පවන්සිරිට තියෙන ආදරය ඉස්සරහට තවත් වැඩි වෙයි -හෂාන් රත්නායක

 


මේ දිනවල විකාශය වන මායාවී ටෙලි නාට්‍යයේ පවන්සිරි ඔබේ හදවතේ ලැඟුම් ගත් ආදරණීය චරිතයක්. ඒ චරිතයට පණ පොවන ඔහු නව පරපුරේ දක්ෂ කඩවසම් රංගන ශිල්පියෙක්. පුංචි තිරයේ, රිදී තිරයේ සොඳුරු මතක සටහන් තැබූ ඔහු නමින් හෂාන් රත්නායක. 


ඔහු එක් කළ සොඳුරු කතාබහයි මේ. මේ දිනවල ඔබේ අලුත් වැඩ කටයුතුවල විස්තර කතා කරමු?


මේ දවස්වල සිරස නාලිකාවේ විකාශය වන “මායාවී” ටෙලි නාට්‍යයේ වැඩකටයුතුත් එක්ක තමයි සම්බන්ධ වෙලා ඉන්නේ. ඊට අමතරව අයි.ටී.එන්. නාලිකාවේ මේ මාසයේ අලුත් ටෙලි නාට්‍යයක් ටෙලිකාස්ට් වෙන්න පටන් ගත්තා “විසේකාරි” කියලා. ඒ ටෙලි නිර්මාණයේත් වැඩකටයුතු පටන්ගෙන තිබෙන්නේ. ඉතින් ඒ වැඩකටයුතු තමයි.


“මායාවී”හි පවන්ගේ චරිතයේ අත්දැකීම ගැන කතා කරමු?


මායාවී ටෙලි නාට්‍යයේ මගේ චරිතයේ නම පවන්සිරි. පවන් කියලා තමයි මේ වෙද්දි ප්‍රේක්ෂකයන් අතරට ගිහින් තිබෙන්නේ. ඒ ටෙලි නාට්‍යයේ පිටපත් රචනය කරන්නේ මහේෂ් රත්සර මද්දුම ආරච්චි. ඒ වගේම එහි අධ්‍යක්ෂණය සඳුන් රාජකරුණා. “මායාවී” ටෙලි නාට්‍යය නිෂ්පාදනය කරන්නේ සිංහ එන්ටර්ටේට්මන්ට් ප්‍රමුඛ ලලිත් වසන්ත. ඉතින් මම කාලෙකින් භාරගත්ත ටිකක් වෙනස් චරිතයක්. ගමේ ජීවත්වන ආදරය හිතේ තබාගෙන ඒ ආදරය පරිස්සම් කරන සංගීතයටත් ආදරය කරන ගමේ ඉන්න හොඳ තරුණ කඩවසම් කොල්ලෙක් තමයි පවන්සිරි කියලා කියන්නේ.


පවන්සිරිට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැනත් කතා කරමු?


මම මේ වනතුරු රංගනයෙන් දායක වූ චරිතවලින් වැඩිපුරම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබන චරිතය බවට පවන්සිරිගේ චරිතය පත්වෙලා තිබෙනවා. මායාවී හි පවන්සිරි කියන්නේ ගොඩක් ආදරයෙන් ප්‍රේක්ෂකයන් වැළඳගත්ත චරිතයක්. ඉතින් ප්‍රතිචාර ගොඩක් ලැබෙනවා. මේ වෙද්දී එක එක නම්වලින් මාව හඳුන්වනවා. ගොඩක් වෙලාවට පවන කියලා කියනවා, පවන් කියලත් කියනවා. ඒ වගේම පවන පණ කියනවා. මාත් සමඟ රංගනයෙන් දායකත්වය ලබා දෙන ටෙලි නාට්‍යයේ අනෙක් චරිත ගැන ටෙලි නාට්‍යයේ නම්වලින්ම කිව්වොත් ශ්‍රියාමාලා, බර්ටි මාමා, ලතා මංගේෂ්වරී කියන චරිත තමයි මට ගමේ ලොකේෂන් එකේදි හම්බවෙන්නේ. ලතා මංගේෂ්වරි කියන චරිතය හරහා ගොඩක් ප්‍රතිචාර පවන්සිරිටත් ලැබෙනවා මොකද ලතා මංගේෂ්වරි ගොඩක් ආදරෙයි පවන්සිරිට. එයා තමයි ගොඩක් වෙලාවට පවන පණ කියල කියන්නේ. ඒකට ප්‍රේක්ෂකයෝ ගොඩක් ආසයි. ලතා මංගේෂ්වරී ටිකක් මානසික මට්ටමින් දුර්වල කෙනෙක්. ඉතින් එයාගේ ආදරය හරිම පිවිතුරුයි; පිරිසුදුයි; හරි අවංකයි. නමුත් මේ වෙද්දි මංගේෂ්වරීට පවන්සිරිගේ හිතේ තවම ආදරයක් නැහැ. පවන්ගේ හිතේ ඉන්නේ ලතා මංගේෂ්වරිගේ නංගී හිතෛෂී.


නවක පරපුරේ රංගන ශිල්පියෙක් විධියට රංගනයේ දී ප්‍රවීණ රංගන ශිල්පීන්ගෙන් ඔබට ලැබෙන අත්දැකීම් ගැන කතා කරමු?


මට මේ වෙද්දි රූගත කිරීම්වලදී, නිර්මාණවලදී ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් බොහොමයක් හමුවෙලා තිබෙනවා. විශේෂයෙන්ම “මායාවී” ගැන කතා කළොත් එහිදී මට ශ්‍රියාමාලා ගේ චරිතයට පණ පොවන ධනුෂ්කා රත්නායක අක්කා, බර්ටි මාමාගේ චරිතයට පණ පොවන ශාන්ත අයියා වගේ ප්‍රවීණයන් මට හමුවෙනවා. ඒ දෙන්නා මට ලොකු සහයෝගයක් ලබා දෙනවා. ගොඩක් වෙලාවට රංගනයේ දී අපේ හැදෙන්න ඕන තැන් ගැන අපට කියලා දෙනවා.


සීන් එකක් කරනකොට ටීම් එකක් විධියට කොහොමද මේ නිර්මාණය සාර්ථකව කරන්නේ කියලා, නිර්මාණයට කොහොමද අපේ දායකත්වය හොඳින් ලබා දෙන්නේ කියලා මේ හැමදේම කිසිම ලෝභකමක් නැතිව අපට කියලා දීලා ගුරුහරුකම් දෙනවා. විශේෂයෙන් අපේ අධ්‍යක්ෂතුමා සඳුන් රාජකරුණා අපට චරිතයට පිවිසෙන විධිය, කොහොමද කැරැක්ටර් එක ඉදිරියට කරගෙන යන්නේ කියලා හැමදේටම ගුරු හරුකම් දෙනවා. ඒ වගේම තමයි මහේෂ් රත්සර මද්දුම ආරච්චිගේ තිර පිටපතකට මට රංගනයෙන් දායක වෙන්න ලැබෙයි කියලා මම හීනෙකින්වත් හිතුව දෙයක් නෙවෙයි. මගේ වාසනාවකට ඒ අවස්ථාව මට ලැබුණා. ඒ වගේම ඔහු අපි අඳින පලඳින විධියේ ඉඳන්, රංග විලාස, කතා කරන භාෂාව, චරිතය ඇතුළේ කොහොමද හැසිරෙන්නේ


කියන මේ හැමදේම ගැන කියා දෙමින් කැරැක්ටර් එක හදනවා. පවන්සිරිගේ කැරැක්ටර් එක ගැන කතා කළොත් ඔහු සරම අඳින්නේ, බයිසිකලයක් පදින්නේ. ඉතින් මට කාලෙකින් ලැබුණු වෙනස්ම විධියේ චරිතයක්. ඉස්සරහට ටෙලි ඩ්‍රාමා එකේ ලොකු වෙනසක් වෙයි. නාගරික චරිත දැකලා දැකලා ගම්බද කඩවසම් තරුණයකුගේ චරිත දකින්න ප්‍රේක්ෂකයෝ ආසයි කියල මට හිතෙනවා. සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ එහෙම ලැබෙන ප්‍රතිචාරත් එක්ක ප්‍රේක්ෂකයෝ ආදරයෙන් පවන්සිරිගේ චරිතය වැලඳගෙන තිබෙනවා කියලා මට හිතෙනවා. ඉතින් පවන්සිරිට ලැබෙන ආදරය ඉදිරියට යද්දී තව තවත් වැඩි වෙයි කියලා හිතෙනවා.


ඔබ ඔබේ රංගන කුසලතා වැඩි දියුණු කර ගැනීමට විශේෂ ක්‍රම අනුගමනය කරනවාද?


ඇත්තටම මම ස්වයං අධ්‍යයනයක් කරනවා. මොකද අපි එක එක චරිතවලට පිවිසෙද්දී අධ්‍යයනයක් කළ යුතුයි. විශේෂයෙන් මම රංගනය පිළිබඳ එහෙම පාඨමාලාවක් හදාරලා නැහැ. මගේ පසුබිම හැදෙන්නේ කළමනාකරණ අංශයෙන්. මම කැලණිය විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණවේදී උපාධිය තමයි හැදෑරුවේ. ඒ කාලයේ තමයි නිරූපණ ක්ෂේත්‍රයට පිවිසෙන්නේ. ඉන් පසුව තමයි රංගන ක්ෂේත්‍රයට පිවිසුණේ. මේ වෙද්දි අපේ ප්‍රවීණ


කලාකරුවෝ, අධ්‍යක්ෂවරු, පිටපත් රචකයන් තමයි මට මඟපෙන්වන්නේ. විශේෂයෙන් ධනුෂ්කා රත්නායක අක්කා ගොඩක් ක්ෂේත්‍ර හරහා ප්‍රවීණත්වය ලබපු කෙනෙක්. ඉතින් ධනුෂ්කා අක්ක මට වෙලාවකට රංගනය පිළිබඳ පොඩි පොඩි ඇක්ටිවිටිස් දෙනවා. අංග චලන හදාගන්නේ කොහොමද, වොයිස් එක ට්‍රේන් කරන්නේ කොහොමද? වගේ දේවල් ගැන. ඉතින් මම හිතනවා ඒ හැම දෙයක් එක්කම අත්දැකීම් එක්ක ඉස්සරහට මගේ රංගන කුසලතා තව තවත් වැඩිදියුණු කරගන්න පුළුවන් වෙයි කියලා.


වර්තමානයේ බොහෝ කලාකරුවන් එකම විධියේ චරිතවලට කොටුවීමක් සිදුවී තිබෙනවා. ඔබ චරිත තෝරා බේරා ගන්නේ කෙසේද?


ඇත්තටම මම චරිතයක් තෝරා ගැනීමේදී ලොකු අවදානමක් ගන්න බලාපොරොත්තු වෙන්නෙ නැහැ. මොකද මම හැමවෙලේම බලන්නේ සීයට සීයක් මට රංගන දායකත්වය ලබාදෙන්න පුළුවන් නිර්මාණයක්, චරිතයක් තෝරගන්න තමයි. ඉදිරියේදී ටිකක් අවදානම් සහිත චරිතයක් විකාශය වෙන්නත් තිබෙනවා. මම ඒක ගොඩක් හිතල භාරගත්තා. ඉතින් ප්‍රේක්ෂකයෝ මොන විධියට භාර ගනියිද දන්නේ නැහැ. අඩුපාඩු හදාගෙන ඒ වගේ චරිතත්


කරන්න බලාපොරොත්තු වෙනවා. මම බලාපොරොත්තු වන්නේ සීයට සීයක් මට හදවතින්ම කරන්න පුළුවන් විධියේ චරිත භාරගෙන ඒ ඔස්සේ ප්‍රේක්ෂකයාට ළඟා වෙන්න තමයි මගේ අරමුණ. ඉදිරියට යද්දි වෙනස් වෙනස් චරිත කරන්න බලාපොරොත්තු වෙනවා. දැනට මම මගේ දායකත්වය උපරිම දෙන්න පුළුවන් කියලා හිතෙන තැන මම රැඳෙනවා.


ඔබට රංගන ක්ෂේත්‍රයට අමතරව වෙනත් ක්ෂේත්‍රයක් වෙත යොමුවීමටත් අදහසක් තිබේද?


ඇත්තටම පොඩි කාලේ ඉඳලා කලා ක්ෂේත්‍රයට තිබුණ කැමැත්ත නිසා තමයි විශ්වවිද්‍යාලයට ඇවිල්ලා ඒ අතරතුරේ නිරූපණ ක්ෂේත්‍රයට පිවිසෙන්නේ. ඒ ඔස්සේ තමයි රංගන ක්ෂේත්‍රයටත් පිවිසෙන්නේ. ඉදිරියේදී මම හැදෑරූ විෂයන් එක්ක ව්‍යාපාර ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ අංශයෙන් මගේම කියල ව්‍යාපාරයක් අනාගතයේදී පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. දැනටමත් ඒකට මුල පුරලා තිබෙනවා. මානසික නිදහස පැත්තෙන් මම ගොඩක් දේවල් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසාම තමයි කලා ක්ෂේත්‍රය තෝරගත්තේ. ඉතින් කලා ක්ෂේත්‍රයෙනුත් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා.


නව පරපුරේ රංගන ශිල්පියෙක් විධියට වර්තමාන කලා ක්ෂේත්‍රය ඔබ දකින්නේ කෙසේද?


වර්තමානයේ අපි ඉන්නේ අලුත් ජෙනරේෂන් එකක. අප්කමින් ජෙනරේෂන් එකක කිව්වොත් මම හිතන්නේ හරි. ඉතින් මේ වෙද්දි විවිධ පැතිකඩ ඔස්සේ කලාවට සම්බන්ධ වෙන ගොඩක් අය ඉන්නවා අපේ නවක පරපුරේ. තරගකාරීත්වය වැඩියි. තමන්ට මේ ක්ෂේත්‍රය ගැළපෙනවද කියලා හඳුනාගෙන අත් හරින්නේ නැතිව ඉදිරියට යන්න පුළුවන් නම් තෝරගන්න කියලා තමයි මම කියන්නේ. රැල්ලට යන්නේ නැතිව තමන්ට තිබෙන දක්ෂතාව හරියාකාරව හඳුනගෙන කලාවට සම්බන්ධ වෙන්න පුළුවන්නම් එතැන පැවැත්මක් තිබෙනවා කියලා මම හිතනවා.


ඉදිරි වැඩ කටයුතු ගැන මතක් කළොත්?


ඉදිරියේදී මම භාරගෙන තිබෙන නිර්මාණ කිහිපයේ වැඩ කටයුතු හොඳින් කරගෙන යෑමට තමයි සැලසුම් කරගෙන තිබෙන්නේ.


රුවිනි අමරකෝන්



Previous Post Next Post