිළිය ලෙස නිර්දේශ වුණු ආසු චිත්‍රපටයේ නෙළුම්ගේ චරිතයත් මං ලොකු කැපවීමකින් කළ චරිතයක්. මගේම චිත්‍රපට දෙකක් නිර්දේශ වීම හරියට මමම මාත් එක්ක තරග කළා වගේ. ඒක මගේ ජීවිතේට ලොකු අත්දැකීමක් වගේම අමතක නොවන සිදුවීමක් වුණා.


ආසු කියන්නේ ඔබ ලොකු කැපවීමක් කළ චිත්‍රපටයක් වගේම ප්‍රේක්ෂකයා සංවේදී කළ චරිතයක්?


ඔව්. පියයුරු පිළිකාවක් හේතුවෙන් අප අතරින් වෙන්වුණු ඉන්දිරා ජයසූරියගේ චරිතය නිරූපණය කරන්න ලැබුණු අභියෝගාත්මක අවස්ථාවක්. මරණය පවා සුබවාදීව පිළිගෙන මාතෘත්වය වෙනුවෙන් තමන්ගේ ජීවිතය පවා අභියෝගයට ලක්කළ චරිතයක්. ආසු චිත්‍රපටයේ නෙළුම්ගේ චරිතයත් මෙවර දෙරණ සිනමා සම්මාන උලෙළේ හොඳම නිළියට නිර්දේශ නාමයන් අතර තිබීම මට ලොකු සතුටක්.


හොඳම නිළිය ලෙස සම්මානිත වෙන්න ඔබේ රංගනයේ මොකක් හෝ විශේෂත්වයක් තියෙන්නෙ ඇති?


මිදුණු විශ්වය සිනමාපටයේ රාජිනී මදිරාක්ෂි කියන්නෙ චිත්‍රපට නිළියකගේ චරිතයක්. එතැනදි මට එකම චරිතයක් තුළ චරිත තුනක් පෙන්නුම් කරන්න වුණා. ඒ නිසා ඒක මට අභියෝගයක් වුණා කිව්වත් හරි. එකක් සිනමා රංගන ශිල්පිනියකගේ අසාර්ථකත්වය නිරූපණය කිරීම. එතැනදි ඕවර් ඇක්ටින් වගේ දේවල් එක්ක ඇය අසාර්ථක නිළියක් බවට පත් වෙනවා. එතැනදි ඒ අවස්ථාව නිරූපණය කළා. ඒත් එක්කම ඇගේ සාමාන්‍ය ජීවිතේ ගෙවෙන විදිහ. බිරියක් විදිහට වගේම සාමාන්‍ය මිනිස්සුත් එක්ක ගත කරන ජීවිතේ. ඊට අමතරව ඇය අවසානයේ අතිසාර්ථක නිළියක් බවට පත්වෙනවා. ඒ හරහා ඇය හොඳම නිළිය ලෙස සරසවිය සම්මානයෙන් පිදුම් ලබනවා. අවසානයේ සාර්ථක නිළියකගේ චරිතය. මං ඒ අභියෝගය සාර්ථකව ජයගත්තා කියල හිතෙනවා. එකම චරිතය තුළ තිබුණු ඒ වෙනස්කම් ජූරියේ අවධානයට ලක්වෙන්න ඇති. ඒ වගේම මේ සම්මානය මට තනියෙන් ලැබුණු එකක් නෙවෙයි. ඒ පිටුපස වෙහෙසුණු බොහෝ පිරිසක් ඉන්නවා. අධ්‍යක්ෂවරයා, සහෝදර ශිල්පීන් වගේම තිරය පිටුපස ඉඳන් මට සහාය දුන් සියලුම දෙනා මං මේ අවස්ථාවේ සිහිපත් කරනවා.


ඔබ රංගනයෙන් දායක වන ශ්‍රී සිද්ධා සිනමාපටයත් මේ දිනවල සාර්ථකව තිරගත වෙනවා?


ඔව්. ඒ මගේ රංගන ජීවිතේට ලැබුණු තවත් වටිනා අවස්ථාවක්. ඒ වගේ ප්‍රෞඪ ඉතිහාසයකට හිමිකම් කියන නිර්මාණයකට මට ආරාධනා කිරීම පිළිබඳව මුලින්ම මං ආචාර්ය සරත් වීරසේකර මහතාට ස්තුතිවන්ත වෙනවා. මුලදි මට තිබුණේ ඒ වගේ නිර්මාණයකට සම්බන්ධ වීමේ සතුට විතරයි. ඒත් තිර පිටපත කියවද්දි මගේ ඒ සතුට දෙගුණ තෙගුණ වුණා කිව්වත් හරි. මේක නිර්මාණය වෙලා තියෙන්නේ අපේ ඉතිහාසයේ සිදුවුණු සත්‍ය කතාවක් ඇසුරින්. ඒ වගේ ඉතිහාසයට හිමිකම් කියන නිර්මාණයකට දායක වෙන්න ලැබීමම මං ලබපු ලොකු භාග්‍යයක්. අපට තිබුණෙ මෙහෙම ඉතිහාසයක් නේද කියල දැනෙද්දි හරිම ආඩම්බරයක් දැනෙනවා.


කොහොමද සුමනට ලැබෙන ප්‍රතිචාර?


සුමනා කියන්නෙ රජතුමා සැබැවින්ම ආදරය කළ ගමේ පෙම්වතිය. රජුට ආදරය කිරීම වගේම අවශ්‍ය විටදී රටේ සුබ සිද්ධිය උදෙසා ඒ ආදරය කැප කරන උදාර පෙම්වතියකගේ චරිතය මට කරන්න ලැබුණා. ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මේක අපි මීට වසර 5කට විතර කලින් කරපු නිර්මාණයක්. ගහ මරාගන්න යුද්ධයම ඉලක්ක කරගන්නෙ නැතුව යුද්ධය වගේම රටේ වගකීම, හාස්‍ය, ත්‍රාසය, විනෝදය, ආදරය, විරහව මේ හැම දෙයක්ම ගැබ් වෙලා තියෙන නිර්මාණයක්. ඇත්තටම මමත් හරියටම මේකෙ ඉතිහාස කතාව දැනගත්තෙ මේ නිර්මාණයට සම්බන්ධ වුණාට පස්සේ. අපි ශ්‍රී ලාංකිකයො විදිහට අපේ ඒ ප්‍රෞඪ ඉතිහාසය දැනගන්න එක ගොඩක් වැදගත්. මම හැමෝටම ආරාධනා කරනවා ඇවිත් මේ චිත්‍රපටය බලන්න කියලා. ඒ වගේම මවුපියන්ගෙන් ඉල්ලීමක් කරනවා මේක දරුවන්ට පෙන්නලා අපේ රටේ වටිනාකම ගැන දරුවන්ට අවබෝධයක් ලබා දෙන්න කියලා.


අපේ පැරණි සටන් ක්‍රමයක් වන අංගම්පොර සටන් කලාව හොඳින්ම යොදාගනිපු නිර්මාණයක් විදිහටත් ශ්‍රී සිද්ධා හඳුන්වන්න පුළුවන් නේද?


ඇත්තටම ඒ ගැන නම් පුදුම ආඩම්බරයක් දැනෙනවා. අතීතය දිහා බලද්දි කොතරම් නම් ශක්තිමත් ජාතියක්ද අපිට ඉඳල තියෙන්නෙ කියල හිතෙද්දි නිතැතින්ම ආඩම්බර හැඟීමක් එනවා. ප්‍රධාන චරිතයෙන් එක්වුණු රිටිගල සුමේධ අයියව සිහිපත් කරන්නම ඕන. ඔහු ඉතාම දක්ෂ අයුරින් ඒ සටන් කලාව මෙහෙයවනවා. හැමෝටම වෙනස් අත්දැකීමක් වේවි.


පහුගිය දවස්වල ඔබට තවත් වගකීම්සහගත චරිතයකට පණ පොවන්න අවස්ථාව ලැබුණා නේද?


ඔව්. ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාගෙම කුසුමාසන දේවිය සිනමාපටයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒක ලයිකා ප්‍රඩක්ෂන් එකක්. ඒ වගේම අපේ රටට ලැබුණු විශේෂ අවස්ථාවක්. ඉතාම ඉක්මනින් තිරගත වේවි කියන බලාපොරොත්තුවෙන් ඉන්නවා. මං දේවී කුසුමාසනගේ චරිතයට පණ පොවද්දී හේමාල් රණසිංහ කොනප්පු බණ්ඩාරගේ චරිතයට රංගනයෙන් දායක වෙනවා.


දේවි කුසුමාසන කියන්නේ ආදර කතාවක් මූලික කරගත්ත යුදමය කතාවක්. සිංහල ක්‍රමයට වගේම පෘතුගීසි ක්‍රමයටත් අඳින පලඳින කුසුමාසන දේවිය මට වෙනස්ම අත්දැකීමක් වුණා. ඇඳුම්, පැලඳුම් වගේම ඒ කාලෙ විදිහට පසුතල නිර්මාණය කිරීම මේ නිර්මාණයේ දී ලොකු අභියෝගයක් වුණා. ඒ වගේම දිගු අධීක්ෂණයකින් පසුව ලියැවුණු තිර පිටපතත් අධ්‍යක්ෂවරයාට ලොකු අභියෝගයක් වෙන්න ඇති. එක තැනක කුසුමාසන දේවිය මාල හත පලඳින අවස්ථාවක් තියෙනවා. ඒ වකවානුවේ බේරුණ්ඩ පක්ෂියා මූලික කරගෙන තමයි පලඳනා නිර්මාණය කරල තිබුණේ. ඒ ඒ සියුම් තැන් පවා සැලකිල්ලට ගනිමින් ලොකු කැපවීමකින් කළ නිර්මාණයක්.


උදාරි දැන් දැන් සිනමාව පැත්තේ දකිනව වැඩියි නේද?


සිනමාවට වැඩිපුර ආරාධනා ලැබෙනවා. කුසුමාසන දේවියගෙන් පස්සේ කලින් කරපු සිනමා නිර්මාණ කිහිපයකුත් එන්න තියෙනවා. ඒ අතර ජැක්සන් ඇන්තනී මහත්මයාගේ ‘එක ගෙයි සොකරි‘ ලබන අවුරුද්දෙ මුල තිරගත වේවි. ඊට අමතරව ඔහුගේම දේවී සම්බුලා සිංහල සිනමාපටය වගේම සම්බුලා ඉංග්‍රීසි චිත්‍රපටයත් තිරගත වෙන්න තියෙනවා. සම්බුලා විදෙස් සම්මාන උලෙළ ඉලක්ක කරගෙනම කළ නිර්මාණයක්. ඒ නිසා දෙබස් කළෙත් ඉංග්‍රීසි භාෂාවෙන්මයි. ඊට අමතරව විදෙස් රටක ඉන්න සම්පත් ශ්‍රී රෝෂන්ගේ සිනමාපටයකටත් ආරාධනා ලැබිල තියෙනවා. ඒක ෂෙඩියුල් කරගෙන යන ගමන්. තවත් චිත්‍රපට දෙකක වැඩ භාර අරන් තියෙනවා.


මේ දවස්වල පුංචි තිරයේ දකිනව අඩුයි නේද?


අළු පාට දේදුනු ටෙලි නිර්මාණය ඉවර වුණාට පස්සෙ විකාශය වෙන නිර්මාණයක් නෑ. බන්දුල නානායක්කාරවසම් සත්‍ය කතාවක් ඇසුරෙන් කරන ටෙලි නිර්මාණයකට ආරාධනා ලැබිල තියෙනවා. ඊට අමතරව සිටුවර පුවත නව කතාව ඇසුරෙන් චමීර පතිරණ නිර්මාණය කරන ටෙලි නිර්මාණයකටත් ආරාධනා ලැබුණා. ඉදිරියේදී පුංචි තිරයෙන් නැවතත් දකින්න ලැබේවි.


උදාරි නිතර නිතර විදෙස් සංචාරවල නියැළෙනවා දකින්න ලැබෙනවා?


ඔව්. ඔව්. ලංකාවේ ඉන්නේ තාත්තයි මමයි විතරයි. රූගත කිරීම් අඩු කාලෙට මං විදෙස් රටවලට යනවා. මගේ අම්මා ඉන්නෙ අමෙරිකාවේ. අයියා ඉන්නෙ ඔස්ට්‍රේලියාවේ. එතකොට මහත්තයයි දෝණියි ඉන්නෙ සිංගප්පූරුවේ. ඔය රටවල් තුනට නිතර යැවෙනවා. වැඩිපුරම ඉන්න ලැබෙන්නේ අම්මා එක්ක. අම්මගේ උපන්දිනේ තියෙන්නේ අප්‍රේල්වල. ඒ නිසා හැම අවුරුද්දෙම වගේ අම්මා ළඟට යැවෙනවා. පහුගිය අගෝස්තු නිවාඩුවට මං අම්මා ළඟට ගියේ එයත් එක්ක යුරෝපා සංචාරයකට සහභාගි වෙන්න. අම්මා අවුරුද්දකට කලින් ඉඳන්ම කියල තිබුණා එයත් එක්ක යුරෝපය වටේ රවුමක් යන්න එන්න කියලා. පහුගිය දවස්වල අම්මත් එක්ක ගියා. දැන් දෙසැම්බර්වල දෝණිව අරන් ආයෙම යුරෝපය වටේ යන්න ඕන. එයාට තාම අවුරුදු දොළහයි. ඉස්කෝලෙ වැඩ අතපසු කරගන්න දෝණි කැමති නෑ. එයා දැන් ප්‍රිෆෙට් කෙනෙක්. කලාවටත් ළැදියාවක් තියෙනවා. පියානෝ, වයලීන් ප්ලේ කරන්න පුළුවන්. ඒ වගේම ඔගෙස්ට්‍රා එකෙත් ගීත ගයනවා.


 නාමලි ගමගේ



Previous Post Next Post