ෂූටිංවලට ජපානයට ගිහින් භූමිකම්පාවකටත් අහුවුණා – නිලූෂි පවන්‍යා



වාව් මැඩම් ටෙලි නාට්‍යයේ මැඩම් ඔමේලියාට ජීවය දෙන නිලූෂි පවන්‍යා මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගෙ බුද්ධ මාතා සිනමා නිර්මාණයේ ජනපද කල්‍යාණිය ලෙසින් රිදී තිරයට එනව. ඒ වගේම පසුගිය දවස්වල ඇය ජපානයට යන්නෙ රජිත හිරාන්ගෙ අලුත්ම චිත්‍රපටය වන විශුද්ධා හි රූගතකිරීම් වෙනුවෙන්. මේ කාර්යබහුල බව අතර ලංකාවට පැමිණි මොහොතෙ නිලූෂි මීවිත සමග මේ විදිහට දොඩමළු වුණා.


නිලුෂි ජපන් ගියා කියල ආරංචියි?


ඔව්, මගේ අලුත්ම චිත්‍රපටයේ භාගයකම වගේ ෂූටිං තිබුණෙ ජපානයේ. ඒ කටයුතු වෙනුවෙන් තමයි මම පසුගිය දවස්වල ජපානයට ගියේ.


මොකක්ද මේ චිත්‍රපටය?


මේ චිත්‍රපටය නම් කරල තියෙන්නෙ ‘විශුද්ධා’ නමින්.


අධ්‍යක්‍ෂණය?


මේ චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කරන්නෙ රජිත හිරාන්.


නළු නිළියන් ගැන කිව්වොත්?


රජිත හිරාන්, අර්ජුන් කමලනාත්, අශිකා මතසිංහ වැනි නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙනවා.


රූගතකිරීම්වල අත්දැකීම් මොන වගේද?


අපි ගිය දවසෙනම් ෆ්ලයිට් එක ටිකක් ඩිලේ වුණා. ආපසු එන දවසෙ රෑත් අපි ෂූටිං කළා. කොහේවත්ම ඇවිදින්න යන්න වෙලාවක් තිබුණෙ නැහැ. නමුත් ෂූටිං වැඩකටයුතු අපි හිතපු විදිහටම බොහොම හොඳින් සිද්ධ වුණා. අපිට සමහර ප්‍රදේශවලට නම් යන්න බැරි වුණා. මොකද භූමිකම්පා නිසා ඒ ප්‍රදේශවලට අනතුරු ඇඟවීම් කරල තිබුණෙ.


එවැනි අත්දැකීමකට මුහුණ දුන්නද?


අපි ලංකාවට එන්න දවස් තුනකට විතර කලින් මම නිදාගෙන ඉන්නකොට ගෙදරත් එක්ක හෙල්ලෙනව වගේ දැනුණා. මම කවදාවත් එවැනි අත්දැකීමක් විඳල තිබුණෙ නැහැ. නමුත් එදා සිද්ධවෙලා තිබුණෙ සාමාන්‍ය තත්ත්වයේ භූමිකම්පාවක්. පසුවදා මම රජිත අයියලාගෙනුත් ඇහුව. නමුත් එයාලට නම් ඒ තරම් ගාණක් වෙලා තිබුණෙ නැහැ.


මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගෙ බුද්ධමාතා චිත්‍රපටයටත් ඔබ රංගනයෙන් දායක වුණා?


ඒක මගේ රංගන ජීවිතයේ හරිම ආසාවෙන් සම්බන්ධ වුණ නිර්මාණයක්. මගේ චරිතය වුණේ ජනපද කල්‍යාණි. ඉන් පස්සෙ මහණවීම දක්වා ඒ චරිතය ගෙනියනව. ඒක හරිම වෙනස් අත්දැකීමක්. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් කියන්නෙ කවුරුත් වැඩකරන්න කැමති අධ්‍යක්‍ෂවරයෙක්. එතුමාගේ ගුරුහරුකම් එක්ක යමක් ඉගෙනගනිමින් බොහොම ආසාවෙන් අපි වැඩ කළා. ඇත්තටම ඒක මගේ ජීවිතයට ලැබුණ භාග්‍යයක්.


මෙහිදී ඔබට ඉන්දීය ශිල්පීන් සමග වැඩකරන්න අවස්ථාව ලැබුණා?


ඔව්, බොහෝ වෙලාවට මට වැඩකරන්න තිබුණෙ ඔවුන් සමග. මොකද මගේ චරිතය සමබන්ධවෙලා තිබුණෙ ඔවුන්ගේ චරිත එක්ක. එතන පොඩි ගැටලුවකට තිබුණෙ අපේ රටේ ෂූටිං කරන විදිහ එයාලට ඒ තරම් සෙට් වෙන්නෙ නැහැ. මොකද අපේ අය බොහොම කැපවීමෙන් තමයි චරිතයට සූදානම් වෙන්නෙ, නමුත් ඔවුන් බොහොම ඉක්මනට වෙහෙසට පත්වෙනව. නිතරම විවේකය ඉල්ලනව. රූගතකිරීම්වල අවසාන කාලය වන විට නම් ඔවුනුත් අපේ ක්‍රමයට හුරුවෙලා හොඳ සහයෝගයක් ලබා දුන්නා.


ජනපද කල්‍යාණි වෙනුවෙන් ඔබේ සූදානම මොන වගේද?


මේ චරිතය වෙනුවෙන් මට ගොඩක් වෙලාවට තිබුණෙ හිස මුඩු කළ අවස්ථා. රජ ඇඳුමින් තිබුණ අවස්ථා ගොඩක් අඩුයි. නමුත් චරිතය වෙනුවෙන් හිස මුඩු කරනවා වෙනුවට මම විග් එකක් පාවිච්චි කළේ.


කොහොමද ඒ අත්දැකීම?


ඇත්තටම විග් එකක් දාන්න පැය හතරක් විතර යනව. ඒක අපි දකිනවාට වඩා සංකීර්ණයි. ඒක දැම්මට පස්සෙ බෙල්ල හරවලා හැරෙන්නවත් බැහැ. සම්පූර්ණ ඇඟම හරවන්න ඕනා. වේශ නිරූපණ ශිල්පී ප්‍රියන්ත අයියල ඒක සාර්ථකව සිදු කළා.


මේ දවස්වල වැඩකටයුතු කොහොමද?


මේ දිනවල සිරස නාළිකාවේ ‘වාව් මැඩම්’ ටෙලි නාට්‍යය විකාශය වෙනවා. විශුද්ධා චිත්‍රපටයත් ඉදිරියේදී තිරගත වීමට නියමිතව තියෙනව. ඒ වගේම ලබන ඔක්තෝබර් මාසයේදී අලුත් සිනමා නිර්මාණයකට සම්බන්ධ වෙනව.


වාව් මැඩම් හි චරිතය ගැන රසිකයො මොකද කියන්නෙ?


මම රංගන ක්‍ෂ්ත්‍රයට පිවිසෙන්නෙ 2018 වර්ෂයේදි. එතැන් පටන් විවිධ නිර්මාණවලට සම්බන්ධ වෙන්න ලැබුණත්, මගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්‍ෂ්‍යය වෙන්නෙ ‘දිවිතුරා’ ටෙලි නාට්‍යය. මේ නාට්‍යය හරහා තමයි බොහෝදෙනෙක් මාව හඳුනාගන්නෙ. ඒ වගේම වාව් මැඩම් ටෙලිය නිසා මට ආදරය කළ රසික පිරිසත් බොහොමයි.


මැඩම් ඔමේලියාට ලැබෙන ප්‍රතිචාර කොහොමද?


මගේ ජපන් ගමනත් එක්ක මේ නාට්‍යයේ කොටස් බොහෝ ප්‍රමාණයක ෂූටිං මට මගහැරුණා. ඒ ගිය ගමනෙදි මම සමාජමාධ්‍යයට එක් කළ ෆොටෝස් දැකල බොහෝ දෙනෙක් මගෙන් අහල තිබුණ නැවත ලංකාවට එන්නෙ නැද්ද, ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්නෙ නැද්ද කියල. ඒ වගේම ලංකාවේ සමහර තැන්වලට ගියාම මගේ චරිතය දන්න අය වාව් මැඩම් කියල තමයි කතා කරන්නෙ. ඉතිං රසිකයො බොහෝදෙනෙක් මේ චරිතය වටා එකතුවෙලා ඉන්න එක ගැන ලොකු සතුටක් තියෙනව.


රංගන දිවියේ වසර හයක ගමන අද දකින්නෙ කොහොමද?


ඇත්තටම මට හරිම සතුටුයි. මම මේ ගමන ආවේ ලොකු කට්ටක් කාල, කිසිම කෙනකුට වචනයක් කියන්න බැරි විදිහට. රංගනය නිසා මට අමුතු දේවල් ලැබුණෙ නැහැ, නමුත් රසිකයන්ගෙ ආදරය තමයි මට ලැබුණ වටිනාම දේ.


නිලූෂි දැන් නර්තනයෙන් ඈත් වෙලාද?


ඔව්, මම දැන් නර්තනයෙන් ගොඩක් ඈත් වෙලා. ඒ හරහා කරන්න බලාපොරොත්තුවෙන් හිටපු දේවල් පවා කරගන්න බැරි වුණා. ටෙලි නාට්‍ය සහ චිත්‍රපට වෙනුවෙන් කාලය වෙන් කළාම නර්තනයට තිබුණ කාලය මදි වුණා.


ඔබට වැඩිපුර ලැබෙන්නෙ බටහිර ආරෙට හුරු චරිත?


ඔව්, මගේ පෙනුමත් එක්ක ගොඩක් දුරට මට ලැබෙන්නෙ බටහිර ආරෙට හුරු චරිත. නමුත් මම කැමතියි මගේ පෙනුම වෙනස් කරල, වෙනස් විදිහකට ප්‍රේක්‍ෂකයන් ඉදිරියට එන්න.


ණිලූෂිගෙ ගම්පළාත?


මගේ ගම හලාවත ගල්කුලිය. කොළඹ එන්නෙ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නර්තන උපාධිය වෙනුවෙන්. අදටත් මම ගෙදර එන්නෙ බස් එකේ. ටැක්සියකට ලොකු ගාණක් වියදම් කරන්න ඕන නැහැ කියලයි මම හිතන්නෙ. මට ඕන සරලව ජීවත් වෙන්න.


නිලූෂි උපාධිය ගන්නත් කලින්ම ගුරුවරියක් වෙනව?


ඔව්, ගුරුවරියක් හැටියට මට ජාතන්තර පාසලක ඩාන්සින්, ස්පෝට්ස් සහ බුද්ධාගම කියන විෂයයන් උගන්වන්න ලැබෙනව. ගුරුවරියක් වෙනව කියන්නෙ මම පුංචි කාලෙ ඉඳන් දැකපු හීනයක්.


මහේෂ් එදිරිසිංහ



Previous Post Next Post