සින්ටෝ එක්ක කරළියට ආපු දොස්තර නෝනා

 



ටිකක් වෙනස් විදිහේ නිර්මාණයක් මිනිස්සු අතරට ආවහම ඒක මිනිස්සු ඉක්මනටම වැළඳගන්නවා. මේ දවස්වල පුංචි තිරයට ආපු අලුත්ම නිර්මාණය තමයි අසංක සායක්කාරගේ සින්ටෝ. සින්ටෝහි වෛද්‍යවරියගේ චරිතය රඟපාන්නේ කවුද කියලා මේ දවස්වල හැමෝම වගේ හොයනවා. ඉතිං හැමෝම හොයන සින්ටෝහි දොස්තර නෝනාගේ හරිම තොරතුරු ටික තමයි අපි මේ කියන්න හදන්නේ.


ඔබේ නම ?


මගේ නම හංසනී සමරතුංග. හැබැයි ගොඩක් අය මාව දන්නේ හංසි කිව්වහම.


පවුලේ විස්තර ?


අපේ පවුලේ අම්මයි, තාත්තයි මායි මල්ලියි තමයි ඉන්නේ. අම්මයි තාත්තායි දෙන්නම විදුහල්පතිවරු. තාත්තා දැන් විශ්‍රාමිකයි. මල්ලි සිවිල් ඉංජිනේරුවෙක්. මම පාසල් ගියේ මුලින්ම උඩරන්වල විද්‍යාලය. ඊට පසුව ඇල්ලෙපොල මහා විද්‍යාලය. ඕපනායක විද්‍යාකර මහා විද්‍යාලය. ඊට පසුව තමයි රත්නපුර උසස් බාලිකා විද්‍යාලයට. මම උසස් පෙළට ඒ සාමාර්ථ තුනක් ලබාගෙන තමයි කොළඹ සරසවියට ඇතුළත් වුණේ. පාසල් කාලයේ පටන්ම නාට්‍ය හා රංග කලාව සාමාන්‍ය පෙළට විෂයක් විදිහට හදාරලා තියෙනවා. ඒ වගේම පාසල් කාලයේදී නාට්‍යවලට ඉදිරිපත් වෙලා තියෙනවා. මම යෞවන සමාජවල සල්පිල වේදිකා නාට්‍ය, ප්‍රසංග වගේ දේවල්වලට සහභාගි වෙලා තියෙනවා.


පදිංචිය ?


රත්නපුර දිස්ත්‍රික්කයේ ගොඩකවෙල ප්‍රදේශයේ.


හංසනීගේ වෘත්තිය ?


මම වෘත්තියෙන් වෛද්‍යවරියක්. කොළඹ වෛද්‍ය විද්‍යාලයෙන් උපාධිය හදාරලා මුලින්ම 2022 නොවැම්බර් මාසයේ රත්නපුර මහා රෝහලේ සීමාවාසික වෛද්‍යවරියක් විදිහට පත්වීම භාරගන්නවා. එතකොට දැන් සීමාවාසික පත්වීම අවසන් වෙලා පළමු පත්වීම විදිහට රත්නපුර රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය ඒකකයේ ස්නායු ශල්‍ය වෛද්‍යවරියක් විදිහට සේවය කරනවා.


සින්ටෝ ටෙලිනාට්‍යයේ වෛද්‍යවරියගේ චරිතයට ආරාධනා ලැබුණේ කොහොමද?


මම 2021 වසරේ ඉඳලා වේදිකා නාට්‍යවලට රංගනනේ දායක වෙනවා. ඒත් එක්කම මම අසංක සායක්කාර අධ්‍යක්ෂවරයා සමග අයියා මලෝ වේදිකා නාට්‍යයේ එකට වැඩකරලා තියෙනවා. ඊට පසුව ඔහුගෙන් ආරාධනාවක් ලැබුණා සින්ටෝ ටෙලිනාට්‍යයට. ඉතිං මගේ පුංචි තිරයේ පළමු අත්දැකීම හින්දා ඒ අත්දැකීම ලබන්න මම කැමැතිවුණා.


සින්ටෝ ටෙලිනාට්‍යයේ වෛද්‍යවරියගේ චරිතයට ලැබෙන ප්‍රතිචාර?


ඇත්තටම මම බලාපොරොත්තු නොවුණ ආකාරයේ ප්‍රතිචාර රැසක් ලැබෙනවා. මම තවම සින්ටෝ ටෙලිනාට්‍යයේ පෙනී සිටියේ සීමිත දර්ශන කිහිපයකට විතරයි. ඒ ටිකට ඉතාම ඉහළ ප්‍රතිචාර තියෙනවා. මගේ ප්‍රොෆයිල් එක මේ දවස්වල සෑහෙන ෆලෝ වෙනවා. මටත් හිතාගන්න බැහැ. සමහරවිට මට ඒ චරිතය සමීප නිසා ඒක බලන අයට සමීප ඇති කියලා මට හිතෙනවා.


රාජකාරී වේලාවේදී ලැබෙන්නේ මොනවගේ අදහස්ද?


රෝහලේ වාට්ටු නිරීක්ෂණයට යනකොට හැමෝම අහනවා ‘නෝනා ඉන්නවානේද? ටීවී එකේ’ කියලා. දැන් රෝහලේ ඉන්න හැමෝම වගේ සින්ටෝ ටෙලිනාට්‍යය නරඹනවා.


මේ චරිතය ඔබට ගොඩක් සමීපයි නේද?


මට ගොඩක සමීප නැහැ. මම කරන්නේ රෝහලේ රාජකාරියනේ. එම්. ඕ. එච්. කියන්නේ ෆීල්ඩ් එකේ වැඩකරන වෛද්‍යවරියක්නේ. මට මේ චරිතය ලැබුණට පසුව පිටපත කියවලා බලලා එම්.ඕ.එච්. වල වැඩකරන මගේම ශ්‍රේණියේ සහෝදර වෛද්‍යවරුන්ගෙන් එම කාර්යය පිළිබඳව විමසීමක් සිදුකළා. ඔය අතරේ මම ප්‍රසව හා නාරි වාට්ටුවක සේවය කරලා තියෙනවා. ඒ හින්දා ගැබිනි මව්වරුන්ගේ අත්දැකීම් වගේම ඒ විෂය මට හොඳට සමීපයි.


ඔබ මීට කලින් වේදිකාවට සම්බන්ධවෙලා තිබෙනවා කිව්වානේ?


ඔව්. මම පුංචි කාලේ ඉඳලා වේදිකාවට සම්බන්ධවෙලා තියෙනවා. ඒකට මම ආසයි. කොළඹ වෛද්‍ය විද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ ටවර්හෝල්, එල්ෆින්ස්ටන්, ලයනල් වෙන්ඩ්ට්, පුංචි තියටර් වැනි රඟහල්වලට යනවා නාට්‍ය බලන්න. සරසවියෙන් ඉවත් වුණාට පසුව මට වේදිකාව අහිමිවෙනවා වගේ එකක් දැනුනා. මට එහෙම බැහැ, මෙතැන ඉන්න ඕනෑ වගේ එකක් දැනුනා. ඊට පසුව මම රංගනය ඉගෙන ගන්න හොඳම තැනක් විදිහට සෝමලතා සුභසිංහගේ ප්ලේහවුස් ආයතනයට සම්බන්ධවෙලා නාට්‍ය හා රංග කලාව පිළිබඳව හැදෑරුවා.


ඒ කාලේ ඉඳලාම වේදිකා නාට්‍ය රංගනයට සම්බන්ධ වුණාද?


ඔව්. ඔව්. ප්ලේහවුස් එකේ 2021 වසරේදී වේදිකා නාට්‍ය දර්ශන දෙකක් ඉදිරිපත් කළා. ඒ කාලේ වෙද්දී මම සරසවියෙන් ඉවත්වෙලා සීමාවාසික පත්වීම් අපේක්‍ෂාවෙන් හිටියේ. ඊට පසුව මම සීමාවාසික පත්වීම ආරම්භ කළා. ඊට පසුව මට නාට්‍ය කටයුතුවලට සම්බන්ධවෙන්න බැරිවුණා. හැබැයි දිගටම වගේ වේදිකා නාට්‍ය නරඹන්න පටන්ගත්තා. ඊට පසුව මම සීමාවාසික පත්වීම් කටයුතු අවසන් කළාට පසුව ආපහු වේදිකා නාට්‍ය දෙකකට සම්බන්ධ වුණා.


දිගටම රඟපාන්න අදහසක් තියෙනවාද?


දිගටම රඟපානවා කියන අදහසේ ඉඳලම තමයි මම රංගනය හදාරන්න පටන්ගත්තේ. මම රංගනයෙන් මාර තෘප්තියක් ලබනවා.


රංගනයයි වෛද්‍ය වෘත්තියයි කියන්නේ ලේසි නැහැ නේද?


ඔව්. දෙකම හරියට කරන්න නම් ගොඩක් මහන්සිවෙන්න ඕනෑ. මට වෛද්‍ය වෘත්තියෙන් ලැබෙන විවේකය බොහෝ දුරට ලබාදෙන්නේ රංගනයට. මම දැනට සේවය කරන්නේ රත්නපුර රෝහලේ. මේ දෙඅංශයම සමබරව පවත්වාගෙන යෑමේදී මට විවේක කාලයක් නැතිතරම්. රූගත කිරීම් සහ නාට්‍ය පුහුණුවීම් තිබෙන්නේ කොළඹ අවට. ඉතිං මම කොහොම හරි කාලය කළමනාකරණය කරගෙන රංගනයත් වෛද්‍ය වෘත්තියත් කරගෙන යනවා. රාජකාරියට හානියක් කරගන්නත් බැහැනේ.


දිනේෂ් විතාන



Previous Post Next Post