යාළුවෝ වගේ ජීවත් වෙන නිසා විවාහ ජීවිතේ ගෙවන්න හරිම පහසුයි-චමිලා පීරීස්

 



ආසාවෙන්ම හිටපු විෂයය පැත්තකින් තියලා අහම්බෙන් රංගන ශිල්පිනියක් වූ ඇය රංගනය ආසවෙන් වැලද ගත්තා. ඒ නිසාම සම්මානනීය නිළියක් හා චරිතාංග නිළියක් බවට පත් වෙන්න ඈ වාසනාවන්ත වෙලා. අද වේදිකාවට නැතුවම බැරි චරිතයක් බවට පත් වූ ඇය, පුංචි තිරය හා සිනමාවෙත් හතර කොන අල්ලාගෙන අවසන්. ඈ චමිලා පීරීස්. ‘ලොක්කා ලෙඩ වෙලා‘ වේදිකා නාට්‍යයෙන් සජීවීව දකින්න ලැබෙන ඇය හා ඇගේ කුටුම්බය ගැන මේ විදිහට  කතාබහක යෙදුණා.


ඔබේ හැකියාව දැන් සිනමාවේ හෝ පුංචි තිරයේ හරි හැටි දකින්න ලැබෙන්නෙ නැහැ. බිහිවෙන නිර්මාණ එක්ක ඔබේ හැකියාව දියාරු කර ගන්න බැරි නිසා නිහඩ වෙලා ද..?


මම රංගනයට අවතීර්ණ වෙන්නේ 91 වර්ෂයේ. එතැන් පටන් හොඳ නිර්මාණ සඳහා මම දායක වුණා. නමුත් දැන් මගේ වයස එක්ක චරිත සඳහා සීමා වෙනවා. එතකොට මගේ වයසේ තව රංගන ශිල්පිනියන් ඉන්නවා. එවැනි අය එක්ක මාව කාස්ට් වෙන්නෙ නැතුව ඇති. ඇත්තටම කිව්වොත් ඉස්සර තරම් ආරාධනා එන්නේ නැහැ. පසුගිය කාලේ ආපු නිර්මාණ බොහෝමයක් ප්‍රතික්ෂේප කළා. මොකද මට ඒ චරිතවල රඟපාන්න විශේෂිත දෙයක් නැහැ වගේ දැනුණා. ටිකක් එකම වගේ චරිත. ඒ චරිත මාව පුදුමයට පත්කරේ නැහැ. මට එහි නිසි රඟපෑමක් කරන්න තිබ්බේ නැති නිසා මම ඒවා ප්‍රතික්ෂේප කළා.  


ලෝයර් කෙනෙක් වෙලා කළු ලෝගුව ඇඟලා ගන්න ආසාවෙන් හිටපු චමිලා කොහොමද නිළියක් වෙන්නේ?


හරිම අහම්බෙන් තමයි රංගනයට එන්නේ මම පාසලේ විෂයයක් හැටියට ලොජික් කළා. ඊට පස්සේ ඒ විෂයයෙන් අයින් වෙලා නාට්‍ය හා රංග කලාව විෂයයක් හැටියට ඉගෙන ගන්න පටන් ගත්තා. එතකොට නාට්‍ය වැඩමුළු සඳහා සම්බන්ධ වෙනවා. නාට්‍ය බලන්න යනවා. ඊට පස්සේ තිස්ස අබේසේකරයන් හා ඔහුගේ බිරිඳ අසංකා මහත්මිය මට ආරාධනා කළා ‘වනසරණ‘ නිර්මාණයට සම්බන්ධ වෙන්න. වැදි කෙල්ලෙක්ගේ චරිතයක් තමයි මට කරන්න තිබ්බේ. රංගනයට අලුත් කෙනෙක් හැටියට මට එහි රඟපාන්න ආසාවක් හා කුතුහලයක් ඇති වුණා.


මම පාසලේ නාට්‍යවල හිටපු කෙනෙක්. එනිසා මට ඒක ප්‍රායෝගිකව භාවිත කරන්න ලැබීම ගැන සතුටක් දැනුණා. මම කොහොමත් නැහැ බැහැ කියන කෙනෙක් නෙමෙයි. මම ඕනෑම අභියෝගයක් භාර ගන්නවා. ඒ විදිහට තමයි මම රංගනයට සම්බන්ධ වෙන්නේ. ඒ චරිතේ මම රඟපෑවේ සීන් හතරක් විතර. එක කොටසක විතරයි දෙබස් තිබුණේ. නමුත් ප්‍රවිණයින් එක්ක වැඩ කරන්න ලැබීමෙන් ලොකු අත්දැකීමක් ලැබුවා. ඒ පටන් ගත්ත ගමන තවම යනවා.


නිතිවේදයෙන් ඉදිරියට නොයා රංගනයට යොමු වීම ගැන දැන් පසුතැවීමක් නැද්ද ..?


කොහෙත්ම නැහැ. මම ලෝයර් කෙනෙක් වෙන්න ආස කළේ පොඩි කාලේ. නමුත් මම රංගනය එක්ක තෘප්තිමත් ගමනක් යන්නේ. මම ආසාවෙන්ම කරන දේ තමයි රඟපෑම. ඒ නිසා දුක්වීම්, පසුතැවීම් නැහැ. ආර්ථික ප්‍රශ්න කියලා ලොකුවට නැහැ. මම සහ මගේ සැමියා නාමල් අපිට අවශ්‍ය විදිහට සැහැල්ලු ජීවිතයක් ගත කරන්න මුදල් හොයනවා. අපි ගෙවන්නෙ හරිම පහසු ජීවිතයක්. ඒ නිසා වෙන්න ඇති මට එහෙම දුකක් නැත්තේ.


චමිලා පීරීස් කියන්නේ රංගනය තුළ විවිධ පරාසයන්ගේ රඟපෑම් තුළින් ජනතාවට සමීප වූ සම්මානනීය රංගන ශිල්පිනියක්. ජනතාවගේ ගෞරවය නිතැතින්ම හිමි වීම ගැන මොකද හිතන්නේ ..?


මම කියන්නේ නැහැ මට මහා ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා කියලා. නමුත් සමාජය තුළ ගෞරවාන්විත විදිහට ජීවත් වෙද්දී පෙරළා ආදරේ හිමි වෙනවා. දැකලා කතාබහ කරන චරිත ගැන කතා කරන ආදරණීය රසිකයින් පිරිසක් මට ඉන්නවා. මම කවදත් ඕපන් චරිතයක්. චමිලා පීරිස් කියන නිළිය ගත්තත් සාමාන්‍ය ජීවිතෙත් මම දෙන්නෙක් නෙමෙයි එක්කෙනෙක්. මම රූපයෙන් මේන්ටේන් වෙන්න දඟලන්නේ නැහැ. අපේ සෞඛ්‍යසම්පන්න බව තියෙන්න ඕන. ඒත් මම මම විදිහට තමයි ජීවත් වෙන්න උත්සාහ කරන්නේ.


Vilain chartersවලට හපන්නියක් කියලා තමයි ඔබව හදුන්වන්නේ. තිරයේ නපුරුකම්වලට සමාජයෙන් නපුරු විදිහට ප්‍රතිචාර ලැබෙනවා ද?


මම තාත්වික රංගනය ප්‍රැක්ටිස් කරන කෙනෙක් හැටියට මට ඒ වගේ නපුරු චරිත හොඳට, තාත්වික විදිහට කරන්න පුළුවන්. කොහොමත් විලන් රෝල් සමාජයේ කැපී පේනවා වැඩියි. චරිතවල නපුරුකම්වලට මට කවදාවත් කවුරුත් බැණලා නැහැ. ඒ රඟපෑම් හොඳින් කළා කියලා කියනවා.


අලුත් පරම්පරාව එක්ක වැඩ කරන්න අපහසු ඇතැම් අයගේ රඟපෑමේ තත්ත්වය බාලවීම එක්ක..?


මට හිතෙන්නේ මෙහෙමයි අපේ කාලේ වගේ නෙමෙයිනේ කියලා. මගේ දරුවා වුණත් වෙනස් විදිහට හිතන දරුවෙක්. එයාලාගේ ලෝකේ වෙනස්. දැන් ඉන්න අය දක්ෂයි. නමුත් හැමෝම ලස්සනට ඉන්න තමයි උත්සහ කරන්නේ. හැමෝම එක වගේ ලස්සන වෙද්දී අධ්‍යක්ෂවරුන් කොහොමද වෙනස් තලවල චරිත සදහා කාස්ට් කරන්නෙ. එතකොට තමයි එකම වගේ චරිත නැවත නැවත ලැබෙන්නේ කියලා මට හිතෙනවා. ඉස්සර කළු, සුදු, තලෙළු අය හිටියා. හැඩය වෙනස් අය හිටියා. කොණ්ඩ විලාසිතා පවා එකිනෙකාට වෙනස්, ඔවුන්ටම ආවේණික රූපයක් තිබ්බා. අනන්‍යතාවක් තිබ්බා. දුෂ්කර චරිත එක්ක රඟපෑම මේන්ටේන් කරන්න හිතන්නේ නැහැ. දැන් පරම්පරාව රූපය මේන්ටේන් කරනවා විතරයි. ඒ අය හිතන්නේ රූපය හා පෞද්ගලික හිතවත්කම් තිබ්බොත් පැවැත්ම තියෙනවා කියලයි. නමුත් අප තුළ රංගන ධාරිතාවක් තියෙන්න ඕන.


නාමල් ජයසිංහ කියන්නේ අතිදක්ෂ රංගන ශිල්පියෙක්. ඒ වගේම අධ්‍යක්ෂවරයෙක්. සැමියාගෙන් පරිබාහිරව ඔහු ඔබේ රංගනයට දක්වන ප්‍රතිචාර කොහොමද…?


අපි ඔහේ කතාබහක ඉන්න වෙලාවක එයා මට කියලා තියෙනවා ඔයාට මීට වඩා වැඩ කරන්න පුළුවන් කැපෑසිටි එකක් තියෙනවා කියලා. ලොකුවට වර්ණනා කරන්නෙ නැහැ, නමුත් ඔහු කැමැතියි මම හොඳ නිර්මාණවල රඟපානවට.


කලාකරුවන් විවාහ වූ තැන නොගැළපීම් පටන් ගන්නවා කියලා ඇතැම් අය කියනවා. නමුත් ඔබ හා නාමල් කියන්නේ Chemistry Combine වූ දෙන්නෙක්..?


අපි දෙන්නා හොඳ යාළුවෝ. හස්බන්ඩ් වයිෆ් වුණත් අපි දෙන්නගේ ගැළපීම තියෙන්නේ එතැන. මට වඩා නාමල් ගොඩක් කාර්යබහුල චරිතයක්. එතකොට එයාට කතාබහ කරන්න කාලය ගත කරන්න තියෙන ඉඩකඩ මදි. නමුත් අපි දෙන්නා දිනපතාම කතා කරන්න, වෙලාවක් හොයා ගන්නවා. පවුල් ජීවිතේ අපි හරිම සරල විදිහට ගෙවන නිසා පවුලට අවශ්‍ය දේ කොහොමත් සිදු වෙනවා. එයයි මායි කතා කරන්න පටන් ගත්තොත් නිර්මාණ ගැන තමයි කතා කරන්නේ. ෆිල්ම් ගැන අලුත් නිර්මාණ ගැන වැඩක් පටන් ගත්තොත් ඒක කොහොමද කරන්නේ කියලා තමයි අපි වැඩිපුර කතා කරන්නේ. අපි හරියට චිත්‍රපට නරඹනවා. මම බැලුවොත් එයාට යවනවා හොඳ ෆිල්ම් එකක් බලන්න කියලා. එයත් එහෙමයි. ඊට පස්සේ ඒවා ගැන කතා කරනවා. යාළුවෝ වගේ ජීවත් වෙන නිසා විවාහ ජීවිතේ වුණත් ගෙවන්න හරිම පහසුයි.


ඔය ගැළපීම් රංගනයෙන් එකට දකින්න ලැබෙයි ද..?


අපි දෙන්නා එකට රගපාලා තියෙන්නේ එකම එක නිර්මාණයක විතරයි, ඒ සෝමලතා සුබසිංහ මහත්මියගේ ‘විකෘති‘ වේදිකා නාට්‍යයේ. ආයේ එයා එක්ක රඟපාන්න අවස්ථාවක් ලැබෙයි ද දන්නෙ නැහැ, බලමු. දැනට එයා රංගනයට වඩා අධ්‍යක්ෂණයට හා පිටපත් රචනයට වැඩි ඉඩක් ලබා දෙනවා. එයා අධ්‍යක්ෂණය කළ සහෝදරයා ජනතාව ආදරෙන් වැලද ගත්තා, මමත් එහි රගපෑවා. ඉතිං එයා කියන්නේ මම රංගන ශිල්පියෙක්, නළුවෙක් විදිහට මම චරිත රගපාන්නේ නැති වුණාට මම ආස චරිත ලියනවා, ඒවා අධ්‍යක්ෂණය කරලා ඒවා දිහා බලලා මම සතුටු වෙනවා කියලයි.එයා කොහොමත් වැඩක් කරන්න ගියොත් වෙලාවක් නැහැ , වැඩේ ඉවර කරන වෙලාව තමයි එයාගේ වෙලාව කියලා කියන්නේ. එයා කරන නිර්මාණ බලන්න මමත් ආසාවෙන් බලාගෙන ඉන්නවා. නිර්මාණ කිහිපයක් කරන්න එයා බලාපොරොත්තු වෙනවා.



එකම දියණිය උර්වී රාකාට මවුපියන්ගේ ජාන නැහැ කියන්න බැහැ නේද. කොහොමද ඇගේ කලාවේ කියැවීම?


එයා කලාවට ළැදියි. ලෝක සිනමාව ගැන පොත­්පත් කියවනවා. එයා දක්ෂ චිත්‍ර අදින්න. ඒ වගේම ලියන්නත් කැමැතියි. සිංදු අහන්න සංගීතය රසවිදින්න කැමැතියි. ඒවා තමයි එයාගේ කලා භාවිතයන්. ඒ අතර මම කැමති පොතුත් එයා කියවනවා නම් මම ආස වුණා. ඉතිං මම ඒක එයාට බලෙන් කරන්න බැරි නිසා දුවට කිව්වා අපි පොඩි ගේම් එකක් ප්ලේ කරමු මම මේ පොත කියවනවා ඔයා ඒකේ ඉංග්‍රීසි පොත කියවන්න කියලා. මොකද එයා ඉංග්‍රීසි පොත් කියවන්න හරි ආස නිසා. අපි තරගෙට පොත් කියවනවා. එයා කියවන්නෙ හරි වේගයෙන්. එයා අන්තිමට පොත කියවලා ඉවර කරලා කිව්වා අම්මා මට ඒ පොත කියවන්න දුන්නට ස්තුතියි ඒක හරි ලස්සනයි කියලා. අපි දේවල් බලෙන් නොකර උපක්‍රම පාවිච්චි කරන්න ඕන කියලා මම හිතනවා.


ඉතිං තෝරා ගැනීම් එයා කරාවි. අපි උර්වීට කිසිම දේකට බලකරන්නෙ නැහැ. අපි වැරදි ඇති. නමුත් දෙමාපියන් විදිහට එයාගේ මානසික නිදහස හා අවශ්‍ය දේ ලබා දෙනවා. එයා හරි මාර්ගය තෝරා ගනියි.


ඔබෙත් නාමල්ගෙත් කාර්යබහුල ජීවිතේ නිසා උර්වීට දෙමාපියන්ගෙ ආදරේ රැකවරණය මඟහැරිලා නැද්ද…?


උර්වී මගේ කුසේ පිළිසිඳ ගත් දා මම හිතා ගත්තා දරුවා හදාවඩා ගැනීම මගේ වගකීමක්. ඒ වගකීම් මඟහැරුණොත් සමාජයට බරක් ඇති දරුවෙක් මම බිහි කරන්නෙ කියලා. ඒ නිසා එයා එක්ක අම්මා විදිහට වැඩි කාලයක් මම එදා ඉඳල ගත කරනවා. දුවගේ සියල්ල කරන්නේ මම. නාමල් උදව් කරනවා. එයා කාර්යබහුල නිසා මම වැඩ භාර ගන්නේ දුව වෙනුවෙන් කාලය වෙන් කරලා ඉතුරු කාලයෙයි. ඒක මාත් එක්ක වැඩ කරන අය දන්නවා. උර්වීට අපි කාර්යබහුලයි කියලා දැනෙන්න දීලා නැහැ. එයා හැසිරෙන විදිහට තේරෙනවා එයාට එහෙම හිඩැසක් මමවත් නාමල්වත් තියලා නැහැ කියලා. අපේ ආදරේ එක්ක එයා ජීවත් වෙනවා කියලා තේරෙනවා. අපි දෙන්නා වැඩිපුර ඇවිදින්න යනවා. ෆිල්ම් බලනවා, කතා කරන්න කාලය වෙන් කර ගන්නවා. මමයි නාමල් වගේමයි දුවයි මායි අතර තියෙන යාළුකමත්. මගේ පෞද්ගලික දේවල් මම දුව එක්ක කතා කරනවා. එයත් ඕන දෙයක් මාත් එක්ක කතා කරනවා. අපි හොඳ යාළුවෝ.


රංගනයෙන් සමාජයේ ආකර්ෂණය ගත් ඔබ ඇයි දේශපාලනයට සම්බන්ධ වෙන්නේ. ඉන් ඔබට හානියක් වෙනවා කියලා හිතුණේ නැද්ද? ඒ ගැන කියලා කතාබහ අවසන් කරමු?


මම දේශපාලනයට එන අදහසින් දේශපාලන පක්ෂයකට උදව් කළා නෙමෙයි. කලාකාරිනියක් හැටියට මේ රට තියෙන තැනින් දශමයක් හරි ඉස්සරහට යනවට මම කැම­ැතියි. එතකොට කලාවත් මිනිස්සුත් ගොඩ නැ‍ෙඟන නිසා මම නරක ආදර්ශයක් දුන්නෙ නැහැ. වෙලාව තියෙන විදිහට දේශපාලනය කළාට කමක් නැහැ කියලා හිතනවා. ඒ වගේම හොඳ දෙයක් නම් රටට වෙන්නේ මගේ හානිය ගැන මම හිතන්නේ දෙවනුවයි



Previous Post Next Post