මෙච්චර ප්‍රතිචාර ලැබෙයි කියලා හිතුවෙම නෑ - සුදික්ෂා සමාධි



 ‘මායාවී’ ටෙලි නාට්‍යයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන කතා කරමු?


මායාවී ටෙලි නාට්‍යයේ මගේ චරිතය “ලතා මංගේෂ්වරී” කියන චරිතය. ඉතින් මම ඇත්තටම ඒ චරිතය මේ තරමටම සාර්ථක වෙයි කියලා හිතුවේවත් නැහැ. මේ තරම් ප්‍රේක්ෂක ප්‍රතිචාර මට හම්බවෙයි කියල හිතුවෙත් නැහැ. ඉතින් මගේ ජීවිතයේ මේ වනතුරු රඟපෑ චරිතවලින් වැඩිපුරම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබන සහ වැඩිපුරම ප්‍රේක්ෂකයෝ ආදරය කරන චරිතය බවට මායාවීහි ලතා මංගේෂ්වරී කියන චරිතය පත්වෙලා තිබෙනවා.


ළඟදීම තිරගත වීමට නියමිත ඔබ රංගනයෙන් දායක වන සූර්යයා චිත්‍රපටය ගැන කතා කළොත්?


රිදී තිරයේ මගේ දෙවැනි සිනමා නිර්මාණය තමයි ‘සූර්යා’ කියන්නේ. ඉතින් සූර්යයා අධ්‍යක්ෂණය කළේ ‘රෂ්’ සිනමා නිර්මාණය අධ්‍යක්ෂණය කළ අධ්‍යක්ෂවරයා වූ මහේෂ් මුණසිංහයන්. ඒ වගේම කුළුඳුල් නිෂ්පාදකවරයකු ලෙස අප කවුරුත් ආදරය කරන දිනේෂ් මුතුගල සර් තමයි නිෂ්පාදක විධියට සම්බන්ධ වුණේ. සූර්යා සිනමා නිර්මාණයට එක් වූ චරිත අතර දිල්හානි ඒකනායක, සනත් ගුණතිලක, අජිත් වීරසිංහ, සංගීත් ප්‍රභූ, සචින්, නිහාරි, ජනිත් වික්‍රමගේ යන අපි හැමෝම එක් වුණා. ඉතින් අපි හැමෝගෙම එකතුවක් විධියට සූර්යා පායනකල් තමයි අපි බලන් ඉන්නේ. පුංචි තිරයේ මායාවී ජනප්‍රිය වුණා වගේම රිදී තිරයේ සූර්යාත් කාලීන මාතෘකාවක් නිසා ප්‍රේක්ෂකයෝ ගොඩාක් ආදරයෙන් වැලඳ ගනීවි කියන ලොකු විශ්වාසයකින් මම ඉන්නවා.


සූර්යා චිත්‍රපටයේ අනෙක් චරිතවලින් ඔබට ලැබුණු සහයෝගය කොහොමද?


ජනිත් වික්‍රමගේ, සංගීත් ප්‍රභූ, සචින්, නිහාරි කියන අපි කට්ටිය තමයි එකට මුහු වුණේ. ඉතින් අපේ චරිත හැමවෙලේම එක ළඟ එක ළඟ එකට මුහු වුණා. එකිනෙකාට ගොඩාක් සුහදශීලීව, නිර්ලෝභීව, සහයෝගයෙන් උදවු කරගෙන තමයි අපි රංගන කටයුතුවල යෙදුණේ. ඇත්තටම චිත්‍රපට අධ්‍යක්ෂ මහේෂ් මුණසිංහයන්ගේ සහයෝගයේ ඉඳන්ම කියන්න ඕනෑ. මහේෂ් මුණසිංහයන්ගේ රෂ් සිනමා නිර්මාණය ගැන කතා කළොත් එහි මියුසික්, සමහර සෝන්ග්ස්වල තිබුණ අපි දැකපු සීනරීස් එහෙම ලංකාවේ සිනමාව එකපාරටම හොලිවුඩයට ගෙන ගිය අධ්‍යක්ෂවරයෙක් කිව්වොත් නිවැරැදියි. ඉතින් මහේෂ් මුණසිංහයන් මේ නිර්මාණයේදීත් ඒ වෑයම තවත් අපූරුවට ප්‍රේක්ෂකයන් වෙනුවෙන් නිර්මාණය කර තිබෙනවා. දැන් ඔන්න හොලිවුඩ්වලට අභියෝග කරන්න ලංකාවෙන් අධ්‍යක්ෂවරයෙක් සිනමාවට ඉන්නේ කවුද කියල ඇහුවොත් මහේෂ් මුණසිංහ කියල කියන්න පුළුවන්. ඒ තරම් රිලැක්ස් එකේ ආටිස්ට්ගේ දක්ෂතාව පිටතට ගන්න ඔහු පුදුමාකාර සහයෝගයක් ලබා දෙනවා. ඒ වගේම සූර්යා ගැන කතා කරද්දි අපේ කැමරාමන් රංග එස්. බණ්ඩාර මතක් කරන්න ඕනෑ. ඔහු වර්තමානයේ ඉන්න දක්ෂ කැමරා ශිල්පියෙක්. ඒ හැමෝගෙම සහයෝගය නිසා තමයි සූර්යා ඒ තරම් රිලැක්ස් එකේ ඒ තරම් ලස්සනට ඒ වැඩකටයුතු ටික අපට කරගන්න පුළුවන් වුණේ.


ඔබට වේදිකාව හරහා රංගනයට පන්නරයක් ලැබුණද?


අනිවාර්යයෙන්ම ඔව්. මගේ පාසල පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය. මම වේදිකා නිර්මාණවලට සම්බන්ධ වන විට හතර ශ්‍රේණියේ විතර තමයි හිටියේ. ඒ තරම් කුඩා කාලේ ඉඳන්ම වේදිකා නාට්‍යවලට සම්බන්ධ වුණා. පාසල් මට්ටමේ වේදිකා නාට්‍යය තරගාවලිවලින් කලාප, දිස්ත්‍රික්ක, කොට්ඨාස මට්ටමේ තරගවලින් තරග වැදී අවසානයේ මම 2011දී සමස්ත ලංකා දෙවැනි ස්ථානය ලබා ගත්තා. ඉතින් වේදිකාවෙන් ලබාගත්ත පන්නරයෙන් ඒ හැම දේකින්ම තමයි මම කලාවට ඇවිත් මේ තරම් දුර ආවේ. මම ටෙලි ඩ්‍රාමා ඇක්ට්‍රස් කෙනෙක් විධියට සම්බන්ධ වෙලා 2014 ඉඳන් මේ වන තුරු වසර දහයක කාලයක්. දැන් මට රසිකයෝ ගොඩක් ආදරය කරන්නේ ටෙලි ඩ්‍රාමා ඇක්ට්‍රස් කෙනෙක් විධියටනේ. ඉතින් අවුරුදු දහයක කාලයක් විවිධාකාර චරිත තුළින් ප්‍රේක්ෂකයන් අතරට පැමිණීමේදී, පසුගිය කාලයේ මම රංගන දායකත්වය ලබාදුන් නාට්‍ය හතරක් නාළිකා හතරක විකාශය වුණා. ඉතින් හැමදාම මාව ඒ තරම් දැක්කත් ප්‍රේක්ෂකයන්ට මාව එපා වීමක් වුණේ නැහැ. නමුත් වර්තමානයේ මාව දකින්නේ සිරස නාළිකාවේ විකාශය වන මායාවී ටෙලි නාට්‍ය හරහා විතරයි. ඒක ජනප්‍රිය මෙගා නාට්‍යයක්. ප්‍රේක්ෂකයෝ දැන් හරි බුද්ධිමත්. මම හිතන්නේ ප්‍රේක්ෂකයන්ටත් එකිනෙකට වෙනස් නිර්මාණ ඔස්සේ රංගන ශිල්පීන් ශිල්පිනියන් දකින්න තමයි ඕනේ. ඉතින් ඒ පන්නරය මට ලැබුණේ වේදිකාවෙන්.


මේක හරිම සූක්ෂ්ම විධියේ වැඩක්. අපේ පෞද්ගලිකත්වයත් රැකගෙන අපි ඒ ඒ චරිතවලට ආරූඪ වෙලා චරිතයක් නිරූපණය ලෙහෙසි පහසු දෙයක් නම් නෙවෙයි. මොකද මට අවශ්‍ය මගේ ජීවිතය තුළදී මාව චරිතාංග රංගන ශිල්පිනියක් විධියට ප්‍රේක්ෂකයන් හඳුනා ගන්න එක තමයි. ඒක තමයි මගේ එකම ආසාව සහ ආත්ම තෘප්තිය වෙන්නේ. සම්මානයකටත් එහා ගිහින් රංගන ශිල්පිනියක් විධියට මට අවශ්‍ය වන්නේ ප්‍රේක්ෂකයන්ට උපරිම රසාස්වාදයක් ලබා දෙන එක තමයි. ඒ දේ ඇතුළත සම්මානයක් ගැන මම හීනෙකින්වත් හිතන්නේ නැහැ. සෝෂල් මීඩියා හරහා මට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර, අදහස් මේ හැමදේමත් එක්ක මට ලොකු සතුටක් ලැබෙනවා. ප්‍රේක්ෂකයෝ දැන් හරි අප්ඩේට්. මම හිතන්නේ ලොකුම සම්මානය තමයි ජනතා සම්මානය කියලා.ඔබේ කැරලි කොණ්ඩය රංගන දිවිය තුළ ඔබට ආශීර්වාදයක් වූ අවස්ථා තිබේද?


මට නම් මගේ කැරලි කොණ්ඩය මුළු ජීවිතයටම ආශීර්වාදයක්. මම පෞද්ගලිකව හරිම ආසයි මගේ ස්වාභාවික කොණ්ඩය වෙනස් කරලා වැඩකටයුත්තක් කරන්න. නමුත් මේ අවුරුදු දහය ඇතුළත ටෙලි නිර්මාණ, සිනමාව ඒ වගේම වේදිකාව කියන මේ ක්ෂේත්‍ර තුන තුළම මම වැඩ කළේ මගේ ස්වාභාවික හෙයාර් එකෙන්මයි. සමහර රංගන ශිල්පීන් ශිල්පිනියන්ට කොණ්ඩයට එක්ස්ටෙන්ෂන් දාන්න වගේම විග් දාන්න අවස්ථා ලැබෙනවා. මෙතෙක් මම මගේ කොණ්ඩයෙන්ම තමයි නිර්මාණවලට දායක වුණේ. කොණ්ඩේ ස්ට්‍රේට් කරලා හෝ වෙනස් විධියකට මෙතෙක් කවුරුත් මාව වෙනස් කරල නැහැ. ඉතින් හරි විධියේ වැඩක් ආවොත් මගේ කොණ්ඩය වෙනස් කරලා වැඩක් කරන්නත් ආසයි. නමුත් මේ වනතෙක් මගේ කොණ්ඩය තමයි මට ලැබුණු ලොකුම ආශීර්වාදය.


කලා දිවිය තුළ මෙතෙක් ඔබ පැමිණි ගමන දෙස නැවත හැරී බැලුවොත් මොකද හිතෙන්නෙ?


ගොඩක් සතුටුයි. මේක මම ගොඩක් හෙමින් ආපු ගමනක්. තවමත් මාව නොදන්න ප්‍රේක්ෂකයො ගොඩක් ඉන්නවා. තවත් ගොඩක් දේවල් මේ ක්ෂේත්‍රය ඇතුළත මට ඉගෙන ගන්න තිබෙනවා. මේ අවුරුදු දහය ඇත්තටම ලොකු කාලයක්. මේක මම තනිවම ආපු ගමනක්. මගේ පවුලේ කලා ක්ෂේත්‍රයට සම්බන්ධ කිසිම කෙනෙක් නැහැ. මම පත්තරේ පළ වුණ ඇප්ලිකේෂන් එකකට දාලා ඉන්ටර්වීව් එකකට ගිහින් තමයි මේ ෆීල්ඩ් එකට එන්නේ. මට ගොඩාක් නිහතමානි ලොකු ආඩම්බරයක්, සතුටක් තිබෙනවා. සමහර දේවල්වලින් රිජෙක්ට් වෙලා, තනිවම ගොඩක් දේවල් විඳ දරාගෙන, අත්දැකීම් අරගෙන, තීරණ අරගෙන ඇවිත් අද වන විට ප්‍රේක්ෂකයෝ ගොඩක් හොඳ විධියට මාව වැලඳගෙන ඉන්නවා. ඒ වගේම මගේ අම්මා තාත්තවත් ආදරයෙන් මතක් කරනවා. අම්මා තමයි මම කලාවට දක්ෂයි කියන දේ හඳුනාගත්තේ. කිසිම ලෝභකමක් නැතිව තාත්තා මාව ඉන්ටර්වීව්වලට, ළමා වැඩසටහන්වලට ගෙනියන්න අම්මට අවසර දුන්නා. අම්මා තමයි ලස්සනම ඇඳුම තෝරලා මාව ලස්සනට අන්දගෙන එක් කරගෙන ගියේ. අම්මා, තාත්තා මට ලොකු සහයෝගයක් ලබා දුන්නා. ඉතින් ඒ දෙන්නා මගේ දක්ෂතාව හරි විධියට තේරුම් ගත්තේ නැති නම් අද වනකොට සුදීක්ෂා සමාධි කෙනෙක් කලා ක්ෂේත්‍රයේ නැති වෙන්න තිබුණා.


ඉදිරි වැඩකටයුතු ගැන මතක් කළොත්?


මදර් ලංකා කියලා සිනමා පටයකට රංගන දායකත්වය ලබා දුන්නා. මම හිතන්නේ ලබන අවුරුද්දේ ඒ නිර්මාණය සිනමාවට තිළිණ වෙයි. ඒත් එක්කම තව නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබිලා තිබෙනවා. තවම මම හරි චරිතයක් තෝරාගෙන නැහැ. ලංකාවේ එක දෙයක් තමයි එක චරිතයක් කළාම ඒ විධියේම චරිතවලට කතා කරනවා. මම සාමාන්‍යයෙන් ප්‍රායෝගිකව ඒකට කැමති නැහැ. මම ආසයි අලුත් දෙයක් කරන්න. අලුත් නිර්මාණයකින් ප්‍රේක්ෂකයන් අතරට එන්න. රංගන ශිල්පිනියක් විධියට මටත් අලුත් අත්දැකීම් වෙනස් වෙනස් විධියේ නිර්මාණ ඔස්සේ ලබාගන්න කැමැතියි.


රුවිනි අමරකෝන්



Previous Post Next Post