වසර ගණනක සිට කලා ක්ෂේත්‍රයේ දිගු ගමනක් පැමිණ ප්‍රේක්ෂක හදවත් තුළට සමීප වුණු ප්‍රවීණ රංගන ශිල්පී මීනා කුමාරි මේ දිනවල ආයාචනා තුළින් සහ කලකට පසුව නැවත විකාශය වන උතුම් පැතුම් තුළින් ප්‍රේක්ෂකයින් අතරට එනවා. ඇය කවදත් ප්‍රේක්ෂක ආදරේ නොඅඩුව ලබන්න වාසනාව ලද රංගන ශිල්පිනියක්. පාසලේ ක්‍රීඩාවෙන් කැපී පෙනුණු ඇය රටේම ආදරේ දිනා ගන්නේ රංගන ශිල්පිනියක් ලෙසින්.
මේ කාලේ මොකද වෙන්නේ?
ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය වන ආයාචනා තුළින් තමයි ප්‍රේක්ෂකයින් අතරට මම එන්නේ. ගමේ අම්මා හැටියට මම රංගනයෙන් දායක වෙන්නේ. එහි අවසන් කොටස් කිහිපය මේ වෙද්දී විකාශය වෙන්නේ. මේ කාලයේ ඒ නාට්‍යයට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.
උතුම් පැතුම් කාලයකට පස්සේ නැවත විකාශය වෙනවා, කොහොමද ලැබෙන ප්‍රතිචාර?
වසර 7කට විතර පස්සේ සිරස නාළිකාවෙන් නැවත නාට්‍යය විකාශය වෙන්න පටන් අරන් තියෙනවා. හවස් වරුවේ එක දිගට නාට්‍යය විකාශය වෙන නිසා අලුතින්ම ආයේ ප්‍රේක්ෂකයින් පිරිසක් එකතු වෙලා තියෙනවා. උතුම් පැතුම් නාට්‍යයේ අම්මට එදා වගේම අදත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.
කාලයක් නම් ඔබව එක දිගටම පුංචි තිරයෙන් දැක්කා?
ඔව්. උතුම් පැතුම්, චායා, වස්සානේ ප්‍රේමය, නාඩගම්කාරයෝ වගේ නාට්‍යය තුළින් මාව දැක ගන්න ලැබුණා.
දැන් පොඩි විරාමයක් එක්ක ද රඟපාන්නේ?
ඇත්තටම විවේකයක් කියන්නේ මගේ දුවගේ වැඩ කටයුතුවලට කාලය යොමු කළා. දුව දැන් ලංකාවේ නැහැ. එයාගේ PHD එකට ශිෂ්‍යත්වයක් ලැබිලා ඔස්ට්‍රේලියාවේ ඉගෙන ගන්න ගියා. මම දුව ගාවට ගිහින් ආවා. ඒ නිසාත් නිර්මාණ වෙනුවෙන් කාලය වෙන් කරන්න බැරි වුණා.
ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවද?
අලුත් නිර්මාණ කිහිපයකට සම්බන්ධ වෙලා ඉන්නවා. චාමර ජනරාජ්ගේ අලුත්ම නාට්‍යයක සහ අලුත් නිර්මාණකරුවෙකුගේ ‘රැට්‘ කියන නාට්‍යකට සම්බන්ධ වුණා. රැට් කියන නාට්‍යය තුළින් කියැවෙන්නේ මේ කාලයට ගැළපෙන සයිබර් බූලින් ගැන ලියැවුණු පිටපතක්. එහි ජගත් චමිල, නිරෝෂන් ඇතුළු කිහිපදෙනෙක් ඉන්නවා. ඒ එක්කම තව නිර්මාණයක් කරනවා එහි නම් මම ඉන්නේ මිත්තණියක් හැටියට.
මීනා කුමාරි කියන්නේ ඉතාම දක්ෂ ක්‍රීඩිකාවක්නේ, අද වෙද්දී ක්‍රීඩිකාව යටපත් කරගෙන රංගන ශිල්පිනිය මතුවෙලා තියෙනවා කිව්වොත්?
මට හිතෙන්නේ අපේ ජීවිතේ කියන්නේ ඔය සියලු දේහි එකතුවක්. මගේ පවුලේ මගේ තාත්තා සහ අම්මාත් ක්‍රීඩිකාවක්. මගේ පවුලේ ඉන්නේ අක්කා ‘මම‘ මල්ලි සහ නංගි. මගේ තාත්තා යුද හමුදාවේ හිටපු නිලධාරියෙක්. ඒ නිසා මගේ තාත්තා අපි හැමෝටම ක්‍රමානුකුලව දේවල් දුන්නා. ක්‍රීඩාව තාත්තගේ ඇඟේම තිබ්බ දෙයක්. තාත්තා හමුදාවේ හිටිය හොඳ ක්‍රීඩකයෙක්. අපි හිටියේ නාරාහේන්පිට ඇන්ඩ්‍රසන් මහල් නිවාසවල. තාත්තා වැඩ ඇරිලා ආවම අපි ඔක්කොම ග්‍රවුන්ඩ් එකට එක්කන් යනවා. ඒ පුහුණුවීම නිසා අපි පාසල්වල ක්‍රීඩාවෙන් කැපී පෙනෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වුණා. ඒ නිසා මට මෙතැනදී කියන්නත් ඕනේ දේ තමයි දරුවන්ට කුඩා කාලේ ඉඳන් පුහුණුව කියන දේ ලබා දිය යුතුයි කියන එක. පුංචි කාලේ ඉඳන් දරුවන්ට ජය පරාජය සම සමව විඳ දරා ගන්න නම් ක්‍රීඩාවට යොමු කළ යුතුමයි. පාසලේ ශිෂ්‍ය භට බළකායට සම්බන්ධ වුණා. ඒවායින් මම ජයග්‍රහණ ලැබුවා.
මුලින්ම පත්තරේ ලිපියක් පළ වෙන්නෙත් ක්‍රීඩාවෙන් ලබපු ජයග්‍රහණ නිසා නේ?
ඇත්තෙන්ම ඔව්. සිරිකත පත්තරේ කවර් පේජ් එකක් එක්ක මගේ ලිපියක් යනවා. ඒ යන්නේ මම පාසලේ හොඳම ජවන හා පිටිය ක්‍රීඩිකාව හැටියට සම්මාන ලැබීම එක්ක. ඒ එක්කම මම බැඩ්මින්ටන්, නෙට්බෝල් අංශයෙන් එකම අවුරුද්දේ ජාතික පාසල් ක්‍රීඩා තරගවලින් රන් පදක්කම් ලබනවා. එකිනෙකට වෙනස් ක්‍රීඩා අංශවලින් මම පෙන්නුම් කරන දක්ෂතා නිසාම මම පාසලේ වර්ණලාභී ශිෂ්‍යාවක් වෙනවා. මම යගුළිය, හෙල්ල විසිකිරීම සහ දුර පැනීමත් කරනවා. දුර පැනීමෙන් 17න් පහළ රෙකෝඩ් එකකුත් තියනවා. පාසල් කාලයේ වැඩියෙන්ම ප්‍රතිචාර ලැබුණේ මගේ ක්‍රීඩාවන්ට. ඒ නිසා අනාගතයේ බලාපොරොත්තු තැබිය හැකි ක්‍රීඩිකාවක් විදිහට මගේ ආටිකල් එකක් කළා. එතකොට මම පාසලේ 10 වසරේ. මගේ කවරය සහ ලිපිය පළ වුණාට පස්සේ මට ලිපි ආවේ මගේ පාසලටෙ. ඒක තමයි මගේ පළමු අත්දැකීම.
කලාවට එන්නේ කොහොමද?
කලාවට යොමු වෙන්නෙත් පාසලේ දීම තමයි. පාසලේ ආදී ශිෂ්‍යාවන් එකතුවෙලා කරන නාට්‍ය තරගයක් තිබ්බා. තිස්ස කාරියවසම් මහතාගේ මුතු ඇටය කියන පිටපත මට ලැබෙනවා. එහි මම හාමිනේගේ චරිතය කළා. එදා විනිශ්චය කරන්න ඇවිත් හිටියේ හෙන්රි ජයසේන මහතා, මානෙල් ජයසේන මහත්මිය, හයිසින්ත් විජේරත්න වගේ අය. ඒ අය ඉදිරියේ රඟපාන්න ලැබීම ඒ පුංචි වයසට මට ලොකු අත්දැකීමක්. හැබැයි මට කතා කරද්දී කිව්වා මම දරුවා වඩාගෙන හිටිය විදිහේ නුහුරු බව. හැබැයි පාසල් දැරිවියක් නිසා ඒ දේ ඒ අය ඉතා හිනාමුසු මුහුණින් මට කිව්වේ. එහෙම සුන්දර මතකයන් තියෙනවා. ඒ එක්කම එදා හොඳම නිළිය ලෙස සම්මාන ලැබුණේ මට. හොඳම නිළිය දීපානි පෙරේරා කියද්දීත් මම ඔහේ වාඩිවෙලා හිටියා. මොකද මම හිතුවෙවත් නැහැ එදා මට එහෙම සම්මාන ලැබෙයි කියලා. යාළුවො තමයි මට කිව්වේ ඔයාගේ නම කියන්නේ යන්න කියලා. එතැනදී තමයි කලාව කියන දේට මම අත්පොත් තබන්නේ.
එතකොට දීපානි පෙරේරා කොහොමද මීනා කුමාරි වුණේ?
මගේ පළමුවැනි නම දීපානි. හැබැයි මගේ සම්පූර්ණ නම දීපානි මීනා කුමාරි පෙරේරා. ගොඩක් අය මගෙනුත් අහනවා මීනා කුමාරි කියන නම කලාවට ආවට පස්සේ දැම්මද කියලා. එහෙම නැහැ. තාත්තා මගේ උප්පැන්නයට දාපු නම. තාත්තා ආසම රංගන ශිල්පිනියක් ඉන්දියානු රංගන ශිල්පිනියක් වන මීනා කුමාරි. ඒ නිසා ඒ නම දැම්මා වෙන්න පුළුවන්. කොහොමත් අපි පාසල් කාලේ දී ලියන්නේ පොත්වල මුල් නමනේ. ඒ නිසා තමයි පාසල් කාලයේ ගොඩක් අය මාව දන්නේ දීපානි නමින්. හැබැයි පසුකාලයේ මේ අපේ දීපානි නේද කියලා දන්නවා. මගේ ළඟම හිටිය යාළුවො දන්නවා මීනා කුමාරි කියන නම. ඒ නිසාම මට විහිළුත් කරලා තියෙනවා මීනච්චි කියලා.
කොහොමද ළමා කාලයේ මතකය?
මගේ ළමා කාලය ඉතාම සුන්දරයි. අපි ගෙදර සින්දු කියනවා. සෙල්ලම් කරන්න ග්‍රවුන්ඩ් යනවා. මගේ අම්මා ලස්සනට ඇඳුම් මහනවා. බොහොම ලස්සනට අපිට ඇඳුම් ඇන්දුවා. ඒ කාලය මතක් වෙද්දීත් සතුටුයි. දැන් අම්මා තාත්තා වයසයි. හැබැයි අදටත් මම ඒ දෙන්නා එක්කගෙන ඒ තැන්වලට යනවා. එදා අපි දුව පැනලා සෙල්ලම් කරපු තැන් කොයි තරම් වෙනස් වෙලාද කියන එක අපි කතා කරනවා.
ගුවන් හමුදා සේවයේත් ඔබ කැපී පෙනෙන නිලධාරියෙක්?
ඔව්. 1988 දී භීෂණ කාලේ තමයි මම හමුදාවට එක් වෙන්න හිතුවේ. මගේ තාත්තා ඒ වෙද්දී විශ්‍රාම ගිය නිසා අම්මයි තාත්තයි ගමට ගියා. අක්කයි මායි කොළඹ හොස්ටල් හිටියේ. අපි දෙන්නම එක සැරේ හමුදාවට යන්න හිටියේ. නමුත් මම පාසලේ ක්‍රීඩාවටම යොමු වුණ නිසා දෙවැනි වතාවටත් උසස් පෙළ කරන්න හිටියේ. නමුත් තාත්තා කිව්වා දැන් හමුදාවට යන්න කියලා. ඒ කාලේ තිබ්බ වටපිටාව එක්ක තාත්තා කිව්වා ඒ තීරණය ගන්න කියලා. ඒ අනුව තමයි මම ගුවන් හමුදාවට බැඳුණේ. යන්න බෑ කියලා දවසක් ප්‍රමාද වෙලයි මම ගියේ. ඒකට හේතුව වුණේ මට යන්න ඕනේ නිලයට යන්න බැරි නිසා මගෙ හිතේ පොඩි අකමැත්තක් තිබ්බා. තාත්තා තමා බල කළේ දැන් යන්න, ඇතුළට ගියාට පස්සේ තමන්ගේ උත්සාහයෙන් තමන්ට අවශ්‍ය නිලයට උසස් වෙන්න පුළුවන් කියලා. මගේ පුහුණුවීම් කාලයේ හොඳම ගුවන් හමුදා කාන්තාව හැටියට මම සම්මාන ලබනවා. ඒ අත්දැකීම් මට පොඩි කාලේ ඉඳන් තිබ්බා. මගේ තාත්තා යුද හමුදාවේ හිටිය හොඳම වෙඩි තැබීමේ දක්ෂතාවන් පෙන්නුම් කරපු කෙනෙක්. ඒ නිසා ලේවල ලියැවිලා තියෙන එකක් වෙන්න ඇති.
ඇයි හමුදාවෙන් එන්න හිතුණේ?
කලාවේ ඉඳලා හමුදා ක්ෂේත්‍රයකට ගියාම එහි තියෙන දැඩි බව එක්ක දැනෙන දේවල් වෙනස්. මානසිකව ගොඩක් ශක්තිමත් වෙන්න ඕනේ. මට ගුරු පත්වීමක් ලැබෙනවා. ගුරු පත්වීම ලැබීමත් එක්ක මම ඉල්ලුම් කළා එතනින් එළියට එන්න. මම ගුවන් හමුදාවට බැඳිලා අවුරුදු දෙකක් නිසාත් මම ඒ වෙද්දී හිටිය දක්ෂතම ගුවන් හමුදා කාන්තාවක් නිසා ඒ දුන්නු පුහුණුව එක්ක මට අවසර ලැබුණේ නැහැ ඉවත් වෙන්න. මම 1989 දී යෞවන සම්මාන උලෙළට සම්බන්ධ වෙලා හිටිය කාලේ මට මුණගැහුණා සුගතපාල ද සිල්වා මහතාව. පසු කාලෙක ඔහුගේ බිරිය ශීලා අක්කා මට කතා කරලා ඇහුවා පුතේ ඔයාට සින්දු කියන්න පුළුවන් ද? සුගත් සර්ගේ අලුත් නාට්‍යයට සම්බන්ධ වෙන්න කැමතියි ද? කියලා. මම ඒකට කැමති වෙනවා. රට පුරා ඒ නාට්‍ය දර්ශන තිබුණා. අද කාලේ වගේ නෙවෙයි ඒ කාලේ හමුදාවෙන් නිවාඩු අනුමත වෙන්නේ නැහැ. ඒ දේවල් එක්ක මට පොඩි මානසික ඇද වැටීම් තිබ්බා. පසුව මම පිළිවෙළකට විනයානුකුලව මට ඒ පැවරුණ ජොබ් එක වසර 5ක කාලයක් කරලා බොහොම පිළිවෙළකට අයින් වෙලා තමයි එළියට ආවේ.
මම තාත්තාගේ ඉල්ලීම නිසාම හමුදාවට ගියා වගේ එකකුත් තිබ්බා. නමුත් අද මම හිතනවා තාත්තා ඒ වෙලාවේ ගත්ත තීරණය හරි කියලා. අද මම හිතන්නේ ඒ සියලු දේ වුණේ හොඳට කියලා.
ඔබ කලාවට යොමු වීම ගැන කතා කළොත්?
1989 වසරේ පැවැති යෞවන සම්මාන උලෙළේදී. “අපරාජිතයෝ” කියන වේදිකා නාට්‍යයේ තමයි මම මුලින්ම රඟපෑවේ. ඊට පස්සේ “මහාමාරිය” කියන වේදිකා නාට්‍යයෙත් රඟපෑවා. ඒ අවස්ථාවෙත් මම ඇගයීමට ලක් වුණා. ඊළඟට සුගතපාල ද සිල්වා මහත්තයාගේ “ශාන්තුවර සෙබළානෝ” කියන නාට්‍යයේ රඟපාන්න මට අවස්ථාව ලැබෙනවා. ඊට පස්සේ තමයි ලූෂන් බුලත්සිංහල මහත්මයාගේ “ට්‍රෝජන් කාන්තාවෝ” කියන දැවැන්ත නිර්මාණයේ රඟපාන්න මට අවස්ථාව හිමි වුණේ. ඔය අතරේ මට ස්ක්‍රීන් ටෙස්ට් එකක් ලැබෙනවා ටෙලි විව් ආයතනයේ. එතැනදී තමයි ආරියරත්න ඇතුගල මහතා මාව තුන්බිය කියන නාට්‍යයට තෝරා ගත්තේ. ඒ පටන් ගැන්ම තමයි අද දක්වා ඇවිත් තියෙන්නේ.
ඔබේ හැරවුම් ලක්ෂ්‍යය වසූදා නාට්‍යය නේද?
ඔව්. වසූදා කියන්නේ මට ලැබුණු තෑග්ගක්. ඉන්දියානු නාට්‍ය කණ්ඩායමක් කරපු නිර්මාණයක්. සිරසට සම්බන්ධ ටැලන්ට් කියන ආයතනය මඟින් කරපු නිර්මාණයක්. ඒ කාලේ ජනප්‍රිය අයත් මේ නාට්‍යයේ ස්ක්‍රීන් ටෙස්ට් එකට ඇවිත් හිටියා. මගේ මුහුණේ හැඩය අනුව මට වසූදා වෙන්න වාසනාව ලැබුණා. ඒ අය හොයලා තිබ්බේ ඉන්දියානු හැඩ තල තියෙන මුහුණක් කියන එකත් එයාලා කියලත් තිබුණා. රාධාන් කියන ටැලන්ට් එකේ රාධිකා ලංකාවට ඇවිත් මාව තෝරා ගත්තේ. ඒ තෝරා ගැනීමත් මට අහම්බයක්. ඒ මම බෝගල සවුන්දිරිස් නාට්‍යයේ රඟපාන කාලේ. මගේ ලිපියක් පත්තරේ ගිහින් තිබුණා. ඒක රාධිකා දැකලා තිබුණා. ඒ නිසාත් රාධිකා දැඩි තීරණයක හිටියා මාවම ගන්න ඕනේ කියන එක. එහෙම නැත්නම් එතැනත් පොඩි තරගයක් තිබ්බා. එයාගේ තනි තීරණයකට තමයි මට වසූදා වෙන්න ලැබෙන්නේ. ඒ වෙද්දී මම ඩේටා මිනි කියන ආයතනයේ වැඩ කරන කාලේ. වසූදා නාට්‍යය වසර 5ක් එක දිගටම විකාශය වෙද්දී මම ඒ රැකියාවෙනුත් අයින් වෙලා පූර්ණ කාලීනව රංගනයට එනවා. අදටත් මට මඟ තොටේදී වසූදා කියලා කතා කරන අය මුණගැහෙනවා. විශේෂයෙන්ම කියනවා නම් සිංහල දෙමළ මුස්ලිම් බේදයකින් තොරව ප්‍රේක්ෂක ආදරේ ලබපු නාට්‍යයක්. නිර්මාණයක් නම් ඒක පොදු වෙන්න ඕනේ. ඒ නිසා එහෙම පොදුවේ රසික ආදරේ ලබනවා කියන්නේ මට විශේෂ දෙයක් වුණා.
දැන් අවුරුදු කීයක් ද මේ ක්ෂේත්‍රයට ඇවිත්, ඔබ අද තෘප්තිමත් ද?
1989 දී ආවේ. දැන් අවුරුදු 35ක් වෙනවා. මට ලැබෙන දේ මම අවංකවම භාරගෙන කරලා තියෙනවා. මම භාර ගන්නේ මට විඳින්න පුළුවන් චරිත. මට විඳින්න බැරි චරිත නම් භාර ගන්නේ නැහැ. මම රඟපාන මවගේ චරිතය බොහොම ආදරණීය, බලන ප්‍රේක්ෂකයාට යමක් ගත හැකි චරිතවලට තමයි මම ආස. එහෙම චරිත කිරීම තුළින් මම ඉහළ තෘප්තියක් ලබනවා. මට ඉන්නෙත් දුවෙක්. මමත් පොඩි කාලේ ඉඳන් මවුපිය ආදරේ නොඅඩුව ලබලා තියෙනවා. ඒ නිසා රංගන ශිල්පිනියක් ලෙස අද මම හරිම තෘප්තිමත්. ගමට ගියාම ලැබෙන ප්‍රේක්ෂක ආදරේ හරිම පුදුමාකාරයි. වසුදා කරන කාලේ මගේ ෆොටෝ එකක් ළඟ තියන් හිටිය කාන්තාවන් මට මුණගැහිලා තියෙනවා. ඒ අයට ප්‍රශ්නයක් ආවම මගේ ඒ ෆොටෝ එක දිහා බලලා මේ වසූදා මෙච්චර ඉවසනවා නම් ඇයි අපිට ඉවසන්න බැරි කියලා හිතලා හිත හදාගෙන තියෙනවා. ඉවසීමේ සීමාවක් නැති ඉවසීමක් ඒ තුළින් පෙන්වපු නිසාම මිනිස්සු ඉවසන්න ඉගෙන ගෙන තිබ්බා. මගේ දුවත් ඒ දේවල් දකිනවා. ඇය බොහොම ඉවසීමෙන් ඒ දේවල් ඇයගේ ජීවිතේට එකතු කර ගන්නවා.
එකම දුවෙක් ඉන්නේ, ඇය රඟපාන්නේ නැද්ද?
එයා රඟපෑවා එයාගේ සීයාගේ( ධර්මසිරි බණ්ඩාරනායකගේ) ට්‍රෝජන් කාන්තාවෝ නාට්‍යයේ පුංචි කුමාරයට. එයාට රඟපෑමේ හැකියාව සින්දු කියන්න හැකියාව තියෙනවා. සමහර නාට්‍යවලට කතා කළත් ඒක ගත්තේ නැහැ. මටත් ඕනේ වුණේ හොඳ මනසකින් යුත් දැනුමැති දරුවෙක් සමාජගත කරන්න. එයා ඒ විදිහට හැදුණා. දරුවාගේ පැත්තෙන් මම දිනුම් කියලා හිතෙනවා.
ජීවිතේ දිහා නම් ඔබ බොහොම උපේක්ෂාවෙන් බලන හැඩයි?
ඇත්තෙන්ම ඔව්. අපි කළ යුත්තේත් ඒක. තව කෙනෙක් අබිබවා යන හැඟීම ඇති වෙන්න වෙන්න මහ අමුතු තැන්වලින් කෙළවර වෙන්නේ. ඒ නිසා මම මට මුණගැහෙන නව පරපුරේ අයටත් ඒ දේවල් ගැන කියලා දෙනවා. ඒක තමයි අපේ යුතුකම වෙන්න ඕනේ. අපිට පුළුවන් වෙන්න ඕනේ තව කාන්තාවකට ගරු කරන්න, ඒ අයගේ හොඳ දකින්න සහ වැරදි දෙයක් තියෙනවා නම් කියන්න පුළුවන් වෙන්න ඕනේ. මට හමුවෙන හැම අවස්ථාවකම මම බොහොම ආදරෙන් ඒ දේ කරනවා. ප්‍රශ්න නැති කවුරුත් නැහැ. හැබැයි ප්‍රශ්නවලට අපි හරියට මුහුණ දෙන්න ඕනේ. මම හැමදාම මගේ හිතට එකඟව වැඩ කළා. අදත් එහෙමයි හෙටත් ඒක එහෙම්ම තමයි. මම ප්‍රයෝගිකව බුද්ධ දර්ශනය අත්දකින්න කැමති කෙනෙක් සහ මම අත්දකිනවා.
අනුෂා රණසිංහ