මින් ඉදිරියට කලාව කරගෙන යා හැකි වාතාවරණයක් උදා වෙයි-ඉෂාර වික්‍රමසිංහ

 


වේදිකාව තුළින් රංගනයට පිවිසෙන ඔහු කලා ක්ෂේත්‍රය තුළ තම අනන්‍යතාව තහවුරු කරගත් කලාකරුවෙක්. ඔහු සිනමාවට අවතීර්ණ වූ පළමු සිනමා නිර්මාණයෙන්ම සරසවිය සම්මාන උළෙලේ සම්මානයට පාත්‍ර වීමට තරම් දක්ෂයෙක් වූ රංගන ශිල්පියෙක්. මේ දිනවල විකාශය වන ‘සිත නිදි නැහැ’ ටෙලි නාට්‍ය නිසා ඔහු පිළිබඳව විසල් කතාබහක් ඇති වෙලා. අද හදගැස්ම හා එක් වන්නේ ප්‍රවීණ රංගන ශිල්පී ඉෂාර වික්‍රමසිංහ. 


මේ දවස් ගෙවී යන අයුරු කෙසේද?


ජනාධිපතිවරණයත් සමඟ පසුගිය දවස් විශාල ලෙස කාර්යබහුල වෙලා සිටියේ. මම ඒ වෙනුවෙන් ටිකක් කැපවීමෙන් වැඩ කළා. ඒ වගේම මේ දවස්වල මම රංගනයෙන් දායක වෙන ටෙලිනාට්‍ය දෙකක රූගත කිරීම් සිදු වෙනවා. මගේ සති අන්ත දවස් වේදිකා නාට්‍ය නිසා කාර්යබහුල වෙලා. ඒ වගේම මම චරණ ටීවී නාළිකාවේ වැඩසටහනක් කරනවා. දැන් ඉතින් සාහිත්‍ය මාසයනේ ඒ හින්දත් විවිධ දේශනවලට සහභාගි වෙනවා. ඔන්න ඔය විධියට මේ දවස් ගෙවී ගෙන යනවා.


‘සිත නිදි නැහැ’ ටෙලිනාට්‍ය ගැන කතා කරමු


සිත නිදි නැහැ කියන්නේ තිලිණ බොරලැස්සගේ අධ්‍යක්ෂණයක්. මේ කතාව රචනා කරන්නේ ලක්ෂාන් වත්තුහේවා. මට තිලිණ අයියලාව මුලින්ම හමුවෙන්නේ 2022 වසරේදී. ඒ සි¾දු 2 ශක්ති කියන ටෙලි නාට්‍යයෙන්. සුදර්ශන බණ්ඩාර තමයි තිළිණ බොරලැස්සට මාව හ¾දුන්වලා දුන්නේ. මම ඒ නාට්‍යයේ භානු වික්‍රමසිංහ කියලා චරිතයකට රංගනයෙන් දායක වුණා. මේ ටෙලි නාට්‍යයේ වගේම ඒ නාට්‍යයෙත් යාළුවෙක් විධියට කතාවට එක්වුණු මම අවසානයේ කතාවේ ප්‍රධාන චරිතය බවට පත්වුණා. මේ වන විට මට ප්‍රේක්ෂක ප්‍රතිචාර ගොඩක් ලැබෙනවා.


ඔබේ තිඹිරිගෙය වෙන්නේ වේදිකාව. වේදිකාවෙන් රංගන ශිල්පියෙක්ට ලැබෙන පන්නරය ගැන කියනවා නම්


ඉතිහාසය දෙස බලපුවම අපිට තේරෙන දෙයක් තමයි පුංචි තිරය සහ රිදී තිරය හැඩ කරලා තිබෙන්නේ වේදිකාවෙන් ආපු නළුවෝ. මාවත් නිරන්තරයෙන් පෝෂණය කරන්නේ වේදිකාව. වේදිකාවෙන් අපිට ලැබෙන්නේ විසල් පන්නරයක්. අපිට රංගනය කියන දෙය හදාරන්න වෙනත් තැනක් නැහැ. විශ්වවිද්‍යාල සහ පාඨමාලා තිබුණත් රංගනය අපිට ප්‍රායෝගිකව හදාරන්න වේදිකාව ඇරෙන්න වෙනත් තැනක් නැහැ. ඒක හරියට විද්‍යාඥයෙක්ගේ පරීක්ෂණාගාරය වගේ. නාට්‍ය කියන්නේ හැම වෙලාවෙම වෙනස්වන දෙයක්. එය ඉතා සජීවී දෙයක්. වේදිකාවෙන් අපි ලබන අත්දැකීම් නිසා අපිට කැමරාවක් ඉදිරියට ආවම රඟපාන්න පහසුයි. වේදිකාවෙන් ලැබෙන හැදෑරීම නිසා අපිට ඕනෑම චරිතයකට අනුගත වෙලා පහසුවෙන් එය රඟපාන්න පුළුවන්. වේදිකාව තුළින් නිර්මාණය වෙන රංගන ශිල්පීන් සමඟ නිර්මාණකරුවන්ට වැඩ කරන්නත් පහසුයි. ඒ, අපි වේදිකාව තුළින් ලද පුහුණුව නිසා.


සරසවි සම්මාන උළෙලේදී ඔබට හොඳම නැඟී එන නළුවා සම්මානය හිමි වුණා. සම්මානයක් ලැබීම කියන්නේ රංගන ශිල්පියෙක්ට ලැබෙන උත්තේජනයක්ද?


රොඩ්නි විදානපතිරණ මහතා අධ්‍යක්ෂණය කළ ඉර සේවය චිත්‍රපටයට තමයි මට මේ සම්මානය ලැබුණේ. මේ චිත්‍රපටයට තමයි මම මුලින්ම ප්‍රධාන චරිතයකට රංගනයෙන් දායකත්වය සැපයූවේ. මාත් සමඟ මේ වසරේදී නිර්දේශිත නාම අතර සිටියේ අකිල ධනුද්දර. ඒ වෙලාවේ සම්මානය ලැබීම සතුටක්. සම්මාන හින්දාම නෙවෙයි අපි රඟපාන්නේ. සම්මාන කියන්නේ උත්තේජනයක්ම නෙවෙයි. ඒක සතුටක්. හැබැයි ඒ උණුසුම පස්සේ අඩු වෙනවා. මට සිතෙනවා ඒක හරිම තාවකාලික උත්තේජනයක් කියලා.


කලාකරුවා දේශපාලනික විය යුතුද?


ඕනෑම දේශපාලනික මතයක් දැරීම කලාකරුවෙක්ට විතරක් නෙවෙයි ඕනෑම පුද්ගලයෙක්ට තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. දේශපාලනයට ප්‍රසිද්ධියේ ප්‍රවිෂ්ට වෙනවද කියන එකත් ඕනෑම කෙනෙක්ගේ අයිතියක්. ඒකට කාටවත් හොඳයි හෝ නරකයි කියන්න බැහැ. හැබැයි මෙහෙම කතාවක් තිබෙනවා. ඔබ දේශපාලනයට මැදිහත් නොවන්නේ නම් දේශපාලනය ඔබට මැදිහත් වෙනවා. මේක  පසුගිය කාලය පුරාවට අපි අත්වින්දා. අපි අර්බුද කාලයේදී මේ දෙයට මුහුණ දුන්නා. අපි ආදරය කරන අපි විශ්වාස කරන මතවාදය සමඟ මම එක්වුණේ ඒකයි. මම ඒ මතවාදය වෙනුවෙන් වැඩ කළේ ඒකයි.


නව ආණ්ඩුව සහ දේශපාලන වාතාවරණය ගැන ඔබේ අදහස


නව ආණ්ඩුව පත්වීම ගැන මම සිටින්නේ සතුටින්. මේ ජයග්‍රහණය සමඟ මට නිවාඩුවක් අරගෙන පොඩ්ඩක් නිදහසේ ඉන්න ඕන කියලා හිතුණා. මේ ආර්ථික තත්ත්වය සමඟ අපිට ගොඩක් වැඩ කරන්න වුණා. වැඩවල ඉවරයක් නැති වුණා. හැබැයි මට හිතෙනවා මින් ඉදිරියට අපේ කලාව කරගෙන යන්න පුළුවන් වාතාවරණයක් උදාවෙයි කියලා. අපිට අපේ වැඩ කරන්න නිදහස ලැබෙයි කියලා මට සිතෙනවා. මේ ආණ්ඩුවේ මිනිස්සුන්ට ජනතාව ආදරෙයි. මේ බල හුවමාරුව සතුටුදායක දෙයක්.


තිරපිටපතක් නිර්මාණයට කරන බලපෑම මොන වගේද?


විවිධ නිර්මාණවලදී අපිට විවිධ රචකයන් මුණගැසෙනවා. ඒවා ඇතැම් විට හොඳ වගේම නරක වෙන අවස්ථා තිබෙනවා. නරක පිටපතක් ලැබුණත් දක්ෂ රංගන ශිල්පියෙක්ට ඒ වැඩේ ගොඩ දාන්න පුළුවන්. හැබැයි හොඳ නළුවෙක්ට හොඳ පිටපතක් ලැබුණොත් නළුවත් ගොඩ වැඩෙත් ගොඩ. ලක්ෂාන් වත්තුහේවා කියන්නේ මම දැකපු හොඳ තිරපිටපත් රචකයෙක්. මිනිස්සු අතරට කතාව ගෙනයන්න ලස්සන දක්ෂ තිරපිටපත් රචකයෙක්ට පුළුවන්.  මෑත කාලයේ මම දැකපු දක්ෂ තිරපිටපත් රචකයෙක් තමයි ලක්ෂාන් කියන්නේ. හැමෝටම ලියන වැඩේ කරන්න බැහැ. හොඳටම ලිව්වත් ඒක නිෂ්පාදනය වෙලා ලස්සන නිර්මාණයක් වෙන්න සමූහයකගෙ කැපවීම අවශ්‍ය වෙනවා.


ඉදිරි වැඩකටයුතු ගැන කියනවා නම්?


සෝචනීයම තත්ත්වය කියන්නේ ගොඩක් වැඩකරන නිසා ඩයරියේ එක වැඩ නැති දිනයක්වත් නැති තරම්. උදේ වරුව එක වැඩකට, හවස් වරුව තව වැඩකට, රෑට තවත් වැඩකට මගේ දවස ගෙවී යනවා. එහෙම වුණාම ගොඩක් ආරාධනා ලැබුණු නිර්මාණ අතපසු වෙනවා. වේදිකා නාට්‍ය නිසා මම ගොඩක් කාර්ය බහුල වෙලා. ඒ නිසාම සිනමා නිර්මාණත් මඟහැරුණා.


ගිහාන් සචින්ත



Previous Post Next Post