සිනමාව කියන්නේ විශ්ව කෝෂයක් - රාහුල් රිෂික

 


හැත්තෑව අසූව දශකය කවුරුත් හඳුන්වා දෙන්නේ සිංහල සිනමාවේ ස්වර්ණමය යුගය ලෙසයි. ඇත්තෙන්ම එය සත්‍යයකි. හෙළ සිනමාවේ උන්නතිය උදෙසා උරදුන් තම ශක්තිය කැපකළ විශිෂ්ට චරිත බිහි වූ යුගයක් ලෙස හැට හැත්තෑව අසූව දශකයන් හැඳීන්විය හැකිය.


එදා සිංහල සිනමාව බැබළ වූ සුන්දර සුපිරි චරිත සුපිරි තරු පිළිබඳ අදටත් කතා කරන්නේ දැඩි ආදරයකිනි.


ඔවුන් සිනමා ලෝලීන්ට මතකයන් රැසක් ඉතිරි කර තැබූ ආදරණීය චරිතයි. මේ වන විට යුග කිහිපයක් පසුවී තිබුණත් ඒ සිනමා තරුවලට ආදරය කරන ගරු කරන තරුණ තරුණියන් පිරිසක් සිටීම ද සතුටට කරුණකි.


එදා ලක් සිනමා අඹර බැබළ වූ තාරකාවන්ට අදටත් ජීවත් වන විශිෂ්ට චරිතයන්ට ගරු කරන තරුණ රංගන ශිල්පියෙක්ට මෙවර සරසවිය පිළිසඳරට ඇරයුම් කරන්නට අපට හැකි විය.  


කඩවසම් රුවක්, ආකර්ෂණීය පෙනුමක් උපතින්ම උරුම කරගෙන සිනමා ලෝකයට පායා ආ මේ අපූරු සිනමා තරුව අපට මුණගැසෙන්නේ 2022 වසරේ තිරගත වූ ආදරණීය ප්‍රාර්ථනා තුළින්ය.


අති සාර්ථකව තිරගත වූ ආදරණීය ප්‍රාර්ථනා හි රාහුල්ගේ චරිත ශ්‍රී ලාංකික පේ‍්‍රක්ෂකයන්ගේ ආදරය දිනාගත් ඔහු රාහුල් රිෂිකයි.


වර්තමානය වන විට සිංහල සිනමාවට පා තැබූ රංගන ශිල්පී ශිල්පිනියන් බොහෝය. රංගනයට අවතීර්ණ වූ සැණින් ක්ෂේත්‍රයේ ස්ථාවරයක් ගොඩනගා ගැනීමට අසීරුය. රංගනයෙහි දක්ෂතාවය තිබුණත් ඔවුන් ලැබෙන අවස්ථා අඩුය.


එහෙත් තමන් රඟපෑ පළමු ප්‍රධාන චරිතය පේ‍්‍රක්ෂයාගේ මතකයේ රැඳී තිබීමද වාසනාවකි.


ඇතැම් අවස්ථාවල රාහුල්ගේ පළමු චිත්‍රපටය ආදරණීය ප්‍රාර්ථනා ලෙස හැඳින්වුවත් ඔහු දායක වූ පළමු චිත්‍රපටය “තිත්ත ඇත්තයි” එය ප්‍රකට සිනමා නිෂ්පාදන හා අධ්‍යක්ෂක ප්‍රීතිරාජ වීරරත්නගේ සිනමා නිර්මාණයකි.


“මගේ මුල්ම රංගනය ඉදිරිපත් කළේ තිත්ත ඇත්ත චිත්‍රපටයේ. පී‍්‍රතිරාජ් වීරරත්න කියන්නේ මගේ මාමා. ඉතින් එයාගේ චිත්‍රපටයකින් මට සිනමාවට එන්න අවස්ථාව ලැබුණා. ඒක විනෝදාමත්මක චිත්‍රපටයක් වුණත් මට ලැබුණේ තරුණ දේශපාලඥයකුගේ චරිතයක්.”


“ඒත් මම පේ‍්‍රක්ෂකයන් අතරට ගියේ ආදරණීය ප්‍රාර්ථනාහි රාහුල්ගේ චරිතයෙන්.”


“මම සිනමාවට එන්න කලින් Music Video වලට දායක වුණා, රංගනයෙන්.


“මුලින්ම මට මියුසික් වීඩියෝ එකක රඟපාන්න ආරාධනා කළේ ඕස්ට්‍රේලියාවේ ඉන්න මගේ සමීපතම මිතුරෙකුගෙන්. ඒ තමයි වාසව බදුගේ ඔහු තමයි ආදරණීය ප්‍රාර්ථනාහි අධ්‍යක්ෂවරයා. ඔහු මට මියුසික් වීඩියෝවකට එන්න කියලා ආරාධනා කළාම මම ඒක ප්‍රතික්ෂේප කළා. මම කිව්වා මට රඟපාන්න බෑ කියලා.


“ඉන්පසුව නැවතත් කතා කළා.”


“ඒත් ඔහුගේ බලකිරීම නිසාම පසුව මම සම්බන්ධ වුණා.”


“එයට සම්බන්ධ වුණාට පසුව මට දිගටම වගේ මියුසික් වීඩියෝ සඳහා ආරාධනා ලැබුණා.”


“ඒත් ලැබෙන හැම එකක්ම බාරගන්නේ නැහැ.”


“ගීතය මට දැනෙනවා නම් විතරයි මම ඒකේ රංගනය වෙනුවෙන් දායක වෙන්නේ.”


“මම දායක වූ බොහෝ මියුසික් වීඩියෝ ජනප්‍රිය වෙලා තියෙනවා.”


“ඒ වගේම නැරඹුම් වාර මිලියනයක් වූ මියුසික් වීඩියෝ තියෙනවා.”


බැලූ බැල්මට රාහුලට ඇත්තේ දුටු පමණින් ආකර්ෂණයට ලක්වන කඩවසම් හැඩරුවකි. එහෙත් එයින් හිස උදුම්මා නොගත් ඔහු ඉතා චාම් සරල චරිතයකි. කාගේත් සිත් දිනා ගනිමින් ඉවසීමෙන් කලා ක්ෂේත්‍රයේ සැරිසරන චරිතයකි.


ඔහු ඇතැම් අවස්ථාවල නිරූපණ කටයුතු සඳහාද දායකත්වය ලබා දෙයි.


“මට සමහර වෙලාවට අවස්ථාව ලැබෙනවා නිරූපණ ශිල්පියෙක් විදිහට වැඩ කරන්න. ඒත් සම්පූර්ණයෙන් ඒ සඳහා දායක වෙලා නැහැ.”


රාහුල් ඕස්ට්‍රේලියාවෙත් ලංකාවේත් විටින් විට ජීවත්වන චරිතයකි. ඔහු මෙවර ලංකාවට ආසැණින් පළමුවෙන් පෙනී සිට ඇත්තේ ජනප්‍රිය ගායක තීක්ෂණ අනුරාධකගේ නවතම මියුසික් වීඩියෝව සඳහායි.


“ඔව්. මම මෑතකදී කළේ තීක්ෂණගේ ගීතයක් වෙනුවෙන් කරපු වීඩියෝවක්


“එයට මා සමඟ රංගනයෙන් දායක වුණේ ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළියක් වූ අනුරාධා එදිරිසිංහයි.”


“මට ඒ ගීතය හිතට ගොඩක් දැනුණා.”


“මම මුලින්ම සඳහන් කළා වගේ ගීතය මට දැනුණොතින් පමණයි එහි රූප රචනය සඳහා පෙනී සිටින්නේ.”


“අවසරයි මට නමින් තමයි ඒ ගීතය නම් කරලා තියෙන්නේ.”


“ඒ ගීතයෙන් කියවෙන්නේ තමන්ගේ සමීපතමයින්ගෙන් ඈත්වෙලා විදෙස් රටකට යන පිරිමි කෙනෙක්ට දැනෙන හැඟීම.”


“ඒ කෙනා පෙම්වතා වෙන්න පුළුවන්, සැමියා වෙන්න පුළුවන්, සහෝදරයා වෙන්න පුළුවන්.”


“කොච්චර ආදරයෙන් හිටියත් තමන්ගේ ආර්ථික දුෂ්කරතා හමුවේ වර්තමානයේ මේ තත්ත්වය බෙහෙවින් උග්‍ර වෙලා තියෙනවා. විදෙස් රැකියාවන් සොයා යාම


“තරුණ පිරිස තමන් ජීවත් වෙන රට හැර දමා තමන්ගේ පෙම්වතියගෙන්, බිරිඳගෙන් දුරස් වෙලා යනවා.”


“ඒක දරාගන්න බැරි අවස්ථාවක්”.


“එහෙත් එසේ කළ යුතු නම් එම තීරණය ගන්න වෙලා තියෙනවා.”


“ඒක හරිම කනගාටුදායක තත්ත්වයක්.”


“තමන්ගේ සමීපතමෙයින් සමඟ සැපවත් ජීවිතයක් ගතකරන්න හිතාගෙන විදෙස් ගත වුණත් ඔවුන් එහිදී විඳීන්නේ දුකක්.”


“ආදරය දුරස් වෙලා.”


“තනිකම ජීවිතයට ළං වෙලා.”


“ඒ දේ තමයි අවසරයි මට ගීතයෙන් කියවෙන්නේ.”


“මම එහි පෙනී සිටියේ පෙම්වතාගේ භූමිකාවට.”


“දැන් හැමෝටම පුළුවන් යූටියුබ් ඔස්සේ ඒ ගීතය නරඹන්න.”


ප්‍රීතිරාජ් වීරරත්න සිංහල සිනමාවේ දැවැන්ත චරිතයක්. ඒ රාහුල්ගේ මාමා. රාහුල්ගේ පියාත් සිනමාවට සම්බන්ධයි. ඔහු ප්‍රීති වරාවිටගේ.


මීට වසර කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ අති සාර්ථකව තිරගත වූ ‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ චිත්‍රපටයේ රේඛීය නිෂ්පාදකවරයා ලෙස කටයුතු කළේ ප්‍රීති වරාවිට ගේ මහතාය.


එවැනි පවුල් පසුබිමක් ඇති රාහුල්ටද චිත්‍රපට නිෂ්පාදනයට සම්බන්ධ වන්නට බලාපොරොත්තුවක් ඇත්දැයි ඇසූ පැනයට ඔහුගේ පිළිතුර වූයේ මෙයයි.


“නැහැ මම නිෂ්පාදනයට නම් අත ගැසීමට බලාපොරොත්තුවක් නැහැ.”


“එහෙම කරනවා නම් මම තව මේ ක්ෂේත්‍රය ගැන අධ්‍යයනයක් කළ යුතුයි.”


“ ඒක බැරෑරුම් කටයුත්තක්.”


“ මගේ බලාපොරොත්තුව රංගනය පැත්තෙන් ඉදිරියට යන්න.”


“ මම රංගනය ගැන ඉගෙන ගන්නේ සමාජය දෙස බලලයි.”


“අපි ජීවත් වෙන වටපිටාවේ දකින්න ලැබෙන චරිතවලින් අපිට යමක් ඉගෙන ගන්න පුළුවන්.”


“සිනමාව කියන්නේ විශ්වකෝෂයක්.”


“සිනමාව කියන්නේ මේ ලෝකෙට.”


රාහුල් ඕස්ට්‍රේලියාවේ ගතකරන ජීවිතය ගැනද එහි කලා කටයුතු ගැනද පැවසීමට අමතක කළේ නැත.


“මම ඉගෙන ගත්තේ රාජකීය විද්‍යාලයේ.”


“උසස් අධ්‍යාපන කටයුතු සඳහා තමයි මම ඕස්ට්‍රේලියාවට ගියේ.”



“ ඉගෙන ගන්න කාලෙදි මම ටෙලි නාට්‍ය කිහිපයකට සම්බන්ධ වුණා.”


“ඕස්ට්‍රේලියානුවන් අතින් නිර්මාණය වූ ටෙලි නාට්‍ය විදේශයේ නළු නිළියන් සමඟින් තමයි මට රඟපාන්න වුණේ.”


“ඒවා මට ලැබුණු හොඳ අවස්ථාවන් විදිහට තමයි මම සලකන්නේ.”


“එහිදී මම හොඳ අත්දැකීම් ටිකක් ලබා ගත්ත රංගනය ගැන.”


“මම මේ කියන්නේ 2008 සහ 2009 අවුරුදු වල තමයි මම ඒ සඳහා දායක වුණේ.”


“ එතකොට ඉතින් මගේ දඟකාර කාලේ.”


රාහුල් ඔස්ට්‍රේලියානු නිර්මාණ ගැන කතාකළ නිසාම විදෙස් සිනමාවත් අපේ හෙළ සිනමාවත් අතර ඇති පරතරය ගැන ඔහු දරන අදහස් ඉදිරිපත් කළේය.


“මට නම් හිතෙන්නේ ඉතා දිගු ඉතිහාසයක් අපේ සිංහල සිනමාවට තියෙනවා කියලා.”


“අතීත සිංහල සිනමාව ප්‍රබලයි.” මම මෙතනදී අතීත සිනමාව ගැන කතා කරන්න කැමතිය.


“විශිෂ්ට රංගන ශිල්පි ශිල්පිනියන්ගෙන් අඩුවක් තිබුණේ නැහැ. අතීතයේ.”


“අති විශිෂ්ට සිනමා නිර්මාණකරුවන් සිටියා.”


“සිංහල සිනමාවේ ස්වර්ණමය යුගයේ තිබුණේ අතීතයේ.”


“ අපි තවමත් කතා කරන්නෙත් ඒ යුග ගැන.”


“ඒ නිර්මාණ වර්තමානයේ අපිටත් රස විඳීන්න පුළුවන්.”


“ අපේ දෙමව්පියෝ අතීත සිනමාව ගැන කතා කරද්දි අපි අහගෙන ඉන්නේ හරි ආසාවෙන්.”


“මමත් විවේකය තියෙන වෙලාව පරණ සිංහල චිත්‍රපටය නරඹනවා.”


“එදා ශිල්පීන් අතර එකිනෙකාට ගරු කිරීමක් තිබිලා තියෙනවා. එතරම් සුන්දර නිර්මාණ බිහිවීමට ඒ දේවලුත් බලපාන්න ඇති.”


“ඒ වගේම තමයි එකමුතුකම.”


“එහෙත් වර්තමානයේ එහෙම දේවල් දකින්නට ලැබෙන්නේ ඉතා අඩුවෙන්.”


“අනෙක් කාරණය තමයි ඒ කාලේ රංගන ශිල්පීන් තුළ තරු ගුණය කියන දේ උපරිමයෙන් තිබුණා.”


“ඒ චරිත කොහේදී දුටුවත් ඔවුන් වටා පිරිස එක් රොක් වූ බව අපි අහලා තියෙනවා තියෙනවා.”


“දැන් එහෙම තත්ත්වයක් නැහැ.”


“තරුණ රංගන ශිල්පියෙක් විදිහට මේ මම දේත් කියන්න කැමතියි.”


“විදෙස් සිනමාවට වඩා ඉහළ තැනකට අපේ සිනමාව ගෙනියන්න පුළුවන්.”


“ අපේ රටෙන් ලෝකයට පෙන්වන්න බොහෝ දේ තියෙනවා.”


“ලංකාවේ හැම තැනකම තියෙන්නේ කුමන හෝ කතාවක්.”


“ඒව බලලා අපිට නිර්මාණ බිහි කරන්න පුළුවන්.”


“දක්ෂ තරුණ පිරිසක් ඉන්නවා අපිට. ඔවුන්ට අවස්ථාවක් ලැබෙනවා නම්, අත දීමක් මඟ පෙන්වීමක් කෙරෙනවා නම්, අපේ සිනමාව ජාත්‍යන්තරයේ ඉහළින් තැබිය හැකි නිර්මාණ ඔවුන් අතින් බිහිවේවි.”


“හැබැයි ඒ දේ තමයි සිදුනොවන්නෙත්. තරුණ පිරිසට ඉදිරියට එන්න බාධා තියෙනවා. ඉදිරියට යන්න උදව්වක් නැහැ.”


රංගනයට පිවිසෙන අලුත් අයටත් ඒ දේම වෙනවා වෙනවා. අපේ රංගනය වැඩි දියුණු කරගන්න, අත්දැකීම් ලබාගන්න පුළුවන් රංගනයේ යෙදුනොතින්ම පමණයි.”


“ඒකට අවස්ථා නොලැබීම කනගාටුවට කරුණක්.”


“ක්ෂේත්‍රයට එන දක්ෂ තරුණ පිරිසට අවස්ථාව දිය යුතුයි.”


“ප්‍රේක්ෂකයා වුණත් කැමති දක්ෂතා තිබෙන අලුත් මුහුණ දකින්න.”


“ මමත් හරි ආසයි කුමන හෝ නිර්මාණයකදී අලුතින් කෙනෙක්ව දකින්න.”


අලුතින් හිතල නිර්මාණ කරන්න පුළුවන් නම් අපට පුළුවන් අපේ සිනමාව ජාත්‍යන්තරයට ගෙනියන්න.


රාහුල් ආදරණීය ප්‍රාර්ථනා චිත්‍රපටයේ රඟපෑවේ ප්‍රේමණීය චරිතයකි. එහෙත් ලැබෙන ඉදිරි නිර්මාණවලදී ඔහු විවිධ වූ චරිතවලට දායකත්වය දැක්වීමට කැමැත්තෙන් සිටින බව සරසවිය හමුවේ පැවසීය.


“මම එකම චරිතයකට කොටු වෙන්න කැමති නැහැ.”


“මම විශේෂයෙන් කැමති ගැමි චරිතයක් කරන්න.”


“දුක් විඳීන ගැමියගෙ චරිතයක් කරන්න කැමැත්තෙන් ඉන්නවා.”


“ඒ අය විඳීන දුක අපි නිර්මාණයක් හරහා හෝ සමාජයට පෙන්විය යුතුයි.”


“එවිට කවුරුන් හෝ ඔවුන් දෙස යහපත් විදියට බලාවි.”


“ඒ වගේම තමයි ස්වාමීන් වහන්සේ නමකගේ චරිතයකටත් කැමතියි.”


“ඒ කුමන චරිතය කරන්නත් අපිට අවස්ථාවක් ලැබිය යුතුයි. සිනමා නිර්මාණයක් වගේම හොඳ ටෙලි නාට්‍ය නිර්මාණයක් ලැබුණොතින් රඟපාන්න කැමැත්තක් තියෙනවා.”


“මම වෙළෙඳ දැන්වීම් වලටත් පෙනී සිටිනවා. මේ වෙනකොට මම දැන්වීම් ගණනාවක ඉඳලා තියෙනවා.”


රාහුල් රංගනයට මෙන්ම ගායනය, වාදනය සහ නර්තනයටත් දක්ෂයෙක්. ඔහු නැවතත් නොවැම්බර් මස ඕස්ට්‍රේලියාව බලා යාමට නියමිතයි ඒ එහි පැවැත්වෙන ප්‍රසංගයක් සඳහා.


“මම නැවතත් යන්න ඉන්නේ. ප්‍රසංගයක් සඳහා.”


“ ‘ගැම්මෙන් නටන්න’ නමින් තමයි ඒ නම් කරලා තියෙන්නේ.”


“මට අමතරව ඒ සඳහා රයිනි චාරුකා, සජිත ඇත්තනි සහ සුපුන් පෙරේරා සහභාගී වෙනවා.”


රාහුල්ගේ එකම සොයුරු රකිත ද කලාවට සම්බන්ධයි. විශේෂයෙන් රාහුල් සිය සහෝදරයා ගැන කතා කළේ දැඩි සහෝදර පෙමකිනි.


“මගේ මල්ලි මට කලින් කලාවට සම්බන්ධ වුණේ.”


“ඔහුට සංගීත කණ්ඩායමක් තිබුණා. ඔහු ගායකයෙක් වගේම වාදකයෙක්. එයත් වෙළෙඳ දැන්වීම් ගණනාවක හිටියා.


ගැහැනු ළමයින්ගේ සිහින කුමාරයා වගේ තමයි, මගේ මල්ලි හිටියේ. දැනටත් එයා නිශ්ශබ්දව ඒ කටයුතු වලට සම්බන්ධ වෙනවා.”


“අපේ පවුලේ හැමෝටම ගයන්න, වයන්න, නටන්න, රඟපාන්න පුළුවන්.”


රාහුල් කාටත් ගරු කරන කාටත් නිතරම උදව් කිරීමට කැමැති චරිතයක් චරිතයක්. එවැනි තරුණ චරිත අද සමාජයේ පෙනෙන්නට ඇත්තේ සුළු වශයෙනි.


වත්මන් තරුණ පිරිස කලාවෙන් ඈත්වීම ගැනත් ඒ නිසා ඔවුන් පත්ව තිබෙන තත්ත්වය ගැන පැහැදිලි කරන්නටද රාහුල් කැමැත්තක් දැක්වුවේය.


“අපි කුඩා කාලයේ ඉඳන්ම සොබාදහමත් එක්ක හැදී වැඩුණු අය. කලාව පැත්තට අපේ දෙමව්පියෝ අපිව යොමු කළා.


“ඒත් අද තත්ත්වය වෙනස්. තරුණ පිරිස, ළමා පිරිස යන්ත්‍ර වගේ ඔවුන් ඉන්නේ තාක්ෂණයත් එක්ක.”


“අපි පුංචි කාලේ දඟ වැඩ කළා. සෙල්ලම් කළා.”


“ඒත් ඒ ළමා ලෝකය අද නැහැ.”


“අද ළමා සහ තරුණ පිරිස ජංගම දුරකථනයට ඇබ්බැහි වෙලා ඔවුන්ට සොබා දහම කලාව රසවිඳීන්න කාලය නැහැ. කලාව පැත්තට යොමු වීම අඩුයි.”


“මේ තත්ත්වයට ඔවුන්ටම ඇඟිල්ල දිගු කරලා වැඩක් නැහැ.”


“දෙමව්පියන් නිසි මග පෙන්විය යුතුයි ඔවුන්ට.”


“එහෙත් වර්තමානයේ බොහෝ පවුල් වල දෙමව්පියන් දරුවන් අතර තිබෙන සම්බන්ධතාවය අඩුයි.”


“දරුවන්ට සෞන්දර්යාත්මක කටයුතු සඳහා පෙලඹවිය යුතුයි.”


“කලාවත් එක්ක ජීවත් වන විට ජීවිතය හරි සුන්දරයි.”


“ඒ වගේම තමයි දෙමව්පියන් සිටිය යුත්තේ දරුවන්ගේ යහළුවන් වගේ.”


“එවිට නිරායාසයෙන්ම දරුවන්ගේ මනස පවා යහපත් වෙනවා.”


“කලාවට සෞන්දර්යට පුළුවන් සුන්දර මිනිසෙක් බිහි කරන්න.”


රාහුල් තවමත් යෞවනය පසුවන රංගන ශිල්පියෙක්. යෞවනය සමග ආදරය බැඳී පැවතීම රහසක් නොවෙයි. මේ තරුණයාගෙන් ද ආදරය ගැන විමසා සිටිය යුතුමය.


“ආදරය හැමෝටම අවශ්‍යයි. අපිට ආදරය ලැබෙන්නේ, අපි මවුකුස පිළිසිඳ ගත් දා සිටයි. මෙලොව එළියේ දුටු දා පටන් අපට ආදරේ දෙමව්පියන්ගෙන් නොඅඩුව ලැබෙනවා. තරුණ වියේදී ලැබෙන ආදරය සුන්දරයි.”


“ඒකලයේදී අපිට බාහිර ලෝකයෙන්ද ආදරය ලැබෙනවා.”


“අපි ආදරයේදී එකිනෙකාට ගරු කළ යුතුයි.”


“එකිනෙකාට කරන ගෞරවය තමයි මම නම් ආදරේ විදිහට දකින්නේ.”


“ඉතින් මමත් හැමෝගෙම ආදරය ලබමින් ජීවත් වෙනවා.”


“අපි ලෝකයාට ආදරය කළොත් ඉබේම ඒ ආදරය අපිටත් ලැබෙනවා.”


“විශේෂයෙන් රංගන ශිල්පීන් වුණ අපට ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලැබෙනවා.”


ආදරය ගැන කතා කරමින් සිටි මොහොතේ රාහුල්ගේ ඉදිරි කලා කටයුතු ගැනද ඔහු සරසවිය හමුවේ හෙළි කළේය.


“චිත්‍රපටයකට ආරාධනා ලැබිලා තියෙනවා. ඒත් තවම ඒ ස්ථිර නැහැ. ඉදිරියේදී ඒ ගැන තොරතුරු කියන්න පුළුවන් වෙයි.”


“ඊට අමතරව ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත ප්‍රසංගය සඳහා යාමට සූදානම් වෙනවා.”


ආදරණීය ප්‍රාර්ථනා තුළින් ආදරණීය චරිතයක් ලෙස ප්‍රේක්ෂකයා ඉදිරියට පැමිණි රාහුල් සැබෑ ජීවිතයේ ද ආදරණීය චරිතයකි.


ඒ වගේම ඔහුට මෙම අවස්ථාව ලබාදීම ගැන ඔහුගේ ආදරය ද සරසවියට පුද කිරීමට ඔහු අමතක නොකළේය.


රාහුල් රිෂික රංගන ශිල්පියාව නැවත නැවත සිනමා තිරයේ දැකගැනීමට ප්‍රේක්ෂකයින් කැමති වේවි.


එහෙයින් ඉදිරියේදී විවිධ වූ චරිත ඔස්සේ සිනමාවේ රැඳී සිටීමට රාහුල්ගේ බලාපොරොත්තුවයි.


නැවතත් දිනෙක ආදරණීය චරිතයකට පණ පොවමින් රාහුල් සිනමා තිරයේ පෙනී සිටීවී.




Previous Post Next Post