උදාරි වර්ණකුලසූරිය මේ දිනවල තිරගත වන ශ්‍රී සිද්ධා චිත්‍රපටයේ විජයබාහු රජුගේ ආදරවන්තිය ලෙස චරිත නිරූපණය කරනවා. විදෙස්ගතව හිටියත් පසුගිය දිනෙක ලංකාවට පැමිණි මොහොතේ මීවිත ඇය සමග මේ ගැන පිළිසඳරක යෙදුණා.
උදාරි කවදද ලංකාවට ආවෙ?
මම ලංකාවට ඇවිත් දැන් සති දෙකක් විතර වෙනව.
ඒ විශේෂ හේතුවකටද?
එහෙම විශේෂ හේතුවක් තිබුණෙ නැහැ.
ඇවිත් යන්න හිතුණා.
තනියමද ආවෙ?
ඔව්, දුව දැන් ටිකක් ලොකු නිසා එයාගෙ අධ්‍යාපන කටයුතු වගේම මහත්තයාගෙ වෘත්තීයමය වැඩකටයුතුත් එක්ක ඔවුන්ට මෙවර මාත් එක්ක එන්න ලැබුණෙ නැහැ.
මේ දිනවල ඔබ රංගනයෙන් දායක වුණ ‘ශ්‍රී සිද්ධා’ තිරගත වෙනව?
ඔව්, අපි මේ චිත්‍රපටයේ රූගතකිරීම් කළේ ගොඩක් කාලෙකට කලින්. නමුත් කොරෝනා වසංගතය නිසා තිරගත කිරීම ප්‍රමාද වුණා. සරත් වීරසේකර කියන්නෙ බහුතරයක් නොදන්න, අතීතයේ අපේ වීරයන්ගෙ කතා වර්තමාන ප්‍රේක්ෂකයන් හමුවට ගෙන එන්න උත්සාහ කෙනෙක්. ශ්‍රී සිද්ධා කියන්නෙ විජයබාහු රජතුමාගෙ කතාව.
රූගතකිරීම්වල අත්දැකීම් මොන වගේද?
ඇත්තටම මේ පිටපතට මම හරි ආසා වුණා වගේම රූගතකිරීම් සිදුකළේ අපේ රටේ ස්වාභාවික වනාන්තර තුළ. අපි හැමෝම බොහොම සතුටින්, සහයෝගයෙන් වැඩ කළා.
තිරගතවීමට නියමිත චිත්‍රපට මොනවාද?
තව චිත්‍රපට හතරක් පමණ තිරගත වීමට නියමිතව තියෙනව.
මොනවද ඒ?
ජැක්සන් ඇන්තනී මහත්මයාගෙ එකගෙයි සොකරි, සම්බුලා (ඉංග්‍රීසි), දේවී සම්බුලා, ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාගෙ දේවී කුසුමාසන.
ටෙලි නාට්‍ය වැඩකටයුතු?
ටෙලි නාට්‍ය, රූගතකිරීම් අවසන් කළ ඒවා වගේම ඉදිරියට භාරගත්ත වැඩත් තියෙනව. ඉදිරියේදී ප්‍රේක්ෂකයන්ට දැකබලාගන්න පුළුවන් වේවි.
ලැබෙන ආරාධනා ගැන අදහස මොන වගේද?
ඇත්තටම මට ලැබෙන සෑම ආරාධනයක් ගානෙම මට හිතෙන්නෙ මම හරි භාග්‍යවන්තයි කියල. දැනට මගේ වෘත්තීයමය රංගන ජීවිතයට අවුරුදු දහසයක් සම්පූර්ණ වෙන්න ආසන්නයි. මගේ මුල්ම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ උදයකාන්ත වර්ණසූරිය මහත්මයාගේ පටන් මේ දක්වා මම වැඩ කළ සියලුම අධ්‍යක්ෂවරුන්ට මම ස්තූතිවන්ත වෙනව මට මේ වටිනාකම දුන්නාට සහ මාව විශ්වාස කරල නිර්මාණවලට ආරාධනා කිරීම ගැන.
සිනමාව සහ ටෙලි නාට්‍ය අතරින් ඔබේ වැඩි කැමැත්ත?
සිනමාව සහ ටෙලි නාට්‍ය කියල කොටස් දෙකක් විදිහට මම ගන්නෙ නැහැ. ඒක හරියට වැඩියෙන් ආදරේ අම්මටද තාත්තටද කියල ඇහුව වගේ. මොකද අද මම සිනමාවෙන් ප්‍රේක්ෂකයන් ඉදිරියට ආවට ඔවුන් මාව ආදරෙන් වැළඳ ගන්නෙ බොඳ මීඳුම් ටෙලි නාට්‍ය හරහා.
උදාරිට ටෙලි නාට්‍ය සහ සිනමාව අතර වෙනසක් නැහැ?
අඩියෙන් අඩිය තිරයට එනව කිව්වාම, අපි හැමෝම වෙළෙඳ දැන්වීම්වල ඉන්න පුළුවන්, මොඩ්ලින් කරන්න පුළුවන් එහෙමත් නැතිනම් ටෙලි නාට්‍යයක සෙසු චරිතවලින් හරි වෙන්න පුළුවන්, මේ කොහොම ආවත් අවසානයේ මේ හැමෝගෙම බලාපොරොත්තුව රිදී තිරය. එහෙමත් නැතිනම් සිනමා නළුවෙක් හෝ නිළියක් කියන තැනට එන්න තමයි උත්සාහ කරන්නෙ. මම මේ දෙකම එක හා සමානව සලකනව වගේම අදටත් මේ දෙකෙන්ම මට ආරාධනා ලැබෙනව. මේ දෙක අතර වෙනසක් තියෙනව. නමුත් මම සලකන්නෙ එක හා සමානව.
බොඳ මීඳුම් හි සංසලා අදටත් ජනප්‍රියයි?
ඔව්, අදටත් ඈත ගම්වලට ගියාම මගේ නම උදාරි වෙනුවට ඔවුන් කතාකරන්නෙ සංසලා කියල. ඔවුන්ගෙ මතකෙට එන්නෙ සංසලා බේබි. මේ ටෙලි නාට්‍යය ඒ තරමටම ප්‍රේක්ෂකයන් අතරට මාව අරගෙන ගියා.
ඔබ මෙගා වලින් ඈත් වුණා?
ඔව්, මගේ දුව විදෙස්ගතවෙලා අධ්‍යාපනය ලබන්න පටන්ගත්තට පස්සෙ තමයි මෙගාවලින් මම ඈත් වුණේ. මොකද ඇය ළඟ මම නිතරම රැඳෙන්න ඕනා. ඒ වෙනුවෙන් මම විදෙස්ගතවෙනකොට භාරගත්ත නිර්මාණයට අසාධාරණයක් වෙනව.
පසුතැවීම් තියෙනවද?
මගේ රංගන ජීවිතේ වේවා, පෞද්ගලික ජීවිතේ වේවා, වෙනස් කරන්න තැනක් තියෙනවද කියල කවුරු හරි ඇහුවොත් මම කියන්නෙ, මට වෙනස් කරන්න කිසිම තැනක් නැහැ කියල. මගේ ජීවිතේ සිදු වුණ හැම දෙයක්ම මම බොහොම සතුටින් භාරගන්නව. ඒ වගේම යමක් මට ලැබුණා නම් ඒක මගේ ලැබීමට සහ මහන්සියට ලැබුණ දෙයක් කියල මම විශ්වාස කරනව.
තවමත් උදාරිට ලැබෙන ජනප්‍රියත්වයේ අඩුවක් නැහැ?
ඔව්, ඇත්තටම මමත් ඒක විශ්වාස කරනව. එදා මට ආදරය කළ ප්‍රේක්ෂකයන් අදටත් ඒ වගේම ආරෙයි සහ ඔවුන්ගේ මතකයෙන් ගිලිහිලා නැහැ. මම හැමවෙලාවෙම කියන දෙයක් තමයි, ඕනෑම කෙනකුට ප්‍රසිද්ධ වෙන්න පුළුවන්, ජනප්‍රිය වෙන්න අමාරුයි. ඒ වගේම ලැබෙන ජනප්‍රියත්වය පවත්වාගෙන යන්න ඊටත් වඩා අමාරුයි.
මේ වන විට ඔබ ජනප්‍රිය නිළිය වගේම හොඳම නිළිය සම්මානවලට හිමිකම් කියනව?
ඔව්, ඒක මගේ දෙමව්පියන්ගෙ හීනයක්. ජනප්‍රියම නිළිය කියන තැන මට ප්‍රේක්ෂකයන් දුන්නට හොඳම නිළිය කියන දේ මම මහන්සිවෙලා ලබාගන්න ඕන දෙයක්. ඒක මම වෘත්තීයමය වශයෙන් බලපු ලොකුම ජයග්‍රහණයක්.
දුවගෙ ප්‍රතිචාර මොන වගේද?
දුව ලංකාවට ආවාම මගේ චිත්‍රපට නරඹනව. ටෙලි නාට්‍ය නරඹන්න නම් ඇයට වෙලාවක් නැහැ. ඇය අන්තර්ජාලයේ පළවෙලා තියෙන මගේ තොරතුරු යාළුවන්ට පෙන්නන්නෙ හරිම ආඩම්බරෙන්, මේ ඉන්නෙ මගේ අම්මා කියල.
ඇය රඟපෑමට උනන්දුවක් නැද්ද?
දැනට ඇය රංගනය ගැන උනන්දුවක් දක්වන බව මට දකින්න නැහැ. අනාගතයේ දවසක එහෙම වුණොත් මට පුළුවන් උපරිම සහයෝගය ඇයට ලබාදෙනව.
මහේෂ් එදිරිසිංහ